2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

හෘදය සූත්‍රයෙන් බණ කියන ජපානයේ රොබෝ හිමි!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

ජපානයේ කියෝතෝ හී වසර 400ක් පමණ ඉපැරණි පන්සලක් කාලයේ තාලයට ගැලපෙන හඳුන්වාදීමක් සිදුකර තිබේ. ලෝකයම ඩිජීටල් වී ඇති මේ යුගයේ තරුණ පරපුරට බුදු බණ ළං කරන්නට ඒ අයට ගැලපෙන පන්නයේ අලුත් හාමුදුරු නමක් ඔවුන් වැඩමවා තිබේ. ආරංචියේ හැටියට මේ හාමුදුරුවන්ගේ බණ අසන්නට එන පිරිසටත් වඩා හාමුදුරුවන්ගේ හැඩරුව බලන්නට එන දායක පිරිස ඉහළය. ඇත්තටම මේ හාමුදුරුවෝ එසේ මෙසේ කෙනෙක් නොවෙති. උන්නාන්සේ ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන 170.24ක් හෙවත් ජපාන මුදලින් යෙන් මිලියන 100ක් වටිනා තැනැත්තෙකි. ඒ මදිවාට සහමුලින්ම යකඩයෙකි. ජපානයේ ඔසාකා සරසවියේ නිෂ්පාදනයකි. කොටින්ම මේ හිමිනම බුදුබණ දෙසන රොබෝවෙකි.

කියෝතෝ නුවර පාරම්පරික කොදායීජි පන්සල සෙන් ආරාමයකි. පන්සලට එන දායකයන්ගේ තැවුල් සිත් සනසන්නට බුදු බණ දෙසන රොබෝ හිමිනමක් හඳුන්වාදීම එම ආරාමයේ නායක හිමිනමගේ අදහසකි. ඒ සඳහා ඔසාකා සරසවියේ සබුද්ධික රොබෝ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය හිරොෂී ඉෂිගුරෝ ගේ අවධානයට යොමුකළ විට ඔහු එය  කළ හැකි වැඩක් බව පිළිගත්තේය. මේ එකතුවේ ප්‍රතිඵලය වූයේ කානොන් (Kannon,) ඇන්ඩ්‍රොයිඩ් හිමිනමය. මේ රොබෝ හිමි තනා ඇත්තේ කරුණාවට අධිපති කානොන් බෝධිසත්වවරියගේ රූපාකාරය සිහිපත් කරමිනි. එයට නම තබා ඇත්තේ  මින්දාර් හැටියටය. වත්මන් සමාජයේ තැවුල්පත් අවුල් සිත් සනසන බුදු දහම මිනිසුන් වෙත රුගෙන යාමට මින්දාර් ඇන්ඩ්‍රොයිඩ් හිමි නම සමත් වනු ඇතැයි ආරාමයේ නායක හිමි නම ටෙන්ෂෝ ගොටෝ කියයි. බුදුබණ මිනිසුන්ගේ හදවතට ළං කිරීමයි අපේ අරමුණ, යැයි උන්වහන්සේ කියයි.

අඩි හයයි හතරක් උස රාත්තල් 132ක් බර රොබෝ හිමි මුළුමනින්ම මිනිස් ආකාර රූපාකාරයෙන් යුතුය. අත්ල, අත් පා සහ හිස ඕනෑම අතකට පහසුවෙන් චලනය කළ හැකි මින්දාර් රොබෝවේ වම්ඇස වීඩියෝ කැමරාවක් සහිතය. අත්- පා, හිස, මුහුණ සහ දෙඋර සියල්ල මිනිස් සමට සර්ව සම සිලිකන් ආවරණයකින් සරසා තිබේ. අනෙක් කොටස් ඇලුමිනියම්ය.

ජපානයේ බහුලව භාවිතා වන හෘදය සූත්‍රයෙන් දහම් කරුණු උපුටා සරලව බණ දෙසීමට රොබෝ හිමි සමත්ය. බැතිමතුනගේ ගැටලුවලට විසඳුම් දීමට සමත් තනිව සිතා ක්‍රියා කිරිමේ හැකියාව ඉදිරි රොබෝ නිපැයුම් සඳහා එක් කිරීමට බලාපොරොත්තුවේ. ජපන් බස පමණක් නොව චීන සහ ඉංග්‍රීසි බසින්ද බැතිමතුනගේ ධර්ම පිපාසය සංසිදුවීමට රොබෝ හිමිට හැකිය. කටහඬ ළමා හෝ කාන්තා ස්වරූපය ගනී. පසුගිය මාර්තු මාසයේ සිය මංගල ධර්ම දේශනය කොදායීජි සෙන් ආරාමයේ දී පැවැත්වීමට රොබෝ හිමියෝ කටයුතු කළහ. රොබෝ හිමියන් බැතිමතුන්ගේ ඉහළ පිළිගැනීමට ලක්ව තිබේ. රොබෝවක් මිය යන්නේ නෑ. එය හැමවිටම අලුත් දැනුමෙන් යාවත්කාලීන වෙමින් පරිනාමයට පත්වෙනවා පමණයි. ඉදිරියේදි අපි කෘත්‍රිම බුද්ධිය හඳුන්වාදීලා එහි සහජ බුද්ධිය වර්ධනය කරන්නටයි අරමුණ. එයට සදාකාලිකව මේ දැනුම වර්ධනය කර ගන්න හැකියි. සීමාරහිතව එය තැන්පත් කර ගත හැකියි. රොබෝ හිමි සතු විශේෂත්වය එයයි. රොබෝවේ නිර්මාතෘ මහාචාර්ය හිරොෂී ඉෂිගුරෝ මාධ්‍යයට එසේ කියා තිබුණි. මේ වනවිට ජපානය මෙන්ම චීනයේද රොබෝ හිමිවරු නිපදවා තිබේ. පරිගණක තිර හා දුරකතන තිරවලට ඇබ්බැහි වී සිටින තරැණ පරපුර පන්සලට සහ ධර්මයට ආකර්ෂණය කර ගන්නට රොබෝ හිමි ඉදිරියේදි සමත්වනු ඇත.
සුගත්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00