සුනිල් සරත් ගී පද බැඳුම් අගය කරමින් මීට වසර තිහකට පෙර, එනම් 1985 වසරේදී ඔහුගේ පද්ම තටාකය ගී පද බැඳුම් එකතුව සඳහා ප්‍රස්තාවනා ලිපියක් සම්පාදනය කළෙමි. මට මතක හැටියට එතෙක් ඒ විෂයය පිළිබඳව ඉතිහාසගත විය යුතු කරුණු පළමු වරට එක්තැන් කළ පුරෝගාමී රචනාවක් හැටියට ඒ ලිපිය ඇගැයුමට ලක් විය. ඒ ඔහුගේ කලා දිවියේ මුල් අවදියේදීය. සුනිල් සරතුන් හා සමඟ අප සම්බන්ධ වූ අගනා රූපවාහිනී වැඩසටහන් දෙකක් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. එකක් නම් 1994 වසරේ අලුත් අවුරුදු උත්සව පාදක කොට ගෙන ඔහු නිෂ්පාදනය කළ අවුරුදු සිරිත වැඩසටහනය.
එය සඳහා උඩරට පාරම්පරික පසුබිමක් යොදා ගැනීමට සැලසුම් කළ ඔහු සගම ගමත්, ඒ අවට පිහිටා ඇති ගොඩමුණේ අම්බලම වැනි ස්ථානත් යොදාගත්තේය. මෙහිදී සම්පත් දායකයන් ලෙස මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර හා මමත් සහභාගී වීමු. මේ වැඩසටහන ඉතිහාසගත වන්නේ ලක්දිව රූපවාහිනී වැඩසටහන් අතර ප්‍රථම එළිමහන් රූගත කිරීම් දවසක් පුරා යොදාගත් වැඩසටහන ලෙසටය. ජන ක්‍රීඩා, ඔංචිලි වාරම්, රබන් වාදන ආදිය ද විටින් විට අප පිරිසේ සාකච්ඡා හා තොරතුරු දැන්වීම් ද මෙයට ඇතුළත් විය. එම ග්‍රාමීය පරිසරයේ තිබුණු චිත්තාකර්ෂණීය ස්ථාන, එනම් ගොඩමුණේ ඓතිහාසික අම්බලම, සගම විහාරය හා දේවාලය ආදිය පසුබිම් කරගනිමින්, රූගත කළ එම වැඩසටහන අද වන විට සම්භාව්‍ය තත්ත්වයක ලා සැලකෙන වැඩසටහනක් බවට පත්ව තිබෙන බව විටින් විට එය අවුරූදු දිනවලදී යළි ප්‍රචාරය කරනු ලැබීමෙන් පෙනේ.
සුනිල් සරත් විද්‍යුත් මාධ්‍යය තමා සමීපව දැන සිටි දේශීය සංස්කෘතිය පිළිඹිබු කොට දැක්වීමට ඉතා කෘතහස්ත ලෙස යොදාගත් ආකාරය ප්‍රකට කළ තවත් වැඩසටහනක් වූයේ එම වර්ෂයේදීම අප කළ දඹාන වැදිගම පදනම් කරගත් වැඩසටහනය. මීට සම්පත් දායකයන් ලෙස මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, පණ්ඩිත් අමරදේව ආදීහු ද සහභාගි වූහ. අපි වැදිනායක තිසාහාමිගේ නිවසේ ආලින්දයේ සිට පළමු කොටස රෑගත කරමින් ඔහු සමඟ දීර්ඝ සංවාදයක යෙදුණෙමු. මෙහිදී වැදි ජන සංස්කෘතියට ඇතුළත් කිරි කොරහ නැටුම ආදිය ද විටින් විට එක් කැරිණි. රූපවාහිනී මැදිරිවල සිර නොවී එළිමහන් වැඩසටහන් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් මේ වැඩසටහන්වලින් සිදුවිය.
