2022 මැයි 01 වන ඉරිදා

ඉතිහාස පොත්වලට ඉල්ලුම හොඳයි - නාමල් බණ්ඩාර

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 129

විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර සාහිත්‍යයට දැඩි සේ ලැදි පරිපාලන නිලධාරියෙකි. යොවුන් නවකතා මෙන්ම ගමන් සාහිත්‍ය කෘතිද රචනා කර ඇති ඔහුගේ නවතම කෘති තුනක් පසුගියදා සූරිය ප්‍රකාශන ලෙස නිකුත් විය. ඒ අතරින් සුවිශේෂ පරිවර්තන කෘතියක් වන බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය පොත ගැන ඔහු සමඟ කළ සංවාදයකි.

බ්‍රිතාන්‍යයන් ලියූ  සැබෑ  ඌව ඉතිහාසය කෘතිය ගැන හැඳින්වීමක් කළොත්?

සිංහලට පරිවර්තනය කළ මෙම ග්‍රන්ථයේ මුල් කෘතිය වන්නේ බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණ ලංකා සිවිල් සේවයේ නිලධාරියෙකු ලෙස ඌව ප්‍රදේශයේ වසර ගණනාවක්   සේවය කළ හර්බට් වයිට් විසින් 1893 දී රචිත “Manual of the Province of Uva* නමැති ග්‍රන්ථයයි. එයට අමතරව මා 1999 වසරේ ටැන්සානියාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් ඇතුළත් &නොමැකෙන අප්‍රිකානු මතකයන්* ග්‍රන්ථයද මුතුරාජවෙල වනාන්තරයේ කඩොලාන පද්ධතියේ වටිනාකම් කියාපාන &රන්ගිරි අරණ* යොවුන්  නවකතාවද මේ කෘතියත් සමඟම නිකුත් වුණා.

මෙම ග්‍රන්ථය පිළිබඳව මුල්ම හෝඩුවාව මා කියවනු ලැබුවේ   පණ්ඩිත  නාවුල්ලේ ධම්මානන්ද නාහිමියන් විසින් 1942 වසරේ රචනා කරන  ලද ඌව ඉතිහාසය නම් වූ මහානර්ඝ කෘතියෙන් එම ග්‍රන්ථය කියවීමෙන් පසු මෙම ඉංග්‍රීසි ප්‍රකාශනය සොයා ගැනීමට බොහෝ උත්සාහ ගත්තද ඒ උත්සාහයන් සියල්ලම පාහේ නිෂ්ඵල විය.

පසුව eBay සමාගම මගින් අන්තර්ජාලය හරහා පළකොට තුබූ දැන්වීමකට අනුව මෙම  ග්‍රන්ථයේ විකිණීමට  කටයුතු කර තිබූ බැවින් ඔවුන් ලවා  ලන්ඩන් නගරයේ සිට  ගුවන් මගින් මෙම ග්‍රන්ථයේ මුල් පොතේ පිටපතක් ගෙන්වා ගත්තා. 

මේ කෘතිය නිකුත් වී කෙටි කල තුළ ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

මෙම ග්‍රන්ථය පිළිබඳව මුහුණුපොත හරහා  කළ  දැනුවත් කිරීම් අනුව පාඨකයන් සෑහෙන සංඛ්‍යාවක් පමණ  ග්‍රන්ථය කියවීමට කැමැත්ත   පළකර තිබුණා. ග්‍රන්ථය මුද්‍රණයට පෙර සූරිය  ප්‍රකාශන සමාගමට තවත් පිරිසක් මුදල් ගෙවා   කෘතිය ඇණවුම් කර  තිබෙනවා. ග්‍රන්ථය එළිදක්වන  දිනයේත් පිටපත් රාශියක්  අලෙවි වී තිබුණා. මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, මහාචාර්ය මාලනි ඇඳගම, ආචාර්ය සුනිල් ගෝවින්නගේ ඇතුළු  විද්වතුන් මේ ග්‍රන්ථය පිළිබඳව ඉතා උනන්දුවෙන් කතා කළා, පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය අනුර මනතුංගයන් මෙම කෘතිය පිළිබඳව පූර්විකාවක්  ලියමින් එය ඌව  පළාත  පිළිබඳව කෝෂ  ග්‍රන්ථයක් බව හඳුන්වා  තිබුණා.

