2021 මැයි 08 වන සෙනසුරාදා

අවසන් රජුගේ කෘෘරත්වය පවසන නවකතාවක්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190

නුවර කලාවියේ අලුත් නෑයෝ ප්‍රවීණ ලේඛක ගුණරත්න ඒකනායකගේ 100 වැනි කෘතියයි. ඔහු මෙයට පෙර නවකතා, කෙටිකතා, යොවුන් නවකතා, ළමාකතා, උපදේශනාත්මක කෘති සහ විෂයානුබද්ධ ග්‍රන්ථ ඈ නිර්මාණ 99ක් ලියා පළකර ඇත. මේ ඔහුගේ 35 වැනි නවකතාව වෙයි.

නූතන රසිකයන්ට ඔබින නවකතාවක් ලෙස ලියැවුණද මෙයට පාදක කොටගෙන ඇත්තේ ඉතිහාසයේ සංසිද්ධියකි. සෙංකඩගල රාජ්‍යයේ යටියාවල ගම පසුබිම් කොටගෙන පොතේ මුල් කොටස ලියැවී ඇත. කන්ද උඩරට සමහර නිලමේවරුන්ගේ බලතණ්හාව නිසා මෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අත්තනෝමතික ක_ර පාලනය නිසා කන්ද උඩරට රාජ්‍යය නතුකර ගැනීමට සිංහල නායකයන්ගේ සහාය ඉංග්‍රීසීන්ට ලැබිණ. කන්ද උඩරට අල්ලාගෙන රජුගේ පාලනය දුර්වල කිරීමෙන් පසු රජුට එරෙහිව කටයුතු කළ සිංහල නිලධාරීන්ට පාලනය භාරදීමට මුලදී වූ පොරොන්දුව කඩ කරමින් එම පළාත එංගලන්තයේ පාලනයට නතුකර යටත් විජිතයක් බවට පත්කිරීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ.

මංගලාරාම විහාරස්ථානයට සන්නසකින් පවරා දී තිබූ සියලුම දේපල ඉංග්‍රීසීන් පවරා ගත් අතර අඩු කුලයේ අය නායකයන් වශයෙන් පත්කර ගන්නා ලදී. සිංහල තරැණයන් සුදු හමුදාවට බැඳී සිංහලයන්ට එරෙහිව පටන් කිරීමට පෙළඹවීමද විශේෂිතය. 
වැඩක් නැහැ මැණිකේ. උන් සෙංකඩගල අල්ලා ගත්තා. රජ්ජුරුවන් පැනලා ගිහිල්ලා. දැන් උන්නාන්සේ අල්ලා ගන්න හමුදාව යවලලු. සෙංකඩගල සටනින් සිංහලයන් පරාජය වීම වීරසේකර නිලමේ තම බිරිය සමඟ කළා සංවාදයෙන් සනිටුහන් කර ඇත.

ඉංග්‍රීසි පාලනය ගැන කළකිරුණු ජනතාව මංගලාරාමයේ නායක හාමුදුරුවන්ද පෙරටු කොටගෙන පොළොන්නරුව ප්‍රදේශයේ එරමුදුයාය නැමැති ගමට පැමිණ එහි නටබුන්ව ගිය පන්සල හා වැව ප්‍රතිසංස්කරණය කරගෙන නව ජීවිතයක් ඇරඹූ අතර නව  ගම්මානයක් ඉදිකරගෙන විහාරස්ථානය හා වැවද ප්‍රතිනිර්මාණය කරගෙන සාර්ථක ගොවි ජීවිතයකට අවතිර්ණ වූ අන්දම විස්තර කිරීමට කර්තෘවරයා උත්සාහ කරයි. මෙම අලුත් ජීවිතයේදී ආරච්චි නිලමේ, කෝරලේ වැනි නායකයක්ගේ ජීවිත මෙන්ම සාමාන්‍ය ජනතාවට මුහුණදීමට සිදුවන හැලපැප්පිලිද, ඔවුන්ගේ ලිංගික ජීවිත පිළිබඳ විවරණයක යෙදීමද සිදුවේ. අවසාන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මුලින් සිටි යටියාවල ගමේ ඉතිරිව සිටි ජනතාව සහ පන්සලේ හාමුදුරුවන්ද අලුත් ප්‍රදේශයේ පදිංචියට පැමිණිමය.

මෙහිදී ඒ අසල පිහිටි බෙලිගස්හන්දිය කොලනියේ ජනතාවට උදවු කිරීමට ඉදිරිපත් වීම, අසල වැසි ද්‍රවිඩ ගමක වැසියන් සමග සම්බන්ධකම් පැවැත්වීම මෙන්ම ජාති කුල බේදවලින් තොරව එකිනෙකා අතර විවාහයන් පවා සිදුවීම මගින් සමානාත්මතා ජීවිතයක අර්ථාන්විතභාවය නිරෑපණය කිරීමටද උත්සාහ ගෙන ඇත.

