2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

වයසට යනකොට හැදෙන සන්ධිගත වාත රෝගය

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 810

සන්ධිගතව මතුවන රෝගී අවස්ථාවන් නිසා පීඩාවට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව අද වනවිට පවතින්නේ ඉහළ මට්ටමකය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සන්ධිගතව මතුවන ප්‍රධාන රෝගී අවස්ථාවක් කිහිපයක්ම ඇති අතර ආමාවාත, ගම්භිර වාත රක්ත හා සන්ධිගත වාත රෝග ඒවායින් ප්‍රධාන වේ. මේ අතරිනුත් වර්තමානයේදී බහුලවම දක්නට ලැබෙන්නේ සන්ධිගත වාත රෝගයයි. වයස්ගත වීමත් සමඟම හටගැනෙන රෝගයක් වන සන්ධිගත වාත රෝගය සම්බන්ධයෙන් අද අපව දැනුම්වත් කරන්නේ ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩබ්ලිව්.ජේ. වික්‍රමාරච්චි මහත්මියයි. 

අපි වයසට යාමත් සමඟම අපේ සිරුරේද යම් යම් වෙනස්කම් සිදුවෙනවා. මෙලෙස සිදුවන වෙනස්වීම් නිසා විවිධ වූ රෝගාබාධ හටගන්නවා. සන්ධිගත වාත රෝගය කියන්නේ මෙලෙස වයසට යාමත් සමඟම හටගන්නා රෝගී අවස්ථාවක්. ආයුර්වේදයේදී එය ජරා වාත ලෙසින්ද හඳුන්වන්නේ ජරාවට පත්වීමත් සමඟම හටගන්නා රෝගී අවස්ථාවක් නිසා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය ඔස්ටියෝ ආතරයිටිස් ඝනයට ගන්න පුළුවන්. 

ඔබත් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයෙක්ද?

සන්ධිගත වාත රෝග තත්ත්වයේදී සාමාන්‍යයෙන් සිදුවන්නේ අස්ථින්ගේ විකෘතිතාවයක් ඇතිවීමයි. මෙම තත්ත්වය බොහෝදුරට ඇති වන්නේ වයසට යාමත් සමඟය. වයසට යාමේදී අපගේ සිරුරේ ඇති ධාතූන් ක්ෂය වීමක් දක්නට ලැබෙන අතර එම ධාතු ක්ෂය වීම මෙම රෝගයට හේතුකාරක වේ. අස්ථි දෙකක් අතර පවතින කාටිලේජ කොටස ගෙවීයාම මෙහිදී සිදුවන අතර එවිට අස්ථින්ගේ ක්‍රියාකාරිත්වය යම්තා දුරට ආඩල වේ. සාමාන්‍යයෙන් මේ රෝගයට ගොදුරු වන්නේ වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ය. එහෙත් ඊට අඩු වයසකදී වුවද එනම් අවුරුදු 25 පමණ කාලයේදී පවා සන්ධිගත වාත රෝගය හටගැනීමේ හැකියාව ඇත.

කාන්තාවන් අතර බහුලයි

සන්ධිගත වාත රෝගය බහුලවම දැකිය හැක්කේ කාන්තාවන් අතරය. එය අනුපාතයක් ලෙස ගත්විට 3:1කි. එනම් පිරිමි අයට වඩා තුන්ගුණයකින් කාන්තාවන් හට මෙම රෝගය ඇතිවීමේ අවදානමක් ඇත. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ආර්ථව අභාවය සිදුවීමත් සමඟ ඔවුන්ගේ සිරුරේ හෝමෝනවල වෙනස්කම් සිදුවේ. ආර්ථව අභාවය යනුවෙන් අදහස් කරන්නේ මාසික ඔසප් වීම නතර වීමයි. වයස අවුරුදු 45ක් පමණ පසු කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමය නතරවන අතර ඒත් සමඟම සන්ධිගත වේදනාවක්ද මතුවීමේ හැකියාවක් ඇත. මෙම සන්ධිගත වේදනාවන්ගේ අවසානය සන්ධි වාත රෝගයට භාජනයවීමක්ද වීමට පුළුවන.

අධික ස්ථූලභාවයත් රෝගයට හේතුවක්

අධික ස්ථූලතාවයද තවත් බොහොමයක් ලෙඩ රෝගවලට මෙන්ම සන්ධිගත වාත රෝග කෙරෙහිද බලපාන එක්තරා සාධකයකි. ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සිරුරේ බර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වන අතර එවැනි බරක් දරාගැනීමට සන්ධිවලට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවේ. දිගින් දිගටම සන්ධිවලට මෙම බර දරාගත නොහැකි වීමෙන් අස්ථීන්ගේ විකෘතිතා හටගත හැක. 