පරිසර හිතකාමී සුනිල් සරත් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස සේවය කළ අතරතුර ඔහු සොබා සඟරාව ආරම්භ කරමින් පරිසරය සංරක්ෂණය හා අගය කිරීම පිළිබඳ පණිවිඩය රටට ගෙන ගියේය. එක් සොබා කලාපයක් සඳහා මා ලියූ අප සම්භාව්‍ය සාහිත්‍යයේ ස්වභාවික පරිසරය ඇගයෙන අයුරු දැක්වෙන ලිපිය මෙහිදී සිහියට නැඟේ. මුවදෙව්දා කවෙහි අගට එන මෛත්‍රී වර්ණනාව එනම්, වනයෙහි තවුස් දම් රකින මහ බෝසතුන්ගේ මෙත් කරුණා ගුණය පරිසරය පුරා පැතිරී ගොස් ස්වභාවයෙන් සතුරන් වූ සතුන් පවා එකිනෙකාට මෛත්‍රී කිරීමට පෙළඹී යාම සොබාදහමත් මිනිස් ගතිගුණත් එකට බද්ධ වී ගිය නිදසුනක් ලෙස වර්ණනා වූ අයුරැ මෙහිදී විස්තර විය.
සුනිල් සරත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට කර ඇති සේවාව අමරණීයය. ඔහුගේ කලා නෛපුණ්‍යය හා උසස් රැචිකත්වය හඳුනාගත් බලධාරීන් විසින් ඔහු ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවට පත් කරනු ලැබීම එම ආයතනය ආලෝකවත් කළ අවධියක ඇරඹුම වූයේය. ඔහු රටේ සිටින ප්‍රවීණ කලාකරුවන් මෙන්ම විද්වතුන් අමතා තම වැඩසටහන් සාර්ථක කරගැනීමට ඔවුන්ගේ සහාය ලබාගත්තේ කලාවේ අභ්‍යුදය මිස පෞද්ගලික න්‍යාය පත්‍ර ඔහු හට නොතිබුණි බැවිනි. ඔහුගේ මඟපෙන්වීම අනුව නිෂ්පාදිත මනෝහාරී නම් සංගීත ප්‍රසංග විවිධ චිත්තාකර්ෂණීය පසුබිම්වල සිට විකාශනය වූයේ සංගීත රසය හා සමඟ පරිස්ථානයෙහි මනරම් බවද එකට මුසු කරමිනි. අප ඉහත සඳහන් කළ උඩරට ගමකට ගොස් අලුත් අවුරැදු උත්සවය විකාශනය කිරීම වැනි සිද්ධීන්ගෙන් පෙනෙන්නේ සුනිල් තුළ තිබුණු උචිතානුචිත කාරණ පිළිබඳ මනා වැටහීමය.
සුනිල් සරත් අපේ රූපවාහිනී ඉතිහාසයේ අනුස්මරණීය කාර්යයක් ඉටුකරමින් 1994 වෙසක් උත්සවය දඹදිව ඉසිපතන ශුද්ධ භූමිය පදනම් කරගෙන සජීවී විකාශනයක් ලෙස අපට දකින්නට සැලැස්වූයේය. එහිදී බුදුරදුන් පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ භූමියේ සිට බුද්ධත්වය ලැබූ බුද්ධගයා ආදී වූ බුද්ධ චරිතය හා සම්බන්ධ අන්‍ය ස්ථානයන් ද ඉතා මනහර ලෙස සම්බන්ධ කරගනිමින් කළ මේ සජීව වැඩසටහන ප්‍රාතිහාර්යයක් වැන්නැයි සිතේ.
සුනිල් සරත් අපේ ජනමාධ්‍යයන් විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයන් හා සමඟ පැවැත්වූ මේ ඇසුර ඔහු තුළ ඒ මාධ්‍යයන් සඳහා මහත් ඇල්මක් ඇති කළ බව ප්‍රකට වන්නේ ඒ පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කිරීමට ඔහු පෙළඹී ගිය හෙයිනි. ඔහු ලියා පළ කළ විද්‍යුත් මාධ්‍යෝපදේශ විග්‍රහය අද දින විශ්වවිද්‍යාල මට්ටමින් හැදෑරෙන ජනමාධ්‍යය විෂයය සඳහා අගනා පාඨ ග්‍රන්ථයක් වී තිබේ. මෙහිදී ඔහු විශේෂයෙන් සඳහන් කොට ඇති කරැණු අතර මාධ්‍ය භාෂාව හා මාධ්‍ය ආචාරධර්ම වැදගත්ය. මේ කරැණු අපේ ජනමාධ්‍යයන් නිසි මඟට යොමු කිරීමට හේතුකාරක වේවායි පැතිය යුත්තේ හතු පිපෙන්නාක් මෙන් ජනමාධ්‍ය ආයතන අද දින බිහිවෙමින් පවතින හෙයිනි.
(සුනිල් සරත් පෙරේරා උපහාර සමාශංසා හරසර ලිපි සරණියේ ලිපියක් ඇසුරිනි.)
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස