2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

අන්තර්ජාලය බුද්ධිය මොට කරනවා - ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී අනුල ද සිල්වා

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී අනුල ද සිල්වාගේ පුවත්කලා ජීවිත අත්දැකීම් විස්තර කරනා බේරෙ ගෙදර සිට එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. නවකතා, යොවුන් කතා, සහ පරිවර්තන කෘති විශාල ප්‍රමාණයක්ද රචනා කර ඇති අනුල ද සිල්වා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙවරක්ම හිමිකර ගත් ලේඛිකාවකි.

ඔබේ (බේරේ ගෙදර සිට) පොත ගැන හැඳින්වීමක් කළොත්?

බේරේ ගෙදර පොත ප්‍රථමවරට මා විසින් ලියන ලද්දේ 2001 වසරේදීයි. පසුව මෑතකදී විඳි අලුත් අත්දැකීම්ද එයට එක් කළා. මේක ජීවිත කතාවක් නොවේ. බොහෝදෙනා තම ජීවිත කතාව ලියන අවස්ථාවේදී මට මගේ ජීවිත කතාව ලිවීමට අවශ්‍ය වුණේ නැහැ. මා විසින් මෙසේ ලියා පළකරන ලද්දේ පුවත්පත් කලාවේදිනියකගේ ජීවිත කතාවයි. මා පුවත්පත් කලාවේදිනියක වශයෙන් ලේක්හවුසියට බැඳුණේ 1964දී. ඒ කාලයේ පුවත්පත් කලාවේදීන් සිටියේ අතලොස්සයි. මගේ පුවත්පත් කලා ජීවිතය බොහෝ හැලහැප්පීම්වලින් යුතු එකක්. 1964 වසරේ 23 හැවිරිදි තරුණියක ලෙසින් පුවත්පත් කලා ජීවිතය ඇරඹූ මා 2001 වසර වනවිට 35 වසරකට වැඩි අත්දැකීම් ලබා තිබුණා. හැලහැප්පීම් මැදින් ගලාගිය ඒ කාලය දෙස ආපසු හැරී බලද්දී දැනුණේ එය මගේ සිතට මහා බරක් විදිහටයි. ඒ අත්දැකීම් යළි යළිත් මෙනෙහි කිරීමට මේ ලියා සිත නිදහස් කරගැනීමටද මට අවශ්‍ය වුණා. මා කළේ සිත තුළවූ අත්දැකීම් බරින් නිදහස්වීමක්.

අද බොහෝ කාන්තාවන් පුවත්පත් කලාව නියෝජනය කරනවා. ඒ කාලේ හිටියේ ටික දෙනයි නේද?

ඔව්. එදා ක්ෂේත්‍රයේ උන්නේ අතලොස්සක් පමණ වූ පුවත්පත් කලාවේදිනියන් පිරිසක්. ඔවුන් මා මෙන් තම අත්දැකීම් මෙසේ ග්‍රන්ථාරූඪ කර තිබුණේ නැහැ. එහෙත් මගේ අත්දැකීම් ඒ අයට වඩා සංකීර්ණයි. මගේ ඒ සංකීර්ණ අත්දැකීම්, කොතැනක හෝ ලියා තැබීම අනාගත පරපුරට ප්‍රයෝජනයක් වනු ඇතැයි මා සිතන්නට ඇති. එදා පුවත්පත් කලාව අද තරම් තාක්ෂණය අතින් දියුණු තත්ත්වයක පැවතුණේ නැහැ. ඒ නිසාම සැබෑ පුවත්පත් කලාවේදියකු වීම හැම අතින්ම බැරෑරුම් අපහසු කාර්යයක් වුණා. විශේෂයෙන්ම කාන්තාවක වශයෙන් මෙහි බරදැරීම අතිශයින්ම අමාරු කාර්යයක් වුණා විශේෂයෙන්ම ලේක්හවුස් වැනි අතිශයින් ප්‍රසිද්ධ ආයතනක වසර දහඅටක් සේවය කිරීමත් විවිධ හේතූන් නිසා වෙනත් පුවත්පත් ආයතනවලට මාරැවීමක් නිසා මා ලද ප්‍රශ්න බොහෝයි. ඒවා සියල්ල මිහිරි අත්දැකීම් නොවේ. කටුකත්වය තුළින් මා ලද ජයග්‍රහණයන්. ඒවා අනාගත පරපුරට ප්‍රයෝජනයක් වේ නම් එයත් මා ලද භාග්‍යයක්.

මේ පොතට ලැබුණු ප්‍රතිචාර මොනවාද?

එදාට වඩා මේ පොතට අද ලැබෙන ප්‍රතිචාර වැඩියි. මෙහි නව සංස්කරණය 2021 වසරේ නිකුත්වීමත් සමඟ මගේ අදහස් බෙදාගැනීම සඳහා මට දුරකතන ඇමතුම් විසි තිස් ගණනක් ලැබුණා. මේ කොරෝනා කාලයේ බොහෝදෙනාට පොතපත මිලදී ගැනීම අපහසු වුවත් මුද්‍රණයට ලද පාඨක ප්‍රතිචාර අද වනවිට අතිවිශාලයි. ඒ සමහරවිට මට ආදරය කරන මගේ පොත් කියවන පාඨකයන් දහස් ගණනින් වැඩිවී ඇති නිසා විය යුතුයි. මේ පොත තුළ පුවත්පත් කලාව හා සමබරව දිවෙන දේශපාලන පසුතලයක්ද තිබෙනවා. පෞද්ගලික ආයතනයක් වශයෙන් වුවද දේශපාලනයට ගැති නොවී ආණ්ඩු මාරුවන අවස්ථාවලදී කාටත් නොදැනෙන්නට දේශපාලනයට අවතීර්ණ වූ ලේක්හවුසිය රජයට පවරා ගැනීම දක්වා වූ කාලය තුළ මා ලද අත්දැකීම්ද මෙහි විස්තර කර තිබෙනවා.

