2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ශාන්තාගේ අන්තිම හෝරාව

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 218

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට පාස්කු ඉරිදා (21) එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමහල් දියණිය වූ නිසංගා මායාදුන්නේ ජයසේකර මහත්මිය ද ජීවිතක්ෂයට පත්වූහ. දින කිහිපයක් පරණ කොට්ටාව, පන්නිපිටිය පාරේ අංක 521 නිවසේ තැන්පත් කර තිබූ දේහයන් 25 වැනිදා බ්‍රහස්පතින්දා සැන්දෑ යාමේ බොහෝ දෙනකුගේ සෝ සුසුම් මැද බොරැල්ල කනත්තේදී මිහිදන් කෙරුණි.

ශාන්තා මායාදුන්නේ ඉතා දක්ෂ මෙන්ම සුප්‍රසිද්ධ ප්‍රවීණ සූපවේදිනියකි. එපමණක් නොව ඇය ඇසුරු කළ සියලුදෙනා අතර හිතහොඳ කාන්තාවක් වූවාය. නිතරම අපූරු සිනහවක් ඒ මුවේ තිබුණි. කා අතරත් ඇය ප්‍රියමනාප සුන්දර කාන්තාවකි. ