2022 ජුනි 12 වන ඉරිදා

විෂය දන්නේ නැති අයත් පොත් ලියනවා

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 61

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුඹුකන්දන රේවත හිමි

දර්ශන අධ්‍යයනාංශය - කැලණිය විශ්ව විද්‍යාලය

මනෝ විද්‍යාව විෂය පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයකට ඔබවහන්සේ යොමු වූ පසුබිම ගැන අපි මුලින්ම කතා කරමු?

2003 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ලෙස ඉගෙනීමට ගිය මම මනෝ විද්‍යාව, සිංහල සහ බෞද්ධ අධ්‍යයනය කියන විෂයන් තුන තමයි පළමු අවුරුද්දේ කළේ. මනෝ විද්‍යා විෂය ඉගෙන ගනිද්දි අනෙක් විෂයන්වලට වඩා එම විෂය පිළිබඳව දැඩි කැමැත්තක් මගේ හිතට දැනෙන්න ගත්තා. ඒ නිසාම එම විෂයෙන් උපාධිය කිරීමේ ලොකු කැමැත්තකුත් මට ඇතිවුණා. අවසානයේ එම වසරේ මනෝවිද්‍යාව විශේෂවේදී උපාධිය කරන්න සුදුසුකම්ලත් ශිෂ්‍යයන් විසිඅට දෙනා අතුරින් එක් ශිෂ්‍යයෙක් වෙන්න මට හැකියාව ලැබුණා. මනෝ විද්‍යා විශේෂවේදී උපාධිය සාර්ථකව අවසන් කළ පසු මට පේරාදෙණිය සරසවියේ සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහි වසරක සේවා කාලයෙන් පසු 2008 වසරේදි කැලණිය සරසවියේ මනෝ විද්‍යා විශේෂවේදී උපාධිය ආරම්භ කරද්දී එම සරසවියට කථිකාචාර්යවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී මම කැලණිය සරසවියේ මනෝ විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයෙක් ලෙස සේවයට එක්වුණා. එතැන් පටන් අද දක්වාම මනෝ විද්‍යාව විෂය පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි සහ ග්‍රන්ථකරණයේ නියැලෙමින් මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය මම ලබා දෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමටත් ඔබවහන්සේ මූලිකත්වය ලබා දුන්නා නේද?

කැලණිය විශ්ව විද්‍යාලයට පැමිණි මනෝ විද්‍යාව පිළිබඳ පළමු කථිකාචාර්යවරයා මමයි. 2009 ජනවාරි මාසයේ අපි ආරම්භ කළා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්. 2015 දක්වා එම පාඨමාලාව අපි කරගෙන ආවා. නමුත් සමාජයේ ඉල්ලුම තියෙන්නේ උපදේශනයට. එවකට සිටි උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාට වරක් මමත්, ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාත් මනෝ විද්‍යාව ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකට ඇරියුම් කරන්න ගියාම එතුමා අපෙන් ඇහුවා දැන් සමාජයේ උපදේශනයට ලොකු ඉල්ලුමක් තියෙනවා නේද. ඒ නිසා උපදේශනය පිළිබඳව පාඨමාලාවක් ආරම්භ කිරීම සුදුසුයි නේද කියා. එතුමා කීවා ඒ සඳහා අවශ්‍ය විෂය නිර්දේශ සකස් කර ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමයි අප අධ්‍යයන අංශයේ අනුමැතිය අනුව සකස් කළ විෂය නිර්දේශයක් ඉදිරිපත් කර ඊට උපකුලපතිවරයාගේද අනුමැතිය ලබාගෙන ඉතා ඉක්මනින් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව පටන් ගත්තේ.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතරතුර ඔබවහන්සේ ගත්කතුවරයෙක් ලෙස ග්‍රන්ථකරණයටත් පිවිසෙනවා. එහි සමාරම්භය සිදුවුණේ කොහොමද?