ඔබ ඒ කාලේ අසාධාරණයට එරෙහි වූ පුවත්පත් කලාවේදිනියක් ලෙස සැලකුණා නේද?

අසාධාරණයට විරුද්ධව කතා කිරීම ඕනෑම පුවත්පත් කලාවේදියකු තුළ තිබිය යුතු අභීත ගුණාංගයක්. එය මා තුළින් වඩ වඩාත් මතුවූයේ මා පෞද්ගලික වශයෙන් වුවද අසාධාරණයට විරුද්ධව සටන් කළ අයකු වූ නිසයි. ඒ නිසා මා ලේක්හවුසිය තුළ යකඩ ගැහැනියක් වුණා. එක්සත් ජාතික පක්ෂ බලකණුවක් වූ හිටපු සභාපතිවරයෙක්ගේ අදහස්වලට මා විරුද්ධ වූ අවස්ථාවලදී එතුමා මට හිස නැමුවා යැයි කිව යුතුයි. ඒ සාධාරණ සමාජයක් වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකණුවක් වූ තවත් සභාපතිවරයෙක් හැම අවස්ථාවකදීම පක්ෂ බේදයකින් තොරව මට ප්‍රශංසා කළා. මගේ වැඩ කටයුතු අගය කළා. ඒවා ඒ අයුරින්ම මම පොතේ සඳහන් කර තිබෙනවා.

වර්තමානයේ අන්තර්ජාල පහසුකම් සුලබයි. එදා හා අද සැසඳුවොත්?

අවුරුදු තිස් ගණනක් වූ මගේ ජීවිත කාලය තුළ අපට අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. අද ලිපියක් ලිවීමට අවශ්‍ය කරුණු සෙවීමේදී බොත්තමක් එවූ පමණින් ඒ අවශ්‍ය දේ ගැන කරුණු ජාලයක්ම තිරය මත වැටෙනවා. එහෙත් එදා එවන් පහසුකම් නැහැ. පුවත්පත් කලාවේදියාට බොහෝ අවස්ථාවලදී කරුණු සෙවීමට යම් යම් පුද්ගලයන් හමුවන්නට සිදුවුණා. නැතිනම් ලේක්හවුස් පුස්තකාලයේ ඇති ලිපිගොනු විමර්ශනය කළයුතු වුණා. අද අන්තර්ජාල පහසුකම් නිසා පුවත්පත් කලාවේදියාට ලිපියක් ලිවීමට එදා තරම් මහන්සි විය යුතු නැහැ. එක් අතකින් එය ඔවුන්ගේ බුද්ධිය මොට කිරීමක් යැයි මට සිතෙනවා.

පුවත්පත් අතර අද ලෝකු තරගයක් තිබෙනවා. එය පුවත්පත් කලාවේ වර්ධනයට බලපානවාද?

මේ තරගය අමුතු දෙයක් නොවේ. තරගය එදාද පැවතුණා. එහෙත් එදාට වඩා අද තරගය ප්‍රබලයි. එදා ලේක්හවුස් ආයතනය හා තරග වැදුණේ එක් ආයතනයක් පමණයි. ඒ නිසාම එදා තරගයට යම් යම් සීමාවන් තිබුණා. එහෙත් අද පුවත්පත් ආයතන රාශියක්. එකින් එක අභිබවා තමන් නැගී සිටීමට උත්සාහ දරන්නේ සමහරවිට කුණු ගොඩවල් අවුස්සමින්. සමහර කාන්තා පුවත්පත් ගැහැනුන්ගේ මොළය හැඳිමිටේ දිගට බස්සවන තත්ත්වයට පත්ව ඇති බවද කිව යුතුයි.

අද පුවත්පත් කලාවේදීන් තුළ වගකීමක් ඇත්ද?

පුවත්පත් කලාවේදියා දැඩි වගකීමකින් යුතුව කටයුතු කළයුතු පුද්ගලයෙක්. එදා මට තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලද සාමාන්‍ය කලා උපාධියක් පමණයි. පසුව නිර්මාණ සාහිත්‍යය හා ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හැදෑරුවා. පුහුණුව ඇතත් නැතත් එදා අපට පුවත්පත් කලාව පිළිබඳ දැඩි කැක්කුමක් කැපවීමක් තිබුණා. මා ගැන සිතද්දී ඒ මගේ ජානවලම තැන්පත්ව තිබෙන්නට ඇති. එහෙත් අද බොහෝ දෙනා තුළ (හැමදෙනාම නොවේ) එවන් කැපවීමක් ඇත්දැයි සිතෙනවා. එය සමහරුන්ට රැකියාවක් පමණයි. උපතින්ම ආ සේවයක් හෝ කැපවීමක් නොවේ. පුවත්පත වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති මෙවන් යුගයක පුවත්පත් කලාවේදියාද එයටම කොටුවීම අමුතු දෙයක් නොවන බව කිව යුතුයි.

 කුසුම්සිරි

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00