2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අද දකින්නත් අමාරු කොහු කොස්සේ කතාව

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 725

වියැකී යමින් ඇති තවත් අපූරු කර්මාන්තයක එදා සිට අද දක්වා කතාව ඔබට කියන්නට අපට සිත් විය. මෙය වූ කලී කප් රැක ඇසුරේ උපන් කර්මාන්තයකි. සරලව කියතොත් මේ එදා නිවෙසට නැතිවම බැරි වූ කොහු කොස්සේ කතාවයි. දුරාතීතයකට දිව යන මේ කර්මාන්තයේ වර්තමානිකය ඛේදාන්තයකි. අතීතය නම් ලුණු ඇඹුල් ඇතිව රසට කියත හැක. අප කතාවට නිමිති වන්නේ දිවයිනේ නිරිත සහ දකුණු වෙරළට ආසන්න ගම්බිම්වල කතාවයි‍.

අදින් දශක කිහිපයකට ඉහත දී ගාලු පාරේ ගමන් කරන විට කළුතර - පානදුර නගර අතර කොහු ආශ්‍රිත නිපැයුම් විකුණනු ලබන කුඩා වෙළෙඳසල් රැසක් විය. අද වන විට ඉන් බොහොමයක් වැසී ගොසිනි. පාළුවට ගොස් ඇති නමුදු ප්‍රදේශයේ සම්ප්‍රදායික උරුමය සුරකිමින් තවමත් කඩ කිහිපයක් ඉතිරිව තිබේ. එදා මේ ප්‍රදේශයේ ප්‍රමුඛතම ගෘහ කර්මාන්තයක් වූ කොහු කොසු ඇතුළු නිපැයුම් බොහෝ දෙනාගේ අතමිට සරු කරන්නක් විය. කාලයාගේ කුරිරුකමත් සමගින් අද බොහෝ පවුල් මේ කර්මාන්තය අතහැර දමා සිටිති.

එදා සිරිලක පැරුණිතම සම්ප්‍රදායික ගෘහ කර්මාන්තයක් වූ කොහු කර්මාන්තය ඇසුරේ බිහිවූ  කොසු, පාපිසි, ලණු, පැදුරු ආදිය පරිසර හිතකාමී නිපැයුම් විය. අද මේ සියල්ල  ප්ලාස්ටික්වලින් නිම වෙයි. විදේශයෙන් ආනයනය කරයි. නොදිරා පොළොවට පස් වෙයි. ඒ නිකම්ම නොවේ, කොහු කර්මාන්තයේ කතාව ද වළලා දමමිනි.

දේශය අපි පෙර දිනක දී ලෙලි තලා කොහු ගන්නා කතාව ඔබට කීවෙමු. ඒ ලණු ඇඹරීම වෙනුවෙනි. පොල්ලෙලි ගෙන වළවල්වල හෝ ඇළ දොළවල බහා පල් කරගත් පසු බවලත්හු කොහු නිපදවූහ. මෙසේ තලාගන්නා කොහුවලින් කොසු බැඳීම එකල එක්තරා ශිල්පයක් විය. එය දත්තෝ බොහෝ විට පාරම්පරික ශිල්ප උගත්තෝ වූහ. අද ද ශේෂව සිටින බොහෝ දෙනා එසේය. එකල කොසු බැඳීම සඳහා ලෙල්ල තැලීම සිදු කළේ විශේෂිත ආකාරයකටය. ලෙල්ලේ එක් කොටසක අග ඉතිරිවන සේ මෙහි දී ලෙලි තැලීම සිදුවේ. බොහෝ විට කොසු බඳින්නට හුරුවූවෝ විසින්ම තමන්ට අවැසි පරිදි අදාළ ලෙලි තලාගැනීමට පෙළඹී සිටියහ. කොහු කර්මාන්තයේ අනේකවිධ නිපැයුම් වෙනුවෙන් ලෙලි තලා කොහු ගන්නා ආකාරයට වඩා මෙය වෙනස් වූයෙන් සියල්ලන්ටම මෙය ඉගෙනීම පහසු වූවක් නොවිණි.

