2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ගෙදර දොරට ගසා ගී තනු හැදූ එම්.එස්.

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 202

අප කුඩා කල පහළ බාලාංශවලදී තාලෙට අත්පුඩි තලන්නට ඉගෙනගත්තාට පසුව රිද්මය ඉගෙනගත්තේ පන්තියේ අතින් ඩෙස්කුවට බෙර ගසමිනි. පන්තියේ අපගේ මේසවලට බෙර ගසමින් අප බොහෝවිට ගැසුවේ බයිලා ගීතය. පන්තිය භාරව ගුරුවරයකු නැතිවිට එම්. එස්. ප්‍රනාන්දුගේ ගීත ගයමින් අපි අපගේ ඩෙස්ක්වලට බෙර ගැසුවෙමු. දිනක් අප (සීත සුළං අවට හමන්නේ - සුදු වළාකුලයි කන්දෙ හැපෙන්නේ) ගීය ගයනවිට අපට හොරෙන් උප විදුහල්පතිවරයා පන්තිය අසලට ආවේය. වේවැල ඔහු පාසලේ සැරිසරන හැමවිටම ඔහුගේ ශරීරයේ කොටසක් මෙන් අතට ඇලී තිබිණි. මා ළඟ සිටි සිසුවා හොඳින්ම ගීය ගායනා කළ නිසා එකවර උප විදුහල්පතිවරයාට අසුවුණේ ඔහුය. එතුමාගේ අතේ ඇලී තිබූ වේවැලෙන් හොඳින්ම උස් හඬින් ගීය ගායනා කළ මගේ මිතුරාගේ අත්ලට සංග්‍රහයක් ලැබිණි. ගුරුවරුන්ගේ වේවැල් පහරින් අප මට්ටු කළ නොහැකි විය. පන්තියේ ගී ගැයීම අප නැවැත්වූයේ නැත.

දැනට වසර හතරකට පමණ පෙර එක්තරා අවශ්‍යතාවක් සඳහා මම අන්තර්ජාලයේ ඇති හත වසරේ භූගෝල විද්‍යා විෂය නිර්දේශය පරික්ෂා කළෙමි. නුවරඑළියේ විනෝද ගමනක් යන්නට එහි ගුරුවරුන්ටත් සිසුන්ටත් යෝජනා කර තිබිණි. විෂය නිර්දේශය එයින් නොනැවතී විනෝද ගමනේදී ගායනා කළ යුතු ගීතයක් ද නිර්දේශ කර තිබුණේය. ඒ සීත සුළං අවට හමන්නේ ගීතයයි. මුළු ගීතයම හත වසරේ භූගෝල විද්‍යා විෂය නිර්දේශයේ සඳහන් කර තිබුණේය. අපට නම් ඒ කාලයේ පොත්වලින් එවැනි ගීත පාඩම් කළ යුතුව තිබුණේ නැත. අප උප විදුහල්පතිවරයාගෙන් තරවටු ලැබුවේද පහ වසරේදී කටපාඩමින් ඒ ගීය ගායනා කළ නිසාය.

මේ මෑතකදී මා මිත්‍ර නාට්‍යවේදී ඊ. එම්. ඩී. උපාලි දහම් පාසල් ගිය කුඩා අවධිය සිහි කරමින් එවැනි කතාවක් කීවේය. දහම් පාසලේ සමිතියේදී ඔහුට ගීතයක් ගයන්නට සිදු වී තිබේ. ඔහු හොඳහැටි ගැම්ම ගෙන එම්. එස්ගේ (මම ටැක්සිකාරයා - මම ඇරලා යන්න හරිම සූරයා) ගීතය ගායනා කළේය. ගීයේ ඇති රිද්මයට දහම් පාසල් සමිතියට රැස්ව සිටි ළමෝ සියලු දෙනා අත් පොලසන් දුන්හ. ඉදිරිපත් කිරීම සාර්ථක විය. සමිතිය අවසානයේ නායක හාමුදුරුයෝ ඊ. එම්. ඩී. උපාලිව ළඟට කැඳවූයේය. ළමයා සින්දුව නම් ගොඩක් අගේට කිව්වා තමයි. ඒ වුණාට මෙතන්ට ඒක හරියන්නෙ එපායැ.. නේද?” නායක හාමුදුරුවන්ගේ ඔවදන ඊ. එම්. ඩී.ට තවම මතකය.

