2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ටී.වී. බලන මාවනැල්ලේ කුකුල්හාමි

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් කලාපයට අයත් හෙම්මාතගම, පෙතිගම්මන නිවසක රූපවාහිනිය නරඹන කුකුලෙක් ගැන තොරතුරු අපිට ලැබුණි. දැනට මාස 8 කට වැඩි කාලයක් තිස්සේ නිරායාසයෙන්ම රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටින මේ කුකුලා නිවැසියන් රූපවාහිනිය නරඹන ස්ථානයේ ඇති ඇඳ මත නැගී එහි සිට ඔවුන් සමඟ රූපවාහිනිය නරඹන අතර කුකුලා වැඩිපුරම කාටුන් නැරඹීමට කැමැත්තක් දක්වන බව කියයි. දේශපාලන හා ප‍්‍රවෘත්ති නැරඹීමට එතරම් ප‍්‍රියතාවයක් නොදක්වන කුකුලා ගෙදර පාසල් යන දරුවන් සමග කාටුන් නරඹන්නට විශාල වශයෙන් කැමැත්තක් දක්වන බව මේ තොරතුරු සොයා ගිය අපට අසන්නට හා දකින්නට ලැබුණි. 

මිනිසුන් රූපවාහිනිය හෙවත් විද්‍යුත් මාධ්‍ය පාවිච්චියට ගත්තත් සතකු රූපවාහිනියක් නරඹනවා කියා අප අසා නැත. එම නිසා මෑත කාලයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ මුල්ම අවස්ථාව හැටියට මේ සිදුවීම හැඳින්විය හැකියි.

හෙම්මාතගම, පෙතිගම්මන ඇති මේ නිවසට ගොඩවැදුණු අපට නිවසේ මිදුලේ ආහාර සොයමින් ඒ මේ අත දුවන කුකුලෙක් සිටින අකාරයද දැක ගැනීමට හැකි වූ අතර අප එම නිවසට ගිය කරුණු කාරණා පැහැදිලි කර පසු නිවසේ අයිතිකරු එම්.ඒ. සෙනෙවිරත්න මහතා ඔන්න මහත්තයෝ බලාගන්න කියා නිවසේ රූපවාහිනිය ක‍්‍රියාත්මක කරන්නට විය. 

ඒ අවස්ථාවේ ආහාර සොයමින් සිටි කුකුලා හොඳින් රූපවාහිනියේ හඬට සවන් දෙන ආකාරය දැක ගැනීමට අපිට ද හැකි වූ නමුත් රූපවාහිනියේ එවේලේ ප‍්‍රවෘත්ති විකාශනය වෙමින් තිබිණි. ඔහු වෙනත් චැනලයකට අංකනය කළ පසු එහි සංගීත වැඩසටහනක් තිබිණි. කුකුලා එම වැඩසටහන නැරඹීමට අප සිටින ස්ථානයෙන් ක‍්‍රමයෙන් නිවසේ රූපවාහිනිය තිබෙන ස්ථානයේ නිදන ඇඳ මතට ගොඩ විය. සිද්ධිය දුටු අපත් එම සිදුවීම දෙස බලා සිට ඡායාරූප මෙන්ම වීඩියෝ ගත කිරීම්ද සිදු කළ අතර එම නිවසේ පදිංචි එම්.ඒ. සෙනවිරත්න මහතා මේ අපූරු කථාව ගැන අපට මෙසේ පැවසුවේය.

“මහත්තයෝ මේ කුකුලා මාස 8 ක පමණ සිට ටී.වී. බැලීමට නිරායාසයේම පුරුදු වුණා. කුකුලා වැඩිපුරම කාටුන් වැඩසටහන් නැරඹීමට ප‍්‍රියතාවයක් දක්වනවා. මෙයා ටී.වී. එකේ හඬ හා රේඩියෝ එකේ හඬ හොඳින් හඳුනනවා. මේ කුකුලා ටී.වී. එක දාපු ගමන් වත්තේ කොහේ සිටියත් සාලයට ඇතුළු වී එහි ඇති ඇඳෙහි වියනට වෙලා හෝ ඇඳ මත සිට රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටිනවා. හවසට ගෙදර අපි සේරමලා ටී.වී. බලනකොට මෙයා ඇඳ වියනට වෙලා ටී.වී. බලනවා ටී.වී. එක ක‍්‍රියා විරහිත කරනකම්. 

