2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

වනඋයන් ටිකට්පත් සල්ලි ගරන ඉල්ලමක්ලු!

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

ජාතික වනෝද්‍යානවල ප්‍රවේශපත් අලෙවියේදී දැවැන්ත මූල්‍යවංචාවක් සිදුව ඇතැයි අනාවරණය වී ඇත. විදේශීය සංචාරකයන්ට අලෙවි කරන ටිකට් පත් දේශීය සංචාරකයන්ට අලෙවි කිරීම මගින් දිනකට ලක්ෂයකට අධික මුදලක් වංචනික ලෙස උපයා ඇතැයිද ලද තොරතුරක් අනුව උඩවලවේ උද්‍යනයේ සිදුකළ පරීක්ෂණයකින් පසුව මේ සිද්ධිය සොයාගෙන ඇත. මෙම කෝටි ගණනක මූල්‍ය වංචාව සිදුකර ඇතැයි පැවැසෙන්නේ මූල්‍ය සහකාරවරයකු සහ සංචාරක කළමනාකාරවරයකු විසින් බවට තොරතුරු ලැබී ඇතැයි වනජීවි දෙපාර්තුමේන්තුව පවසයි. මෙම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකුගේ සේවය අත්හිටුවා ඇති බවත් අනෙක් නිලධාරියාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවත් වනජීවි දෙපාර්තුමේන්තුව පවසයි.

ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සංඛ්‍යාව පසුගිය යුද්ධ කාලයට සාපේක්ෂව සාපේක්‍ෂව දැන් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. එක් වසරක ජනවාරි මාසයේ සිට ජුලි මස දක්‌වා මුල් කාර්තුවේ පමණක් දේශීය සංචාරකයන් ලක්ෂ තුනහමාරක්‌ හා විදේශීය සංචාරකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක්ද ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙති. ඒ අතර යාල වනෝද්‍යානය නැරඹීමට වැඩිම දෙස්‌ විදෙස්‌ සංචාරක පිරිසක්‌ පැමිණීම විශේෂයකි. ශ්‍රී ලංකාව තුළ වනෝද්‍යාන 22 ක්‌ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඉන් වනෝද්‍යාන 18ක්‌ සංචාරකයන් සඳහා විවෘතව පවතියි. රුහුණු ජාතික වනෝද්‍යානය (යාල), විල්පත්තුව ජාතික වනෝද්‍යානය, උඩවලව ජාතික වනෝද්‍යානය ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනියි. 

අප්‍රේල් නිවාඩු සමයේ වන සතුන් නැරඹීම සඳහා මෙරට ජාතික වනෝද්‍යාන වෙත දෙස්‌ විදෙස්‌ සංචාරකයන් හැත්තෑපන් දහසකට ආසන්න පිරිසක්‌ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මේ අනුව ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදුවෙයි. යාල, උඩවලව, විල්පත්තු අභයභූමි නැරඹීම සඳහා විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන අතර අප්‍රේල් මාසයේදී පමණක්‌ යාල වනෝද්‍යානය නැරඹීමට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් 30,000 කට අධික පිරිසක්‌ද, විල්පත්තුව සඳහා 10,000 කට අධික පිරිසක්‌ ද උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට ඒ හා සමාන පිරිසක්‌ ද පැමිණෙති.

ජාතික උද්‍යානයන්හි වනජීවීන් සහ එයට ආවේණික ජීවීන්ට උපරිමව ආරක්ෂා කිරීම සදහා නීති සහ රෙගුලාසි වනජීවි දෙපාර්තුමේන්තුව විසින් හඳුන්වා දී ඇත. වනෝද්‍යාන පිහිටි ඉඩම් සියල්ල රජය සතු වන අතර වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන අවසර පත‍්‍රයක් ලබා ගත යුතුය.  වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විධිමත් අවසරයක්‌ ලබාගත යුතු අතරම ජාතික රක්‍ෂිත භූමියක්‌ තුළ බලපත්‍රයක්‌ නොමැතිව ඇතුළු වීම හෝ රැඳී සිටීම, බලපත්‍රයක්‌ සහිතව ඇතුළු වී එහි කොන්දේසි උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීම, සතුන්ට හා ශාකවලට හානි කිරීම වැනි උද්‍යානයට හානිකර දේ කිරීම ආදිය තහනම්ය.

ජාතික වනෝද්‍යන ප්‍රවේශපත් නිකුත් කිරීමේදී විදේශීය සංචාරකයන් සඳහා එක් ප්‍රවේශපත්‍රයක්ද දේශීය සංචාරකයන් සඳහා පහසු මුදලක ප්‍රවේශ පත්‍රයක්ද නිකුත් කරනු ලැබේ. විදේශීය සංචාරකයකුගේ ප්‍රවේශ පත්‍රයක වටිනාකම සේවා ගාස්තුවද සමඟ රැපියල් තුන්දහසක් වන අතර දේශීය සංචාරකයකුගේ ප්‍රවේශ පත්‍රයක වටිනාකම රුපියල් හැටකි. ඉහත සදහන් කළ දැවැන්ත ටිකට්පත් වංචාවේදී විදේශීය සංචාරකයන් සඳහා නිකුත් කරන ප්‍රවේශපත්‍ර දේශීය සංචාරකයන් වෙනුවෙන් නිකුත් කර ඇති බවට පරිගණක ගත තොරතුරු මගින් හෙළි වී ඇත. ඒමෙන්ම උඩවලව වනජීවී නිලධාරීන් පිරිසක් වසර ගණනාවක සිටම මේ මූල්‍ය වංචාව සිදුකර ඇතැයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සරත් පතිරත්න මහතා කියා සිටී. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසන්නේ මෙම මූල්‍ය වංචාව සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාර දෙන බවයි.

අවුරුදු සමයේ නිවාඩුව ගතකිරීමට වැඩිම දේශීය සංචාරකයන් පිරිසක් ජාතික වනෝද්‍යාන වෙත පැමිණෙන බැවින් මේ කාලය දැවැන්ත අන්දමින් මූල්‍ය වංචා සිදුවිය හැකිය. එය වළක්වා ගැනීමට දේශීය සංචාරකයන්ට අලෙවි කරනු ලබන ප්‍රවේශ පත්‍ර මිල දැනගෙන පැමිණෙන්නැයි වනජීවි දෙපාර්තුමේන්තුව සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.

රුහුණු (යාල), උඩවලව, හෝර්ටන් තැන්න, විල්පත්තු සහ මින්නේරිය යන ජාතික උද්‍යානවලට ඇතුළුවීම සඳහා උද්‍යාන ගාස්තු ඉහත වගු මගින් දක්වා ඇත.

♦ සකීෆ් සාම් තන්වීරි