අපේ පරපුරේ අය කුඩා අවධියේදී ගී ගැයීම ආරම්භ කළේ එම්. එස්.ගේ ගීතවලින් බවට ඊ. එම්. ඩී. උපාලිගේ කතාව සාක්ෂියකි. එසේ ආරම්භ වූ අපේ පරපුරේ ගී රස වින්දනය ඉන්පසු සී. ටී. ප්‍රනාන්දු හා කණ්ඩායම් ගීතවලටත්, ක්ලැරන්ස් වෙතත්, අනතුරුව වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, නන්දා මාලනී වෙතත් ඉන්පසුව අමරදේවයන් වෙතත් යමින් වර්ධනය වූයේය.

හැත්තෑ ගණන් අග වනවිට ගුවන් විදුලියෙන් අගය කළ විදග්ධ ගී රස වින්දනය නිසා එම්. එස්.ලා, ජෝතිපාලලා කළ සමාජ මෙහෙවර යටපත් වූයේය. එම්. එස්.ලාගේ, ජෝතිපාලලාගේ ගීත ජන ගී තරමටම සමාජය තුළ මුල් බැස ගැනීමට හේතුව, එම ගී පොදු ජනයාට ළංවීම හේතුව, විග්‍රහයට ලක්වන්නට ගත්තේ එච්. ආර්. ජෝතිපාලගේ මරණයෙන් අනතුරුවයි. ජෝතිපාලලාගේ ගීත පිළිබඳව ආචාර්ය සරත් අමුණුගම සමාජ විග්‍රහයක් ඉදිරිපත් කරමින් ඊට මූලික වූවා මතකය.

එම්. එස්. ප්‍රනාන්දුගේ ගීත මෙහෙවර අගය කරමින් වැඩසටහනක් කළ යුතු බවට ඊ. එම්. ඩී. උපාලිත්, මාත්, කොළම සරසවියේ සිටි අප මිතුරැ බර්නාඩ් කාරියවසම් ද එක්ව කතිකා කළෙමු. එක්තරා සුහද සාකච්ඡාවක් සඳහා අපි එම්. එස්.ගේ පුත්‍ර සරත් ප්‍රනාන්දු කැඳවා ගතිමු.

ජීවත්ව සිටි කාලයේ මට එම්. එස්. ප්‍රනාන්දු ප්‍රවීණ ගායන ශිල්පියා පෞද්ගලිකව දැන හඳුනා කතා කරන්නට වාසනාවක් තිබුණේ නැත. එහෙත් ඔහුගේ පුතුන් වරින් වර කුඩා කාලයේ පටන් කෙළි සෙල්ලම්වලදී මට මුණගැසුණු අවස්ථා මට හොඳින් මතකය. අපේ පාසලේම ඉගෙනගත් සුසිල් ප්‍රනාන්දු ගැන මා කලින් (මතකය සොඳුරු නැත) ලිපි තීරුවේ ලියා තිබේ.

ශාන්ත, සුරනිමල හා සරත්ව මට මුලින්ම මුණගැසෙන්නේ 1967 තරම් අතීතයකය. ගල්කිස්සේ සුමනාරාම පාරේ පදිංචිව සිටි චන්ද්‍රා ගාමිණී නම් මිතුරෙක් දිනපතා අපේ ක්‍රිකට් සෙල්ලමට පැමිණියේය. ඔහුගේ උපන්දිනයට ශාන්ත, සුරනිමල, සරත් ඇතුළු සුමනාරාම පාරේ මිතුරන්ට ආරාධනා කර තිබුණේය. චන්ද්‍රා ගාමිණීගේ උපන්දින සාජ්ජයට අපි ඩෝලයක් සොයාගත්තේ ඉතා අමාරුවෙනි.

බයිලා කියන්නට අප සැමදෙනාටම යන්තම් හෝ හැකියාවක් තිබුණු නමුදු ඩෝලය වාදනය කරන්නට යන්තමින් හෝ හුරුපුරුදුව සිටියේ ශාන්ත පමණකි. සරත්ලා සුරනිමලලා ඒ කාලයේ කුඩා අයය.