කැලණිය සරසවියේ මනෝ විද්‍යාව අවුරුදු තුන හතරක් උගන්වද්දි මට හිතුණා අපි මනෝ විද්‍යාව ශාස්ත්‍රීයව ඉගෙනගෙන උගන්වන පිරිසක්. ඒ නිසා නිවැරදි දැනුම් සමාජගත කරන්න අපට වගකීමක් ති‌ෙයනවා කියාලා. ඇත්තටම මේ විෂයට බාහිර සමාජයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. එම ඉල්ලුම නිසාම හුදෙක් වාණිජ පරමාර්ථ පෙරදැරිව නිසි ශාස්ත්‍රීය දැනුම නැති පිරිසක් මනෝ විද්‍යාව පිළිබඳව විවිධ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන ප්‍රවණතාවක් තියෙනවා. ශාස්ත්‍රීය වශයෙන් මනෝ විද්‍යාව උගන්වන අප සතු දැනුම සහ එවැනි අවිධිමත් විදිහට ප්‍රකාශයට පත් කරන ග්‍රන්ථ තුළින් විද්‍යාමාන කළ දැනුම අතර ලොකු වෙනසක් දැක්කා. එයින් සිදුවුණේ එම විෂය සතු සැබෑ ගුණාත්මක දැනුම පාඨකයා අතරට නොයෑමයි. එමෙන්ම මම දුටු දෙයක් තමයි මනෝ විද්‍යාව කියලා ප්‍රකාශයට පත් කරපු හුඟාක් ග්‍රන්ථ ධනාත්මක චින්තනය කියන සංකල්පය පාදක කරගෙන ලියූ ග්‍රන්ථවල පරිවර්තනයි. හුඟාක් පොත් සාප්පුවල මනෝ විද්‍යා විෂයට වෙන් වූ පොත් රාක්කවල පිරී තිබුණේ ඔය ධනාත්මක චින්තනය පිළිබඳව ලියැවුණු පොත්. එය ධනාත්මක මනෝ විද්‍යාවේ මාතෘකාවක් වුණත් මනෝ විද්‍යාව යන විෂයේ සැබෑ පින්තූරය එසේ ප්‍රකාශයට පත්වන බහුතරයක් පොත් නිසා වෙනස් වෙන බව මම තේරුම් ගත්තා. මනෝ විද්‍යාව කියන්නෙ ගුප්ත දෙයක්. ධනාත්මක චින්තනය තමයි මනෝ විද්‍යාව කියන්නෙ යන හැඟීම ඒ ඔස්සේ පාඨක මනසට කිඳා බසින ප්‍රවණතාවක් තිබුණා. 

මනෝ විද්‍යාව පිළිබඳව දැනට ලියැවී ඇති ග්‍රන්ථ එම විෂය පිළිබඳ නිවැරදි දැනුමක් සමාජගත කරන්න ප්‍රමාණවත් කියලා ඔබවහන්සේ හිතනවද?

මනෝ විද්‍යාව පිළිබඳ ලියැවුණු ඇතැම් පොත්පත් නිවැරදි දැනුම සමාජගත නොවීම අදටත් විශාල ප්‍රශ්නයක්. මනෝ විද්‍යාව විෂය විශ්ව විද්‍යාල මට්ටමින් හා ඊට පරිබාහිරව හදාරන විද්‍යාර්ථින්ට දැනුම සොයා යාමේදී නිවැරදි ගැඹුරු දැනුමක් ලබාගැනීමට ඇත්තටම එය විශාල බාධකයක්. මනෝ විද්‍යාව පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොත්පත් මෙන්ම අන්තර්ජාල ප්‍රකාශන තියෙනවා. ඒත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුම නැති කෙනෙකුට එය පරිශීලනය කරන්න බෑ. ඒ නිසා මෙම ගැඹුරු පුළුල් විෂය පිළිබඳ නිවැරදි දැනුම සමාජගත කිරීමට තව තවත් මේ විෂයෙහි ග්‍රන්ථ සම්පාදනය විය යුතුමයි.

