2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

දේශපාලන චක්‍රය

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 83

මීට කලකට පෙර, මම ජාතික ඇඳුමින් සැරසී මංගල උත්සවයකට සහභාගි වීමි. ඊට පැමිණ සිටි, පුද්ගලයෙක් මා දේශපාලනඥයකු දැයි විමසීය. එදායින් පසු, මම ජාතික ඇඳුමට “ආයුබෝවන්” කීවෙමි.

ජාතික ඇඳුම, දේශපාලනඥයන්ගේ නිලඇඳුම බවට පත්වූ රටක් ලොව වෙත් නම් ඒ සිරි ලංකාවමය.

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට යැයි කියමනක් ජනවහරේ එයි. දේශපාලනඥයාගේද සැබෑ සුද පෙනෙන්නේ “ඉගිලෙන” විට නොහොත් කරන කියනා වැඩවලින්ය.

රෙද්ද සුදු වුවත්, එහි කුණු පැල්ලම් වේ නම්, ඒ සුදෙන් ඇති පලක් නැත. සමහරුන්ගේ රෙදිවල, හත්පොළේ ගිහින් ඇනගත් තුත්තිරිය. උන්ගේ කුණු රෙදි සෝදන්නට මෙන්ම රෙද්ද පල්ලේ ඇති තුත්තිරි ගලවන්නටත්, දාසයෝ ඕනෑ තරම්ය. ඔවුන් ප්‍රවේණි දාසයන් නොව, වරප්‍රසාදලාභී දාසයන්ය.

උපාසක අම්මලා පමණක් නොව උපාසක අප්පුලාගෙත් සුදු රෙදිවල තුත්තිරි ඇලවෙන බවත්, ඒවා කාලයාගේ ඇවෑමෙන් කාගේත් මතකයෙන් ඈත්වන බවත් අපි දනිමු.

එක්තරා කැලෑවක සිටි සුදු හාවෙක්, “කොටුවක් පැනීමට” යාමේදී ඇඟ පුරාම තුත්තිරි ඇනුණි. හාවා දුටු නරියා තරමක් කලබලයට පත්වූයේ, ඌ ඉත්තෑ පැටියකු මෙන් ඈතට දිස් වූ බැවිනි.

කපටිකමින් හාවා ගොදුරු කර ගැනීමට සිතූ නරියා, ඌට ළංව මෙසේ ඇසීය.

“යාළුවා, මොකද ඇඟ පුරාම තුත්තිරි.. ඔහේ කැමති නං මට පුළුවන් එකින් එක ගලවල දාන්න.”

නරියාගේ යටි අදහස, හාවාට වැටහුණි.

“කරදර වෙන්න එපා නරි හාමි.. තුත්තිරි ටික ඔහෙ තිබුණදෙන්. අපේ හාමිනේටත් වැඩක් තියෙන්ඩ එපායැ.”

එසේ කියූ හාවා, පිම්මක් ගසා එතැනින් පැන ගත්තේය. “නරි කවද්ද, හාවුන්ගේ තුත්තිරි ගැලෙව්වේ” යැයි කියමනක්ද වන කතා සාහිත්‍යයට එක් වූයේය.

තුත්තිරි ගැන කියන විට, තවත් රස කතාවක් මතකයට නැගෙයි.

ඉහ නිකට පැහුණත්, උස බණ්ඩා, මනමාලයෙකි. ගමේ බාසාවෙන්ම කියනවා නම්, කරමලේ එළියට නොපෙනුණාට, හොඳ කැකුළෙකි.

සිරිපිනා, ද තලතුනා වයසේ පසුවුණත්, හොඳ අඟර දඟර කාරියකි. එක් දිනක් දරට ගොසින් එන සර්පිනාගේ කම්බායේ තුත්තිරි ඇනුණි. මේ බව දුටු, උස බණ්ඩා බිමට නැඹුරුව, සිරිපිනාගේ තුත්තිරි ගලවා දමන්නට ගත්තේය. කෙමෙන් ඔහු, තුත්තිරි නැති තැන්වලද තුත්තිරි සොයනු දැනුණෙන්, සිරිපිනා, කට කොණකට සිනාවක් නගමින්, මෙසේ කියුවාය.

“උස බණ්ඩයියේ, තුත්තිරි තියෙන්නෙ කොහෙවත්. ගලවන්නෙ කොහෙවත් නෙ.”

එවිට, කටකාර උස බණ්ඩා, මෙසේ කියා හෙමින්ම මාරු වුණේය.