මෙම පොත සමස්තයක් ලෙස ගෙන සලකා බැලීමේදී මෙහි කතාව ඉදිරියට ගලාගෙන යාම සාර්ථක මට්ටමක තිබේ. කතාව නිර්මාණාත්මක සංසිද්ධි මාලාවක් ලෙස සිතාගත හැකි නමුත් මෙය සම්මතයක් ලෙස පැවැති ‍‍ඓතිහාසික තොරතුරු අලුත් මාවතකට ගෙනයාමට දැරූ ප්‍රයත්නයක් ලෙසද සිතිය හැකිය. මෙම ග්‍රන්ථය පුරා දක්නට ලැබෙන අක්ෂර සහ ව්‍යාකරණ දෝෂ නොවන්නට මෙය අගය කළ යුතු කෘතියක් බවට පත්වන බව කිවයුතුය. ෙම් කතුවර ගුණරත්න ඒ ගැන දැක්වූ අදහස්ය.

මේ 100 වැනි පොත ඔබ මෙතෙක් කළ නිර්මාණවලට වඩා හාත්පසින් වෙනත් ආරකට ගමන් ගැනීමට දැරූ ප්‍රයත්නයක් බව පෙනෙනවා. ඇයි මේ වෙනස?

මා හැමවිටම එකම විදියේ නිර්මාණ කරන්නේ නැහැ. වස්තුබීජ, පාත්‍රයන් සහ විවිධ වූ කාලවකවානුවල සංසිද්ධි ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නවා. මෙහිදීද මා උත්සාහ කළේ අපේ අන්තිම රජ සමයට සමගාමීව ජනතා සිතුම් පැතුම්වල සිදුවූ වෙනස්කම් සහ ඔවුන්ට ස්වකීය ජීවන මග වෙනස් කරමින් අලුත් රටාවකට යොමු වීමේදී මුහුණ පාන්නට සිදුවූ අත්දැකීම් සහ වෙනස්කම් නිරූපනය කිරීමටයි.‍

ඉතිහාස මුලාශ්‍රවලින් මෙතෙක් ඉදිරිපත් වූ කරුණු ඔබේ පොතෙන් විකෘති කර ඇති බවට චෝදනාවක් නැගුණොත්.......?

මා මෙහිදී සිදුකර ඇත්තේ අවසාන රාජ්‍ය සමය පිළිබඳ ඉතිහාසගත පුරාවෘත්ත ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට නොවෙයි. ඒ ආශ්‍රයෙන් නව නිර්මාණයක් කිරීමටයි. එහිදී ඉතිහාසය වෙනස් කළා යැයි චෝදනාවක් එන්න විදියක් නැහැ. ඒ මොකද සත්‍ය සංසිද්ධි යම් වෙනසකට භාජනය කර අලුත් අත්දැකීමක් නිර්මාණයට ලේඛකයකුට නිදහසක් තියෙන්න ඕනෑ. මා ඉතිහාස කතාව හා ඒ සමාජ පරිසරය එලෙස නිර්මාණය කළා නම් මෙය තවත් ඉතිහාස පොතක් මිස නව නිර්මාණයක් වෙන්නේ නැහැ. අනිත් අතට මා පසුව දැනගත් කරැණු අනුවද මෙවැනි සිදුවීම් ඒ කාලයේ ඇතිව ඇති බව සනාථ වෙනවා.

රජුගේ පාලනයට වඩා ඉංග්‍රිසීන්ගෙන් රටට යම් මෙහෙයක් ඉටුවූ බව ඔබ මෙතුළින් කියන්නට උත්සාහ කර තිබෙනවා නේද? 

අවසාන රජු සිංහලයෙක් නොවෙයි. ඔහු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයෙක්. මෙහාට ඇවිත් නම වෙනස් කරගෙන සිංහල කුමාරිකාවක් විවාහ කරගෙන සිංහලයෙක් බවට පත්වීමට උත්සාහ කළා. එහෙත් ඔහුගේ සුරාසොඬ බව, විෂමාචාර හා සිදුවූ දරුණු පළිගැනීම් නිසා සිංහලයන් ඔහු කෙරෙහි කිපී ඔහුගෙන් පළිගැනීමට උත්සාහ කළා. සිංහල නායකයන් ඔහු යටත් කර ගැනීමට ඉංග්‍රීසීන්ට උදවු කළේ ඒ නිසයි. එය අසාධාරණ යැයි කියන්න බැහැ. ඉංග්‍රීසි ආධිපත්‍යයේදී ඔවුන් රජුට වැඩිය රටේ අභිවෘද්ධියට කටයුතු කළා. ඒ ගැන තර්කයක් නැහැ. අන්තවාදී නොවී අප ඒ යථා තත්ත්වය පිළිගත යුතුයි.

මේ පොතේ බහුලව පවතින ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස දෝෂ ගැන මොනවද කියන්නෙ? ඔබගේ මුල් පොත් හා සැසඳූවිට ඔබ මෙහිදී පසුගාමී බව පෙනෙනවා?

ඒ අතපසුවිම් මා පිළිගන්නවා. හදිසියේ කරන්න ගිය නිසයි එවැනි වැරදි සිදුව ඇත්තේ. ඊළඟ නිර්මාණවලදී මෙම තත්ත්වය අවම කිරීමට පියවර ගන්නා බව පැවසිය යුතුයි.

 යසවර්ධන රුද්රිගු