සරත් මට කියා තිබෙන විදිහට (එම්. එස්.) තම පියා ගීත නිර්මාණය කළේ ගෙදර දොරකට රිද්මයකට ගසමිනි. අලුතෙන් ගීයක තනුවක් නිර්මාණය කරන්නට ඔහුට ඉවහල් වූයේ ඒ දොර බව සරත් කියා තිබේ. පුතුන් නවයොවුන් වියට එළැඹෙන විට ඔවුන් ගිටාර් වාදනය උගෙන තිබේ. එයින් වඩාත් ගිටාරය හුරුව ඇත්තේ සරත්ටය. ගෙයි දොරට බෙර ගසමින් ගීය මඳක් ගොඩ දාගත් පසුව “සරත් ඔය ගිටාර් එක අරන් එන්න.” කියමින් ඔහු සරත්ව ඇමතුවේලු. එම්. එස්. ගීත නිර්මාණය කළේ දොරට ගසමින් නම් අප කුඩා කාලයේ ඩෙස්ක් එකට ගසමින් ඔහුගේ ගීයට රිද්මය එක් කිරීමේ වරදක් නැතැයි මට සිතුණි.

සරත් පදිංචිව සිටි පොල්හේන්ගොඩ මත්තල පාරේ නිවෙසට කිහිපවිටක් මම ගොස් ඇත්තෙමි. එහි ඉස්තෝප්පුවේ තිබූ සැරසිලි දෙකකට මුලින්ම ගෙට පිවිසෙන කාගේ වුව ඇස් යයි. මුලින්ම එහි පිවිසුණු තැනැත්තා දකින්නේ බිත්තියේ එල්ලි ඇති එම්. එස්.ගේ පැරණි බැන්ජෝ වාද්‍ය භාණ්ඩයයි. ඊළඟට ඇස් යන්නේ එම්. එස්. යූරි ගගාරින් සමඟ ඉන්නා ඡායාරෑපයයි.

අප කුඩා කල ක්‍රිකට් සෙල්ලම් කළ ගල්කිස්සේ ගාලු පාරේ 323 නිවෙසේ මිදුලට, චන්ද්‍රා ගාමිණී වරක් ශාන්තවත්, සරත්වත්, සුරනිමලවත් කැඳවාගෙන ආවේය. අප එදා හවස ඔවුන් සමඟ එහි සෙල්ලම් කළෙමු.

ඉන්පසු නවසිය හැත්තෑ ගණන්වල මැද හරියේ ශාන්තලාගේ ක්‍රිකට් පිල සමඟ අපි සුහද තරගයක් පැවැත්වූයේ ගල්කිස්සේ ශාන්ත තෝමසුන්ගේ කුඩා පිට්ටනියේය. එකල එහි ක්‍රීඩා කරන්නට ප්‍රදේශයේ අයට අවසර තිබුණි. ඊටත් පෙර (ශාන්ත තෝමසුන් එම පිටිය අයත් කර ගන්නට පෙර) එය අයිතිව තිබුණේ දෙහිවල ගල්කිස්ස නගර සභාවටය. එම තරගයේදී ශාන්ත එවූ පන්දුවක්, බැට් කරමින් සිටි මගේ අතේ පිටපැත්තේ වැදී විකට් රකින්නා අතට උඩ පන්දුවක් දීම නිසා මට දැවී යන්නට සිදුවූයේය. එවේලේ විකට් රකිමින් මා දුන් උඩ පන්දුව අල්ලාගත්තේ එම්. එස්. ප්‍රනාන්දුගේ සොයුරු වෝල්ටර් ප්‍රනාන්දුය. කාකි පාට කොට කලිසමකින් සැරසී අප සමඟ ක්‍රීඩා කරන්නට තරම් වෝල්ටර් නිහතමානී වූයේය.

බ්‍රිතාන්‍ය ජාතික නොයෙල් කවර්ඩ් රචනා කළ Private lives නම් නාට්‍ය, ආරියවංශ ධම්මගේ මා ලවා පරිවර්තනය කරගත්තේය. ඔහු එයින් “පුද්ගලිකයි රහසිගතයි” නම් නාට්‍ය නිෂ්පාදනය කළේය. එහි අනුවර්තන කාර්ය අප දෙදෙනා එක්වී සිදු කළ අතර, සරත් ප්‍රනාන්දු ලවා එහි සංගීතය නිර්මාණය කරන්නට අපි තීරණය කළෙමු. නාට්‍යයේ පළමු දර්ශනය ඇත්තේ හෝටලයක මිදුලේ වූ පසුබිමකය. ඒ පසුබිමේ නිතර සංගීත කණ්ඩායමක් ගායන - වාදන ඉදිරිපත් කරමින් සිටී. නාට්‍යයේ එම ගායනා සඳහා සරත් සමඟ සාකච්ඡා කොට යොදා ගැනුණේ එම්. එස්.ගේ ගීතයක්ය. නාට්‍යය මැද එක් ජවනිකාවකට “ඔබට තිබෙන ආදරේ මම ලියාලා දෙන්න” ගීතය හොඳින් බද්ධ වූයේය. ජගත් චමිලත්, උමයංගනා වික්‍රමසිංහත්, වසන්ති රන්වල සහ සරත් කරුණාරත්නත් එම ගීතයට අදාළ දර්ශනය අපූරුවට රඟපෑවෝය.