ජීවන රටාව වෙනස්කර ගන්න

වර්තමානයේ පවතින කාර්ය බහුල ජීවන රටාවද විවිධ වූ රෝග තත්ත්වයන් ඇති කිරීම කෙරෙහි බෙහෙවින් බලපායි. රැකියාවේ වෙහෙසකාරී බව, නියමිත පෝෂණ පදාර්ථයන්ගෙන් සමන්විත ආහාර නොගැනීම, ව්‍යායාම නොමැතිකම, කෙටිකෑම වලට හුරුවීම, කෘත්‍රිම ආහාර වර්ගවලට දක්වන නැඹුරුතාවය ආදී තත්ත්වයන් නිසා අදවනවිට රටේ පුරවැසියන්ගේ බහුතරයක්ම කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළෙති. අනෙකුත් රෝගවලට සේම සන්ධිගත වාත රෝගයටද මෙම ආහාර හා ජීවන පුරුදු සෘජුවම බලපායි. එබැවින් එවැනි ජීවන රටාවකට පුරුදු පුද්ගලයන් මෙම රෝගය සඳහා යොදුරුවීමේ ප්‍රවණතාවය වැඩිය. 

වැඩිපුර මස් මාළු කන්න එපා

මස්, මාළු බහුල ලෙස ආහාරයට ගැනීමත්, එළවළු අඩුවෙන් ආහාරයට එකතුකර ගැනීමත් ඉහත සඳහන් රෝගී අවස්ථාව ඇතිවීමට තවත් හේතුවකි. අපගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මස්, මාළු ආහාරයට ගැනීම කළ යුතු වුවද ඒවාට බහුල වශයෙන්ම ගිජු නොවී හැකිතාක් එළවළු ආහාරවේලට එකතුකර ගැනීමට නිරතුරුවම වගබලාගත යුතුය. දියවැඩියාව, කොලොස්ටරෝල් වැනි දීර්ඝ කාලීන රෝග පවතින පුද්ගලයන්ද සන්ධිගත වාත රෝගය හටගැනීම සඳහා අවදානම ඇති පිරිස් අතර වෙති. 

රෝග ලක්ෂණ

සන්ධිගත වාත රෝගය සිරුරේ ඕනෑම සන්ධියක හටගත හැකි රෝගී අවස්ථාවකි. විශේෂයෙන්ම දණහිස්, වැලමිටි සන්ධි මේ සඳහා ගොදුරුවන අතර මුල්ම රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැක්කේ එම සන්ධිවල වේදනාව හා ඉදිමීමයි. ඊට අමතරව සන්ධිවල තදගතිය, සන්ධි ක්‍රියාකරවීමේ අපහසුව, විශේෂයෙන්ම උදෑසන අවදිවී ටික වේලාවක් යනතුරු සන්ධි සෙලවීමට නොහැකිව තද ගතියක් පැවතීම. දීර්ඝ වේලාවක් වැඩ කිරීමේදී සන්ධියේ වේදනාව වැඩිවීම එනම් උදාහරණයක් ලෙස උදේ පටන් ඇවිදීම කළ විට හවසට සන්ධියේ වේදනාව වැඩිවීම ආදිය මෙම රෝගයේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයන්ය. මෙම සියලු රෝග තත්ත්වයන් නිසා සන්ධිය ක්‍රියාකරවීමේ අපහසුතාවය ඇතිවේ. 

X කිරණ පරීක්ෂණයකින් හඳුනාගමු

සන්ධිගත වාත රෝග අවස්ථාවේදී අපට බාහිරව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වලට අමතරව X කිරණ පරීක්ෂණයක් මගින්ද විවිධ වූ රෝග ලක්ෂණ හඳුනාගත හැකිය. X කිරණ සටහනට අනුව සාමාන්‍යයෙන් අස්ථි දෙකක් අතර තිබිය යුතු දුර ප්‍රමාණය අඩුනම්, කාටිලේජය ගෙවීයාමක් දක්නට ලැබේනම්, අස්ථිවල කෙළවර විශාල වී ඇත්නම් හා අස්ථි දිරාගිය ස්වභාවයක් එමෙන්ම තැන තැන කුඩා කුඩා කැල්සියම් කැබලි දක්නට ලැබේනම් එය සන්ධිගත වාත රෝග අවස්ථාවකි. 

මුල් අවස්ථාවේ සුවකරගත හැකියි

සන්ධිගත වාත රෝගයේ අවදානම්ම අවස්ථාව වන්නේ අස්ථි ඇදවී යාමයි. යම් හෙයකින් රෝගියකුගේ දණහිස් අස්ථි ඇදවීමේ තත්ත්වයට පත්වූ විට ඔහුට හෝ ඇයට ඇවිදීමේ අපහසුතා ඇතිවිය හැකි අතර ඇඟිලි ඇදවීමේදී එදිනෙදා වැඩකටයුතු සිදුකරගැනීම අපහසු වේ. එසේම මෙහි උපද්‍රව අවස්ථාවක් ලෙස හෘද රෝගයද හටගත හැක.
මුල් අවස්ථාවේ හඳුනාගතහොත් මෙය සුවකර ගත හැකි රෝගී තත්ත්වයකි. නමුත් අස්ථි ඇදවූ විටෙක එය සුවකර ගැනීම එතරම් පහසු නැත. මුල් අවස්ථාවේදි සන්ධිවල යම් තරමක වේදනාවක් හටගන්නා අතර එවැනි වේදනාවක් හටගත්විට ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම මගින් රෝගයේ භයානක අවස්ථාව දක්වා යාම මඟහරවා ගත හැකිය. නැතිනම් එය කෙළවර විය හැක්කේ අපට නැවතත් සැකසිය නොහැකි අස්ථි විකෘති තාවයකිනි. 

