2022 ජනවාරි 08 වන සෙනසුරාදා

හැමෝම සතුටුකරන සම්මාන කොහේවත් නෑ - ස්වර්ණ පුස්තක සම්මානලාභී රූපා ශ්‍රියානි ඒකනායක

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූයේ රූපා ශ්‍රියානි ඒකනායකගේ භේරුණ්ඩ කැදැල්ල (සූරිය ප්‍රකාශන) නවකතාවටයි. ඇය 2012 දී ලියූ සිටුවර පුවත නවකතාවටද ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය. ප්‍රවීණ පරිපාලන නිලධාරිනියකද වන රූපා ශ්‍රියානි නිරන්තර සාහිත්‍යකරණයේ යෙදෙන ලේඛිකාවකි.

 

මෙය ඔබේ දෙවැනි ස්වර්ණ පුස්තක සම්මානයයි. භේරුණ්ඩ කැදැල්ලට හිමි වූ සම්මානය ගැන ඔබ තෘප්තිමත් ද?

තම නවකතාවට සම්මානයක් ලැබීම ගැන ඕනෑම කතුවරයෙකු සතුටු වෙනවා. එය එසේ නොවේ යැයි කීම සත්‍යය විකෘති කිරීමක්. බුකර් වැනි ජාත්‍යන්තර සම්මානවල සිට රට රටවලට අනන්‍ය වූ දේශීය සම්මානවලටත්, අප රට තුළ ජාතික මට්ටමෙන් හා ඊටත් කුඩා වපසරියක් තුළ පිරිනැමෙන ප‍්‍රාදේශීය හෝ දිස්ත්‍රික් මට්ටමේ සාහිත්‍ය සම්මානවලටත් මේ සිද්ධාන්තය එක ලෙස බලපානවා. භේරුණ්ඩ කැදැල්ල රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වී තිබුණත් සම්මානය ලැබුණේ නෑ. එහෙත් මා සතුටු වුණා රාජ්‍ය සම්මානය සඳහා මගේ පොත නිර්දේශ වීම ගැන. නිර්දේශ වීමත් සම්මානය ලැබීමත් අතර එතරම් දුරස්ථභාවයක් නෑ. 

මෙම නවකතාවේ තේමාව අනුන්ගේ පොතක් හොරකම් කර පළකළ ව්‍යාජ ලේඛකයකු සම්මානයට ප‍්‍රසාදයට පත් වීම ගැනයි. එම පොතට පසුගිය කාලයේ ලැබුණු ප‍්‍රතිචාර කෙසේද?

නවකතාවකට හෝ ඕනෑම අනෙක් නිර්මාණයකට ප‍්‍රතිචාර විවිධ ආකාරයෙන් හිමි වෙන්න පුළුවන්. එකක් තමයි ඒ පොත ගැන කරන විචාරය. තව විදියකින් පාඨකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර. සම්මාන සඳහා නිර්දේශ වීම හෝ සම්මාන ලැබීමද නිර්මාණයකට ලැබෙන එක්තරා විදියක ප‍්‍රතිචාරයක් විදියට සැලකිය හැකියි. මේ අතරින් සාහිත්‍ය විචාරයක් නම් දැන් සිදුවන්නේම නෑ. පාඨක ප‍්‍රතිචාර කුමන මට්ටමේ තිබේදැයි සිතාගත හැක්කේ පොත සංසරණය වන ප‍්‍රමාණය අනුව. පාඨකයින් ඒ ගැන අදහස් දක්වන්නේ අවම මට්ටමකින්. දැන් බොහෝ ප‍්‍රතිචාර ලැබෙන්නේ මුහුණු පොත් මාර්ගයෙන් තමයි.

ඔබට සාහිත්‍ය සම්මාන අලුත් දෙයක් නොවේ. නමුත් ස්වර්ණ පුස්තක ඇතුළු සම්මාන එක්තරා කුලකයකට සීමා වී තිබෙන බවට සමහරු චෝදනා එල්ල කරනවා. ඔබ ඒ ගැන පවසන්නේ කුමක්ද?

මෙය අනාදිමත් කාලයක සිට සම්මාන පිරිනැමීම ගැන එල්ලවන චෝදනාවක්. බුකර් සම්මානය වැනි ජාත්‍යන්තර සම්මානවලත් තත්ත්වය මෙයාකාරයි. සම්මාන ලැබීමේදී සතුටුවන පාර්ශ්වයක් වගේම අසතුටු වන පාර්ශ්වයකුත් නිතැතින්ම ඇතිවෙනවා. හැමෝම සතුටු වන පරිදි සම්මාන දීමට කොයිම අවස්ථාවකවත් හැකියාවක් නෑ. අපේ රටේත් සම්මාන පිරිනැමීමකින් පසුව කෙරෙන විවේචන, පළවන මතවාද, සම්මානය හිමි විය යුත්තේ එයට නොව අනෙකකටයි කියා මැසිවිලි නැඟීම සුපුරුදු දෙයක්. සම්මානයක් පිටුපසින් පැමිණෙන චෝදනා, මැසිවිලි, අඳෝනා, විනිශ්චය මණ්ඩලවලට එල්ලවන විවේචන ආදිය දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. 