“ඒක තමයි සිරිපිනෝ, ඒ තැන්වල තුත්තිරි මටත් කලින්, වෙන කවුදෝ ගලවල වගේ.”

“උස බණ්ඩා, සිරිපිනාගේ කම්බායේ තුත්තිරි ගැලෙව්වා වගේ” යැයි කතාවක්, අපේ ගම කතා අතරට එක්වුණේ ඉන් පසුවලු. දැන් දැන් තුත්තිරි කතා අසන්නට නොලැබේ. ඊට එක හේතුවක් වන්නේ, ඉස්සර සිරි ලංකාවේ මෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ තුත්තිරි වැඩිපුර දක්නට නොලැබීමය.

ලොකු ලොකු උන්නැහේලාගේ ගාඩ්න්ස්වල නම්, ඔරිජිනල් ශ්‍රී ලංකන් තුත්තිරි වැවෙන්නේම නැත. ඊට හේතුව, ඒවායේ ඇත්තේ ඔස්ට්‍රේලියන් හෝ නිව්සීලන්ඩ් ග්‍රාස් වීමය. තණකොළ ටික පවා රටින් ගෙන්වීමට ගිය අපට සිදු වුණේ, “බෙහෙතකටවත්” ඩොලරයක් සොයා ගැනීමට බැරි තැනට වැටීමය. කන්ටේනර් පුරවන්නට තරම් ඩොලර් සෙවූ අය, ඒවා පැන්ඩෝරා පෙට්ටිවල තැන්පත් කර ඇති බව, මෑතකදී හෙළි වුණි. 

තව තව පස්සට මොන මොන පැන්ඩෝරලා එළිබසී දැයි කීමට බැරිය. හැබැයි, එක දෙයක් නම් ඉස්තීරෙටම කිව හැකිය. එනම්, ඔය මොන මොනවා එළිබැස්සත්, එතනින් එහාට කිසි දෙයක් සිද්ද නොවනා බවය. නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරැවන්ගේය. එක රටත් හාමුදුරුවන්ගේය. පුංචප්පුලාට තියෙන්නේ, හකකේ තියෙන හපේ, අනික් හක්කට මාරු කර සාදු සාදු කියන්නට පමණය.

(මේ රට හදන්නට බැරිය. ඒ නිසා අපි යනවාය) යන කතාව දැන් දැන් හැම තැනින්ම ඇසෙන අතර, වීසා සහ පාස්පෝට් පෝලිම් ද දිනෙන් දින දිග් ගැස්සෙයි. ඩොලර් සොයන්නට, රටේ ඉඩම්, පරදේසක්කාරයන්ට විකුණන්නට යනවාය යන විපක්ෂයේ අවලාදය ඇත්තක් නම් පිටරට නොව මතුරට යාමටත් අනාගතේදී වීසා ගැනීමට සිදුවනු ඇත. 

සිරි ලංකාවේ දේශපාලනය යනු ඉතාම අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වී හමාරය. මෙය මගේ තනි මතයක් නොවේ. අපගේ උගත් මිත්‍රයකු මෑතකදී පැවසූ අන්දමට, ඔහු (ප්‍රවෘත්ති) නොබලන්නේ, ඇඟේ ලේ ටික පිච්චෙන නිසාය. ඔහුට අනුව මේ රටේ දේශපාලනඥයන්ට, ජනතාව යනු (බයිට්) ය.

බයිට්වලද විවිධ වර්ග ඇත්තා සේ, ජනතාව අතරද රතු, කොළ, නිල් යනාදී වශයෙන් වර්ග දක්නට තිබේ. සමහරැ විහින් බයිට් වෙති. (දේශපාලනඥයන් පසුපස යමිනි.)

රටකට දේශපාලනය ද නැතිවම බැරිය. ඒ, අන් කිසිවකට නොව, දේශපාලනඥයන් පත්කර ගැනීම සඳහාය.

දේශපාලනඥයන් පත් කරන්නේ රට පාලනය කරනු පිණිසය. එහෙත් බලයට ආ පසු, ඔවුන් කරන්නේ රට අත්පත් කර ගැනීමය.

එහෙයින් මෙය චක්‍රයකි. එය ජනතාවට දුක ගෙන දෙයි. දුකින් මිදීමට නම් මෙම චක්‍රය පාලනය කළ යුතුය. වෙනත් මගකින් කියනවා නම්, දුකට මුල වන දේශපාලනඥයන් නැවත ඉපදීම වළකාලිය යුතුය.

 කපිල කුමාර කාලිංග

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00