දණහිස්වල වතුර පිරීම මෙම රෝගයේ ලක්ෂණයක් නොවේ

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව විවිධ වූ සන්ධි රෝග ඇති අතර දණහිස්වල වතුර පිරීම යනු සන්ධිගත වාත රෝගයෙහි අවස්ථාවක් නොවේ. වර්තමානයේදී දරුවන් අතර පවා මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර මෙලෙස දණහිස් සන්ධිවල වතුර පිරීම සිදුවන්නේ එහි යම් අසාදනයක් ඇති වූ විටයි. යම් පහරවැදීමක්, තැලීමක් නිසා මෙවැනි ආසාදන ඇතිවිය හැකි අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී පත්තු බැඳීම වැනි ප්‍රතිකාරක්‍රම කිරීම මගින් මෙම ජලය ඉවත්කර ගැනීමේ හැකියාව ඇත. ක්‍රීඩකයන් මෙවැනි අවස්ථාවන්ට බෙහෙවින් ගොදුරැවිය හැකිය. 

උෂ්ණාධික ක්‍රම සන්ධිවලට අහිතකරයි

ඉස්සෝ, දැල්ලෝ, තක්කාලි, අන්නාසි වැනි උෂ්ණාධික ආහාර වර්ග සන්ධිවලට කෙලින්ම බලපෑම් ඇති කරන බැවින් එවැනි ආහාර නිතර නිතර ආහාරයට ගැනීම නොකළ යුතුය. උදෑසන අවදි වූ විගස වතුර වීදුරුවක් පානය කිරීමද වඩාත් හිතකරය.

බණ්ඩක්කා ගුණයි

සන්ධිවල තෙත ගතිය නැත්නම් ශ්ලේමල ගතිය ඇති කිරීමට හැකි ආහාර වර්ග වැඩිපුර ආහාරයට එකතුකර ගැනීම සන්ධි රෝගීන්ට වඩාත් සුදුසුය. බණ්ඩක්කා, නිවිති වැනි ආහාර මෙලෙස ශ්ලේමල ස්වභාවයේ පවතින ආහාර කිහිපයක් වන අතර මෙවැනි ආහාරවලට අමතරව පළතුරු වර්ග, ජෙලටින් බහුල ආහාර වර්ග, මාළු තෙල් වර්ග මෙවැනි රෝගින්ට වඩාත් සුදුසුය. ජෙලටින් බහුල ආහාර වර්ධනය කිරීමේ හැකියාවක්ද ඇත. එළවළු හා පළා වර්ගද මෙවැනි රෝගීන්ට සුදුසුය. 

ව්‍යායාමවලදී සැලකිලිමත් වෙන්න

සන්ධි වාත රෝග සඳහා ව්‍යායාම කිරීමද අත්‍යවශ්‍ය අංගයක් වන අතර මෙම ව්‍යායාම කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ ඇතැම් ව්‍යායාම මෙවැනි රෝගීන් සඳහා නුසුදුසු වන නිසාය. ඇවිදීම වැනි සුළු සුළු ව්‍යායාම මේ සඳහා සුදුසු වන අතර විවේකයද මෙවැනි රෝගියකුට අවශ්‍ය වේ. එසේම ප්‍රමාණවත් පරිදි නින්ද, ජලය පානය කිරීම කළ යුතුය.

යහපත් මානසිකත්වය සියලු රෝග නිවාරණය කරයි

කාර්යබහුලව ජීවන රටාවත් සමඟම ඇතිවන මානසික ආතතිය විවිධ රෝග අවස්ථාවන්ට මඟපාදයි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, සන්ධි රෝග ආදී මේ සෑම රෝගයක් සඳහාම මානසික ආතතියද බලපාන අතර රෝගවලින් මිදීමට නම් මානසික තත්ත්වය ඉතා හොඳ මට්ටමක පවත්වාගත යුතුය.

ප්‍රතිකාර

සන්ධිගත වාත රෝගීන් සුවපත් කිරීමෙහිලා විවිධ ආයුර්වේදීය ප්‍රතිකර්ම ක්‍රම සිදුකරනු ලැබේ. පංචකර්ම, තෙල්ගෑම, පත්තු බැදීම මෙම ප්‍රතිකාර ක්‍රම වන අතර මෙම රෝගයේදී දීර්ඝකාලීන ප්‍රතිකාර ගැනීම සිදුකළ යුතුය.

♦ හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00