ඔබ පරිපාලන සේවයේ සිටියදී පවා සාහිත්‍යයට උනන්දුවක් දැක් වූ කෙනෙක්. වත්මන් පරිපාලන නිලධාරීන් අතර නම් සාහිත්‍ය සේවනය කරන්නන් සොයා ගැනීම ඉතා දුලබ බව පේනවා. ඔබ ඒ ගැන පවසන්නේ කුමක්ද?

දැන් රාජ්‍ය සේවය නොයෙක් විපරිනාමයන්ට භාජනය වී තිබෙනවා. රාජ්‍ය සේවය ගමන් කරන දිශානතීන් දැන් වෙනස්. රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් බොහෝ කාර්යබහුල වන අතර ඔවුන්ට රාජ්‍ය ආයතනවල විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. දෛනික රාජකාරි ආරම්භ කළ වෙලාවේ සිට සේවා කාලය අවසන් වනතුරුත් බොහෝවිට ඊට පසුවත් ඔවුන්ට රාජකාරිවල නිරත වීමට සිදුවෙනවා. රාජකාරිමය වශයෙන් එළඹෙන ප‍්‍රශ්න වලට වඩා වැඩියි, එකිනෙකා විසින්, විශේෂයෙන් දේශපාලනඥයින් විසින් නිර්මාණය කොට ඔවුන් අතරට පටවන අමතර බර කන්දරාව. මෙවැනි අවිවේකී, පීඩාකාරී තත්තවයක් යටතේ සාහිත්‍යය සේවනය කරන්න තිබෙන අවස්ථා විරල විය හැකියි. කොයි බාධක මධ්‍යයේ වුණත් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමට සමහර පරිපාලන සේවා නිලධාරීන් විශේෂ දායකත්වයක් දක්වා තිබෙනවා.  සාහිත්‍ය නිර්මාණ වෙනුවට ජීවිතයේ දුක් කම්කටොලු ජය ගැනීමට කරන සටන තමයි දැන් පෙරමුණට ඇවිත් තිබෙන්නේ. පොතක් පතක් කියවීමට, සාහිත්‍ය සේවනය කිරීමට විවේකී මනසක් අවශ්‍යයි. එහෙම තත්ත්වයක්  දැන් පෙනෙන්නට නෑ. පරිපාලන සේවයේ පමණක් නෙවෙයි මෙය සමස්ත රාජ්‍ය සේවයේම දක්නට ලැබෙන තත්ත්වයක්.

අද සම්මාන උත්සව රාශියක් තිබෙනවා. මේ සම්මාන  නිසා නිර්මාණ සාහිත්‍ය වර්ධනය වී ඇතැයි ඔබ සිතනවාද?

මේ අදහස විවාදාත්මකයි. කෘතියකට සම්මානයක් ලැබූ පමණින්ම එය නිර්මාණ සාහිත්‍යය ප‍්‍රවර්ධනයට කෙළින්ම බලපාන දෙයක් ලෙස අර්ථ දැක්වීමට අපහසුයි. පළමුවෙන්ම ලංකාවේ සාහිත්‍ය සම්මාන පිරිනැමුණේ රාජ්‍ය අනුග‍්‍රහයෙන්. මේ කාලයේ සම්මාන වලට භාජනය වූ නවකතා අද තව වනතුරුත් අප අතර ජීවමාන වන අතර ඒ නවකතාවලින් ආභාෂය ලැබූ බොහෝ දෙනා අතින් උසස් සාහිත්‍ය කෘති බිහිවුණා. නිදසුනක් ලෙස 1963දී කේ. ජයතිලක ශූරීන් විසින් ලියන ලද, රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද චරිත තුනක් නවකතාව අද පවා විද්වත් කතිකාවකට බඳුන් වන නවකතාවක්. රාජ්‍ය සම්මාන ලැබූ, එසේම සාහිත්‍යයේ ප‍්‍රවර්ධනයට ඉවහල් වූ මෙවැනි බොහෝ නවකතා හා අනෙක් විවිධ නිර්මාණ අප අතර තිබෙනවා. නමුත් අද ලංකාවේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරවත් තත්ත්වය වෙනස්. අද බොහෝ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන පිරිනැමෙන්නේ ප‍්‍රකාශන ආයතන විසින්. එවිට සම්මානයක් පිරිනැමීමේ අරමුණු වෙනස් වෙනවා. සාහිත්‍ය ප‍්‍රවර්ධනය යන අරමුණ දැන් වාණිජ ප‍්‍රවර්ධන අරමුණක් දක්වා ස්ථාන මාරැ වී තිබෙනවා. එයට කිසිවෙකුටත් දොස් නැඟිය නොහැකියි.

 කුසුම්සිරි