මේ ගෙදර ඉන්න පුතාලාගේ දුවලාගේ දරුවෝ වාගේම අසල්වාසීන්ගේ දරුවන් පාසල් නිවාඩු ඉරිදා සෙනසුරාදා ගෙදර කාටුන් බලන්න පුරුදුවෙලා ඉන්නේ. කුකුලාත් ඇවිත් එම දරුවොත් එක්ක ටී.වී. බලනවා.

කලින් අපේ ගෙදර කුකුලන් ගොඩාක් ඇති කළා. නමුත් අවට ගෙවල් වලට සත්තුන්ගෙන් කරදර නිසා දැන් ඒ සත්තු ඔක්කොම විකුණුවා. ඉතිරි වෙලා ඉන්නේ මම බිත්තර තියලා රැකපු මේ කුකුලා විතරයි. අපේ පුතා අලුත්නුවර දේවාලයට ශිෂ්‍යත්වය ලියනකොට බාරයට මේ සතාව බාර කළා. දේවාලයෙන් දැන් කුකුලන් බාර ගන්නේ නැති නිසා මේ සතාව ගෙදර තියාගත්තා. අපි හැම කෙනෙක්ම මේ සතාට ගොඩාක් ආදරෙයි. මේ වාගේ දෙයක් සතා කරන්නේ මොන හේතුවක් නිසාද කියලා නම් අපි දන්නේ නැහැ.”

කුකුලා සමහර අවස්ථාවල නිවසේ ජරා කරයි කියලා බිරිඳ සහ වැඩිහිටියන් සතාව එළවන අවස්ථාවන්හි එම නිවසේ සාලය අසල දොරකඩට වී රූපවාහිනිය නරඹනවා. වයස අවුරුද්දක් පමණ වන සතා රාත‍්‍රී කාලයේ නිවසේ කාමරයක මේසයක් මත නිදන බවත් සතා වෙනුවෙන් නිවසේ වෙනම කුඩුවක් නොමැති අතර නිදැල්ලේ සිටින බවද පවසයි. 
නිවසේ වත්තෙන් බැහැර නොවන කුකුලා නිරන්තරයෙන් නිවස අවට රැඳී සිටින බවද පවසයි. සතාගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසේ සිටින බල්ලාද මනා සහායක් දක්වන අතර යම් සතකු පැමිණ කුකුලාට හිංසාවක් කරන සැණින් බල්ලා පැමිණ එය වළක්වන බවද සෙනෙවිරත්න මහතා පැවසුයේ දිග හුස්මක් ගනිමින්ය. මේ සතා ගැන කියන ඔහුට සමහර වේලාවට සතාට තිබෙන ආදරය කරුණාව නිසාම විටක අප සමග කතා කළේ හැඟුම්බර දෙනෙතකින් යුක්තවයි. සෙනෙවිරත්න මහතා අවසන් වශයෙන් අප සමග මෙවන් කථාවක්ද කීය.

මම මේ සතාව කවදාවත් විකුණන්නේ නැහැ. කිහිපදෙනෙක්ම ඇවිල්ලා මගෙන් සතාව දෙන්න බැයිද කියලා ඇසුවත් මම කිසිම දවසක සූදානමක් නැහැ කුකුලාව විකුණන්න. අපිට පුළුවන් මේ සතාට සලකන්න. සමහරවිට මේ සතාගේ පෙරභවයේ පුරැද්දකට මෙහෙම කරනවා ද කියලා මට තේරෙන්නේ නැහැ.” 

♦ ඡායාරූප හා සටහන: මාවනැල්ල සමන් විජය බංඩාර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00