ඔබවහන්සේ විසින් මෙතෙක් පළ කළ මනෝ විද්‍යා විෂය හා සබැඳි ග්‍රන්ථ මොනවාද?

මනෝ විද්‍යාව න්‍යාය හා සංකල්ප, ආකල්ප - ආකල්ප පිළිබඳ මනෝ විද්‍යාව, ඉගෙනුම පිළිබඳ මනෝ විද්‍යාව, ව්‍යවහාරික මනෝ විද්‍යාව, සමාජ චර්යාව පිළිබඳ මනෝ විද්‍යාව, සෞඛ්‍ය මනෝ විද්‍යාව යන ග්‍රන්ථ මේ වෙද්දි මම ප්‍රකාශයට පත් කර තියෙනවා.

මනෝ විද්‍යාව න්‍යාය හා සංකල්ප ග්‍රන්ථය තුළ මනෝ විද්‍යාව යන විෂය පිළිබඳව පැහැදිලි නිරවුල් සංක්ෂිප්ත චිත්‍රයක් ඔබවහන්සේ ඉදිරිපත් කරනවා. ගැඹුරු අධ්‍යයනයකින් තොරව එය කළ නොහැකියි. මෙවැනි ආභාෂයක් සහ මඟපෙන්වීමක් ඔබවහන්සේ ලබාගත්තේ සරසවි උපාධියට කේන්ද්‍ර වූ ශාස්ත්‍රීය දැනුමෙන් විතරක්මද?

මම මනෝ විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරද්දි ඒ විෂයෙහි ලියැවුණු එක පොතක් හෝ එක් අන්තර්ජාල ලිපියක් මත යැපෙන්නෙ නැහැ. මම එක් මාතෘකාවක් ගත්තොත් ඒ විෂයෙහි ඇති පර් ය්ෂණ, නිබන්ධ, ශාස්ත්‍රීය ලිපි, ග්‍රන්ථ රුසක් කියවා අනතුරුව ඒ පිළිබඳව මා විසින්ම යම් දැනුමක් නිර්මාණය කර ගන්නවා. දිගු හැදෑරීමක් අවසානයේ පෙරාගන්නා සාරය තමයි අවසානයේ මම එක මිටට ගන්නේ. මනෝ විද්‍යාව කියන්නේ මෙහෙම දෙයක්, එහි ඉතිහාසය, න්‍යාය, සංකල්ප, එහි කාර්යභාරය කියන්නෙ මෙහෙම දෙයක්, මනෝ විද්‍යාඥයා කියන්නෙ මෙහෙම කෙනෙක් කියලා අධ්‍යයනය ඔස්සේ මගේ නිවැරදි තේරුම් ගැනීම තමයි මනෝ විද්‍යාව න්‍යාය හා සංකල්ප තුළින් මම ප්‍රකාශයට පත් කළේ. එම ග්‍රන්ථයේ අන්තර්ගත සමස්ත සාරය හුඟක් මනෝ විද්‍යාත්මක පොත්වල නෑ. ඇත්තටම මනෝ විද්‍යාව පිළිබඳව ගැඹුරින් හදාරද්දි මට ඒක ආත්මීය වශයෙන්ම දැනෙන දෙයක් බවට පරිවර්තනය වෙනවා. එය මගේ සමස්ත ජීවිතයම බවට නිරායාසයෙන් පත් වෙනවා.

මනෝ විද්‍යාව පිළිබඳව ඔබවහන්සේගේ ග්‍රන්ථකරණය ආරම්භ කළේ මොන පොතෙන්ද?

ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථයෙන්. මනෝ විද්‍යාව උපාධිය හදාරන විද්‍යාර්ථින්ට ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබඳව විෂය නිර්දේශයට ඇතුළත්. එහිදී ඔවුන්ට අවශ්‍ය දැනුම ග්‍රන්ථයක් තුළට සම්පිණ්ඩනය කිරීමේ අරමුණින් තමයි මම පළමුව ඔය පොත ලීවේ. දීර්ඝ හැදෑරීමකින්, කියවීමකින් පසු තමයි මම ඔය පොත ලියුවේ. සමහරවිට මම එක් පාරිභාෂිත වචනයක් ගැන විතරක් දිගින් දිගටම කියවනවා එහි අර්ථය මැනවින් ලිහාගන්න. මගේ හැම පොතක්ම මම ලිව්වේ මනෝ විද්‍යාව අභ්‍යන්තර හා බාහිර විෂය නිර්දේශවලට අනුකූලවයි. විශේෂයෙන්ම විද්‍යාර්ථීන්ගෙන් මගේ ග්‍රන්ථවලට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මනෝ විද්‍යාව ගැන මගේ හැම පොතකම ලියූ හැම අකුරකටම මම වග කියනවා.

මෙතෙක් පළවූ පොත් හැරුණුවිට ඔබවහන්සේගේ අතින් ලියැවුණු අලුත් පොතක් කියවන්න බලාගෙන සිටින පාඨකයන්ට දෙන්න පණිවිඩයක් තියෙනවාද?

තවත් කථිකාචාර්යවරුන් තිදෙනෙක් සමඟ එක්ව ක්ලමථය සහ ජීවිතය යනුවෙන් පොතක් ලියා තියෙනවා. එමෙන්ම බෞද්ධ මනෝ විද්‍යාව පිළිබඳවත් මම පොතක් ලියා තියෙනවා. ඒ පොත් ද්විත්වයම මේ වන විට මුද්‍රණයට බාරදීලා තියෙන්නේ. මනෝ විද්‍යාත්මක බුදු දහම ලෝකයට රුගෙන යාම හරිම වැදගත් කියලා මම විශ්වාස කරනවා. බෞද්ධ දර්ශනය ඔස්සේ අපට පුළුවන් යම් හැඟීමක් ගත් විට එහි න්‍යෂ්ටිය දක්වා ගමන් කර එම හැඟීමේ ස්වභාවය, ගති ලක්ෂණ ඉසියුම් ලෙස විවරණය කර ගන්න. මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඔස්සේ බුදු දහම මනෝ විද්‍යාව දකින ආකාරය තමයි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වෙන්නේ. 

නිසි නියාමනයකින් තොරව මනෝ විද්‍යා ග්‍රන්ථ ප්‍රකාශයට පත්වීමෙන් එම විෂය ක්ෂේත්‍රයට වන හානිය වළක්වා ගන්නට ඔබවහන්සේ කරන යෝජනා මොනවද?

ශ්‍රී ලංකා මනෝ විද්‍යා සංගමය තිබුණත් මම විශ්වාස කරනවා මනෝ විද්‍යා ග්‍රන්ථ ප්‍රකාශයට පත්කිරීම, උපදේශන සම්බන්ධ විවිධ ඩිප්ලෝමා පාඨමාලා බිහිවීම, අන්තර්ජාලය ඔස්සේ පවා උපදේශනයේ යෙදෙන නමුත් ඊට නිසි සුදුසුකම් නැති පිරිස් බිහිවීම ආදී මේ සියල්ල විෂයෙහි සක්‍රීය නියාමනයක් නැතිකමින් බරපතළ හානියක් සිදුවෙමින් පවතින බව. අද්‍යතනයේ අප දකින තවත් දෙයක් තමයි විශ්ව විද්‍යාලවල මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්යවරුන් පවා මේ විෂයට අදාළව පොත්පත් ලිවීම ඉතාමත් අඩුයි. එහෙත් මෙම විෂය ශාස්ත්‍රීයව හැදෑරෑ අධ්‍යයනය කළ ඒ පිළිබඳව විධිමත් දැනුමින් සන්නද්ධ ඔවුන්ගේ මෙහෙවරක් විය යුත්තේ තවත් පරම්පරාවක් උදෙසා ග්‍රන්ථකරණය තුළ දැනුම් සමුදාය අන්තර්ගත කොට ප්‍රකාශයට පත් කිරීමයි.

 සංජීවිකා