මෙවැනි බරසාර එමෙන්ම දුෂ්කර ශාස්ත්‍රිය  පොතක් පරිවර්තනයට ඔබ උනන්දු වුණේ ඇයි?

මා  මුහුණදුන් අසීරුතා පිළිබඳවද මෙහිදී සඳහන් කළ  යුතුම ය. පළමුවැන්න නම් වසර  සියයකට වැඩ පැරණි ඉංග්‍රීසි  භාෂාවේ ප්‍රකාශිත සමහර කොටස් පරිවර්තනයේ දී මතුවන දුෂ්කරතා, එනම් පැරණි වචන සඳහා නව වචන ආදේශ කිරීමේ දුෂ්කරතාවයන්.  දෙවැන්න වූයේ සමහර වාක්‍යයන් එක දිගට වචන අනූවකින් පමණ යුතු අවස්ථාවල ඒවා කොටස්වලට වෙන්කොට අර්ථය නිර්වචනය කිරීමයි.

තුන්වැන්න වූයේ මෙම ග්‍රන්ථයේ  දැක්වෙන මාර්ග හා  ග්‍රාමයන්  දැක්වෙන බොහෝ නාමයන් දැනට භාවිතයේ නොවීමයි. එසේම සමහර නාමයන් ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වීමේදී වෙනත් ආකාරයන් උච්චාරණය වීමයි.

මේ පොතත් ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙක් ලියූ කෘතියක්. පසුගිය දශක කිහිපය තුළ අපේ පරිපාලන නිලධාරින් නිර්මාණාත්මක කෘති වගේම ශාස්ත්‍රීය පොතුත් එළිදැක්වූ බව පේනවා. නමුත් මෑතකදී එම ප්‍රවණතාව ඉතා පහළට ගොස් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

ඔබ මතුකරන ප්‍රශ්නය සැබෑවක්  බව මටත්  හැඟෙනවා. බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත සිවිල් සේවයේ නිලධාරීන් වෙනුවට ඉංග්‍රීසි/සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාවන්ගෙන් අධ්‍යාපනය හදාරා  සිවිල් සේවයට එක්වූ  නිලධාරීන් 1960/1970/ හා 1980 යන දශකවල නිර්මාණාත්මක කෘති ගණනාවක් රචනා කළා. ඒ අතරට විමලරත්න කුමාරගම, තිස්ස දේවේන්ද්‍ර, බ්‍රුඩ්මන්  වීරකෝන්, රිජ්වේ තිලකරත්න, ලයනල් ප්‍රනාන්දු, එම්.ජේ. පෙරේරා, ලීල් ගුණසේකර, සරත් අමුණුගම, අමරදාස ගුණවර්ධන, ගාමිණී කාරියවසම්,   තිස්ස දේවේන්ද්‍ර, ජී.ජී.  පුංචිහේවා, ස්ටැන්ලි  කිරින්දේ, තිලක් චන්ද්‍රසේකර, අරියවංශ රණවීර, ජයසුමන දිසානායක, කන්දයියා ගුණරාසා, එඩ්මන් ජයසූරිය, අශෝක කොළඹගේ, එස්. තිලේයිනඩරාජා ආදීන්  සිටිනවා. මෑත  පරපුර ගැන කතා කළොත්  සුමිත්‍රා රාහුබද්ද, ජයන්තා  රුක්මණී  සිරිවර්ධන, එරික් ඉලයප්ආරචිචි, විජිත් කණුගල, කාන්ති හේමමාලි  විජේතුංග, ඒ.පී.ඒ.  ගුණසේකර  ආදී රාශියක් සිටිනවා. එම පරම්පරා දෙක හැරුණුවිට නවක නිලධාරීන් අතුරින් නිර්මාණකරණයට යොමුවන පිරිසේ අඩුවක් ඇති බව මගෙත් හැඟීමයි.

