2021 මැයි 08 වන සෙනසුරාදා

ඇතැම් මහාචාර්යවරු සාහිත්‍යය ඇසුරු නොකිරීම පාපයක්!

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කෞතුකාගාර විද්‍යාව මෙන්ම පුරාවිද්‍යාව ද පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වූ ඔහු පසුව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ධුරයද හෙබවීය. ශාස්ත්‍රීය කෘති ලියන අතරම නිර්මාණාත්මක සාහිත්‍යයේද නිරතවන ඔහුගේ දෙවැනි කාව්‍ය කෘතිය කවියකට නිමිත්තක් පසුගියදා සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. ඔහුගේ ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා කෘතියට පසුගිය වසරේ හොඳම ශාස්ත්‍රීය කෘතියට හිමි ගොඩගේ සාහිත්‍ය සම්මානයද හිමිවිය.

අප ඔබ මුලින්ම හඳුනාගෙන සිටියෙ පුරාවිද්‍යාඥයෙකු හා කෞතුකාගාර විද්‍යාඥයෙකු හැටියට. ඔබ කාව්‍යකරණයට පිවිසෙන්නෙ කොහොමද?

පුරාවිද්‍යාව හා කෞතුකාගාර විද්‍යාව මං ඉගෙන ගන්නෙ විශ්වවිද්‍යාලෙට ඇතුළු වුණාට පස්සෙනෙ. හැබැයි කවියට හා ලේඛන කලාවට රුචි කරන්නෙ පාසල් අවධියේ ඉඳල. මගේ තාත්තත් හුඟක්ම කවියට ඇලුම් කළ කෙනෙක්. තාත්තා ගෙදරදි සැළලිහිණියෙ, ගුත්තිලයෙ, සුභාෂිතයෙ, ආදියේ කවි කටපාඩමින් කියවනවා. ඒ වාගෙම කවි ලියනවා. අපේ ගෙවල්වලට නුදුරින් ජීවත් වුණා තිහාරියේ පීටර් පෙරේරා කවීන්ද්‍රයා. තාත්තගෙ ළඟ මිත්‍රයෙක්. මගේ කාව්‍ය රසිකත්වය ආරම්භ වන්නේ තාත්තා නිසයි. 

ඔබ මේ වන විට කවි පොත් දෙකක් ප්‍රකාශයට පත්කොට තියෙනවා. ඔබේ කවිවලට ලැබුණු පාඨක ප්‍රතිචාරය කොයි ආකාරද?

ඉතාමත් සතුටුදායකයි. මගේ පළමුවන කවි පොත 2015 දී වර්ෂයක් ඇතුළත එය අවසන් වුණා. විචාරකයන්ගෙන් ද එයට ලැබුණෙ හොඳ ප්‍රතිචාරයකුයි. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ, බුද්ධදාස ගලප්පත්ති, චූලානන්ද සමරනායක, ප්‍රියංකාරගේ බන්දුල ජයවීර වැනි ප්‍රවීණ විචාරකයන් මගේ කවි පොත අගය කළා. එය පාඨක විචාරක දෙපක්ෂේම අවධානයට ලක්වීම මට සතුටක් සහ දිරියක්.

ඔබේ කවිවල යටි පෙළ අර්ථයෙන් පවතින සමාජ අසාධාරණත්වය සියුම් උපහාසයට ලක් කරනවා. මේ ගැන ඔබේ අදහස?

වර්තමාන සමාජය ජරාජීර්ණ වූවක්. දේශපාලනය, පැවිදි සමාජය හා ජනමාධ්‍ය යන බල කේන්ද්‍ර තුන ඊට වගකිවයුතු බවයි මගේ හැඟීම. ජාතිය භේදභින්න කිරීමටත්, සමාජ  සාධාරණත්වය සහ සද්භාවය නැතිකිරීමටත් හේතු වන්නෙ මේ බල කේන්ද්‍ර තුන. තමන්ගේ පැවැත්ම සඳහා ඒවා එකිනෙකට සම්බන්ධව කටයුතු කරනවා. නිදහස් දැක්මකට රටේ ඉඩක් නැහැ. රට පුරා පැතිරෙන්නේ අධිකාරි හෙජමොනික මතවාද පමණයි. එක්දහස් නවසිය තිස් ගණන්වල සිට එක්දහස් නවසිය හැත්තෑව දශකය අවසන් වනතුරැ අපේ රටේ ඉහළ මට්ටමේ සමාජ සංවාදයක් තිබුණා. ඉතින් මගේ බොහෝ කවිවලින් අර කිව්ව හෙජමොනික ක්‍රියාකාරකම් හා අදහස් උපහාසයට ලක්වෙනවා වෙන්න පුළුවන්. දේශපාලකයන්, ආගමික නායකයන් හා මාධ්‍ය ජනතාව වල්මත් කරන යුගයක මා හිතන්නේ ජනතාව මිත්‍යාවෙන් ගලවාගැනීමට තියෙන්නෙ කලාව විතරයි කියල. මගේ කවිවලින් සමාජ අසාධාරණත්වය, ව්‍යාජය උපහාසයට ලක්වෙනවායි ඔබ කියනවා නම් මට එය විශාල සතුටක්.

බොහෝ ශාස්ත්‍රීය උගතුන් නිර්මාණ සාහිත්‍ය බැහැර කරනවා. අඩුවෙන් තක්සේරු කරනවා. ඒ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

මේ ගැන නම් අපට දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකියි. එක අතකින් ශාස්ත්‍රවන්තයන් කියාගන්නා අය තමන්ගේ විෂය ක්ෂේත්‍රයට පරිබාහිර දේවල් ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. එපමණක් නොවෙයි. ඔවුන් තමන්ගේ විෂය ගැනවත් හරිහැටියට පොතපත කියවා යාවත්කාලීන වෙන්නෙ නැහැ. මේ ගැන වෙනම අධ්‍යයනයක් කළ යුතුයි කියල මට හිතෙනවා. විශ්වවිද්‍යාල ඇදුරන් සම්බන්ධයෙන් මේ තත්ත්වය විශේෂයි. 

ඒ ගැන ඔබේ අත්දැකීම් කිව්වොත්?

මහාචාර්යවරයෙක්ගෙන් වරක් ස්වර්ණ පුස්තක ලැබුණු නවකතාව ගැන හිතන්නෙ මොකක්ද කියල ඇහුවා. අපෝ මං නම් ඔය ලටපට කියවන්නෙ නෑ. අපේ පැරුණි මූලාශ්‍ර ටික කියවාගන්න මට ජීවිත කාලයත් මදියි. ඒක තමයි ඔහු මහා ආඩම්බරයකින් දුන්න උත්තරේ. හැබැයි රුස්වීම අවසන් වී අනික් හැමෝම නැඟිට යද්දි මගේ අතින් අල්ලාගෙන මට නැඟිටින්නට නොදී කී දේ සිංහලෙන් කියතොත් මෙන්න මෙහෙමයි. මගෙ දෙවියනේ තමන් විෂයයෙන් බැහැර, අන් කිසිදෙයක් නොකියවන මහාචාර්යවරුන් සිටින අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අනාගතය කොයිබටද? පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ සේනක බණ්ඩාරනායක තවත් විෂය සම්බන්ධ විශිෂ්ට ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක්ද ලිපි ලේඛන රාශියක්ද ලියූ ශාස්ත්‍රවන්තයෙක්. ඔහුගේ අවසාන ග්‍රන්ථය කවි පොතක්. සාහිත්‍යය බොහෝ ශාස්ත්‍රීය උගතුන් විසින් බැහැර කරනු ලබන බව ඔබ සඳහන් කළා. මා මතක් කළ සිද්ධි කිහිපයෙන් ඒ ගැන මා දරන අදහස පැහැදිලි වෙන්න ඇති. මට මේ ටිකත් කියන්න අවසර දෙන්න. සිසුන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ඔබ සඳහන් කළ ශාස්ත්‍රවන්තයන් පමණක් නොවෙයි අපේ රට පාලනය කිරීමේ කාර්යයට සම්බන්ධ දේශපාලකයනුත් කියවන්නේ නැහැ. දැනට අවුරැදු ගණනාවකට පෙර මම සමීක්ෂණයක් වැනි කාර්යයක් කළා. ඒ දවස්වලත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමිනුයි තිබුණේ. මා එවකට දැන සිටි මැති ඇමැතිවරැ බොහෝ දෙනෙකුගෙන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ලියා ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් යන පොත කියවා ඇතිදැයි මා ඇසුවා. පුදුමයකට මෙන් ඔවුන් එය කියවා තිබුණේ නැහැ. හැබැයි ඔවුන් පාර්ලිමේන්තුවේදීත් මහජන රැස්වීම්වලදීත් ආණ්ඩුක්‍රම විශාරදයන් මෙන් මත ප්‍රකාශ කරනවා. මේ නම් මහා ඛේදවාචකයක්.

මේ දිනවල සිදුකරමින් සිටින ඔබේ ලේඛන කටයුතු ගැන යමක් දැනගැනීමට අපේ පාඨකයන් කැමති වෙයි. ඒ ගැනත් කෙටියෙන් කතා කරමුද?

ඔව්. මම දැන් විශ්‍රාමික ජීවිතයක් ගත කරන්නෙ. එක පැත්තකින් කොරෝනා වසංගතයත් තවත් පැත්තකින් මගේ ශාස්ත්‍රීය හා ලේඛන ජීවිතයට විශාල ශක්තියක් වූ දයාබර බිරිඳගේ අසනීප තත්ත්වයත් නිසා යම් මානසික පීඩනයක් තියෙනවා. ඒ තත්ත්වය අකාමකා දැමීමේ උපායක් ලෙස ලිවීම හා කියවීම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. මේ දිනවල දඹදිව බෞද්ධ උරැමය සොයාගැනීම යන මැයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියා අවසන් කරමින් සිටිනවා. බුදුන් වහන්සේ උපන් භූමිය ලංකාව බවට මෑතක සිට ප්‍රචලිත වන මතවාදවල සත්‍ය අසත්‍යතාව ගැන අවබෝධ කර ගැනීමට එය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති. මගේ දෙවැනි කෙටිකතා එකතුවද පළකිරීමට සූදානම් කරමින් සිටිනවා. කවිත් ලියනවා. සෑහෙන කලකට පෙර ලියා තිබුණ නවකතාවක් යළි සකස් කොට පළකිරීමටත් අදහස් කරනවා. කළ යුතු බොහෝ දේ තියෙනවා. හිතට එනවා. වැඩ කළ යුතුව තිබූ කාලය ගිලිහී ගියේදැයි දුකත් හිතෙනවා.

 කුසුම්සිරි