කොහු කොස්ස බැඳීම යනු කලාවකි. එය ද ප්‍රගුණ කළ යුත්තකි. එකින් එකට වෙනස් ආකාර කිහිපයක් ඔස්සේ අතීතයේ දී කොසු බැඳුම සිදු විය. පළලට සිටින සේ කාණ්ඩ කිහිපයක තබා කොසු බැඳීම ඉන් එකකි. මැදගත් කොහුවලින් කොසු සැකසීම තවත් ක්‍රමයකි. එය තරමක් ඉහළ වටිනාකමක් ඇති නිපැයුමකි. ගෘහ කර්මාන්තයක් මෙන්ම නිවෙසක මඩුවක් ගසා හත් අට දෙනකු එකතු වී කරන ලද කර්මාන්තයක් ලෙසද මෙය හැඳින්විය හැකිය. අතීතයේ දී මෙහි භාවිත වන ලී මිටවල් ඇතැම්හු තමන් විසින්ම සකසා ගත්හ. ඔවුහු ලී මෝල්වලින් සකසන්නන්ගෙන් ද මේවා මිලදී ගත්හ. ගම්මානයේ අවටින් ගස් සොයාගෙන ඒවා ඉරා හතරැස් ලී කෑලි ලෙසින් ගැනීම ද සිදු වී තිබේ. පසුව යතු කැටයකින් ගා රවුමට සකස් කර ගැනීම සිදුව ඇත.

මීට දශක හතර පහකට ඉහත ඉතා සරුසාර කර්මාන්තයක් වූ කොහු ආශ්‍රිත නිෂ්පාදන තොග වශයෙන් මිලදී ගෙන රට පුරා බෙදාහැරීම සිදුව තිබේ. නගරවල පැවැති පොළවල්වලදී මෙකී නිෂ්පාදනවලට එදා ලැබී ඇත්තේ ඉහළ අලෙවියකි. උතුරු නැගෙනහිර පළාත් මෙහි විශාලම වෙළෙඳපොළ විය. එසේම කොහු, කොසු, ඉදල් කර තබාගෙන ගමෙන් ගමට ඇවිද ගිය වෙළෙඳුන් පිළිබඳව මතකය ද තවම ශේෂව පවතී. කෙසේ වෙතත් අද ද එම පරපුරේ ඉතා අතළොස්සක් ඉඳහිට ගම්බිම්වල දැකීමට සිටිති. එහෙත් ඔවුන්ගේ අත අද වැඩිපුර ඇත්තේ කොහු ආශ්‍රිත නිෂ්පාදන නොව ප්ලාස්ටික් කොසු ආදියයි.

අපේ  දේශීය පොල් කෙන්දෙන් නිපදවෙන බොහෝ දේ සහමුලින්ම ඉවතට දමා තිබේ. අද නයිලෝන් හා ප්ලාස්ටික් නිපැයුම්වලට විවෘත ආර්ථියේ දොර හැර තිබීම හේතුවෙන් අද ඉතිරි වී සිටින ඉපැරැණි කර්මාන්තකරුවෝ අසරණ වී සිටිති. එහෙත් අප පෙර කී ලෙසට කොහු කර්මාන්තයට අදාළ වන භාණ්ඩ විකුණමින්  දිවි සවිකර ගන්නා අය රට පුරා අදත් ඉතිරිව සිටිති. ඔවුන්ගේ ගැටලු කතා කරන්නට අද කෙනෙක් නැත. පොල් කෙන්දෙන් කරනු ලබන නිෂ්පාදන අලෙවිය පිණිස  පාරක් ගානේ ඒවා හිස මත තබාගෙන යන මිනිසුන්ගේ ජීවිත එල්ලී ඇත්තේ ද කොහු කෙන්දකින් මෙනි. රජයෙන්, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් ඔවුනට නිසි සහායක් අවධානයක් ලැබෙනවාද යන්න සැක සහිතය.

කලකට ඉහත දී විදේශීය වෙළෙඳපොළට මෙම ස්වාභාවික දිරාපත් වන නිෂ්පාදන ආනයනය කිරීමේ සූදානමක් පැවතිණි. එහෙත් අද ඒ පිළිබඳ වගක් නැත. නිසි සැලසුම් අනුගමනය කිරීමට බලධාරීන් උනන්දු වෙතොත් එය දහඩිය මුගුරු හලා දුක් විඳින මිනිසුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. එලෙසම රටට ද පරිසරයට ද නියත වශයෙන්ම යහපතක් වනු ඇත. 

► චමිඳු නිසල්

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00