එම්. එස්.ගේ ගීත නිර්මාණ ඇගයුම් කරන වැඩසටහනට අදාළව ඔහු ගැන පොතක් ලිවීම මැනවැයි අපි තීරණය කළෙමු. ඒ සඳහා අපි සරත්ගේ සහාය පැතුවෙමු. අපේ වැඩපිළිවෙළ අතරතුර වසරක කාලයකට මාලදිවයිනට යන්නට සරත්ට කාරණා යෙදුණේය. ඔහු පිටත්ව යන්නට පෙර අදාළ ග්‍රන්ථයේ කටයුතුවලට මූලාශ්‍ර විය යුතු එම්. එස්. පිළිබඳව එකතු කරගත් paper cuttings රාශියක් මා හට ගෙනැවිත් දුන්නේය. ඊට අමතරව පියාගේ ඡායාරූප ඇල්බමය ද මට ඒ සඳහා දුන්නේය. ඔහු ආසාවෙන් නිවසේ ප්‍රදර්ශනය කළ යූරි ගගාරින් සමඟ එම්. එස්. සිටින රාමු කළ ඡායාරෑපය ද මට ඔහු (තාවකාලිකව තියාගන්නට) ගෙනැවිත් දුන්නේය. එම්. එස්.ගේ නිර්මාණ පිළිබඳ යෝජිත පොතේ පරිච්ඡේද දෙකක් මූලික සටහන් දැන් මා ලියා හමාරය.

මෑත කාලයේ අප පැවැත්වූ පෞද්ගලික සාද කිහිපයකදීම සරත් අප රසවත් කළේය. තම පියාගේ ගායනාවලින් ඔබ්බට ගිය සරත් රෙගේ සංගීත කලාව ද ප්‍රායෝගිකව හදාරමින් සිටී. ඔහු බොබ් මාලේගේ ගීත ගයන්නට රුසියෙකි. (පුද්ගලිකයි රහසිගතයි) නාට්‍යයේ තේමා ගීය ඔහු නිර්මාණය කළේ රෙගේ ශෛලියටයි. මේ සියල්ලටම වඩා ඔහු දක්ෂ ගිටාර් වාදකයෙකි. 2017 අවුරුද්දේදී ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමරනු උදෙසා විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ ඔහු ඉදිරිපත් කළ ගිටාර් වාදන/ ගායන අගය කරමින් Daily Mirror පුවත්පතේ ලිපියක් පළවී තිබෙනු මම දුටුවෙමි.

එම්. එස්.ව මතක් වෙද්දී ඔහුගේ බොහෝ ගීත සිහිගන්වන පහත ගීතය මගේ මතකයට එන්නේ නිතැතිනි.

ලස්සන අඹ ගහක් හොයලා පෙම් කූඩුව හදපු    කාලෙ
මාල ගිරවි අරන් ගිහින් රස ආහර කවපු            කාලෙ
ඔබට තිබෙන ආදරෙ ගැන තල් කොලවල ලියපු කාලෙ
ඒ කාලෙ තමයි මල්ලි නැටුම් පටන් ගත්තු        කාලෙ

නැටුම් පටන්ගත්තු ඒ කාලයේ අප තවම ජීවත් වන්නේ එම්. එස්ට පින්සිදු වන්නටය. ඔහු අපේ ජීවිතවලට දුන් රිද්මය, ප්‍රාණවත් ගතිය නිසා හැට පැන්නත් අපට හොට බිම ඇනෙන තෙක් නටන්නට සිතේ. සියලු සංකා අතහැර රිද්මයට රඟ දෙන මොහොතේ සොඳුරු ලොවක අප රැඳේ.

1994 අප්‍රේල් 9 වැනිදා එම්. එස්. මෙලොව හැර ගිය වග සිහිවන විට නැවත සිතට සොවක් නැගේ.
“යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී”

 සමන් පුෂ්ප ලියනගේ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00