ඉංග්‍රීසි පාලන කාලේ දිසාපතිවරු, පරිපාලන නිලධාරින් තමන් නියෝජනය කළ පළාත ගැන ශාස්ත්‍රීය වාර්තා එළිදක්වා තිබෙනවා. අදටත් ඒවා විශිෂ්ට කෘති සේ සැලකෙනවා. නමුත් නිදහසින් පසු අපේ පරිපාලන නිලධාරින් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාව පවා නිසි පරිදි ලියා නැති බවයි පේන්නේ. ඒ ගැන ඔබට නිරීක්ෂණය වුණාද?

ඉංග්‍රීසි  පාලන කාලය තුළ  පමණක් නොව පෘතුගීසි හා ඕලන්ද  පාලන කාලයේත් ලංකාවට පැමිණි පරිපාලන හා හමුදා නිලධාරීන් ඔවුන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු සේම අපේ රටේ  සුන්දරත්වය හා ඉතිහාසගත උරුමයන් පිළිබඳව බොහෝ රචනාවන් සිදුකළා. පෘතුගාල හා ඕලන්ද භාෂාවන්හි නිපුණ විශාරදයන්ගේ හිඟකම නිසා එම ලේඛන සිංහල පරිවර්තනය කර ගැනීමේ  අපහසුතා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු කෘතීන්වලින් පවා සිංහලට පරිවර්තනය වී තිබෙන්නේ අතලොස්සයි. ඉංග්‍රීසි  පාලන කාලය ලියවුණු වාර්ෂික පරිපාලන වාර්තා, පළාත්  පිළිබඳව ලියවුනු කෘතීන්, මහාමාර්ග  හා දුම්රිය මාර්ග ඉදිකිරීමට පැමිණි පිරිස් තැබූ වාර්තා, සංචාරයට  පැමිණි පිරිස් තැබූ සටහන් හා  නිර්මාණය කළ ග්‍රන්ථ, කිතුනු ආගම ප්‍රචාරය කිරීමට පැමිණි පිරිස් ලියු වාර්තා  මේ අතරට අයත් වෙනවා. මේ අතරට ලෙනාඩ් වුල්ෆ්, ජෝන්  ඩොයිලි, ආර් එල්  බ්‍රෝහියර්, ජෝන් ඩේවි, නෙවිල් හියු  වැනි සම්මානනීය බ්‍රිතාන්‍ය අයත් වෙනවා. දැනට ඒ ආකාරයේ වාර්ෂික පරිපාලන වාර්තා නිකුත් කරන්නේ නෑ. එය අනාගතයේ දිනක සැබෑ තොරතුරු ලබාගන්න ඇති මුලාශ්‍ර අහිමි වීමක්.

අපේ රටේ ඉතිහාසය ගැන දැනගැනීමට වර්තමාන තරුණ පරම්පරාව එතරම් උනන්දුවක් නැති බව පේනවා නේද?

අපගේ කුඩා කළ  පාසල් යාමට ප්‍රථමයෙන් ඉතිහාසය ඉගෙන ගත්තේ  වැඩිහිටියන් කියූ ජනකථා, වීරකථා හා ඉතිහාසගත පුරාවෘත්ත අනුසාරයෙන්. ඒ වගේම අප භාවිතා  කළ  පෙළපොත්වල  බොහෝ  ඉතිහාසගත තොරතුරු  තිබුණා. පාසලේදී ලංකා ඉතිහාසය වගේම ලෝක ඉතිහාසය  ඉගෙන ගත්තා.  නමුත් අද තත්ත්වය  එයට සම්පුර්ණයෙන්ම වෙනස්.  පාසල්වල  ඉතිහාසය ඉගැන්වීමේ අවම තත්වයක් තියෙන්නේ. ඒ නිසා තරුණ  පරපුර අතර ඉතිහාසය පිළිබඳව  ඇති දැනුම තරමක් අඩු බව පේනවා. එසේ වුවත්  කියවන ග්‍රන්ථ  හා ඒවායේ අලෙවිය පිළිබඳව  සැලකිලිමත් වනවිට ඉතිහාසය  පිළිබඳව  ලියැවෙන  ග්‍රන්ථවලට හොද ඉල්ලුමක් තිබෙනවා.  ඒ අතරින් බොහෝ දෙනෙක් තරුණ පාඨකයන්.

 කුසුම්සිරි

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00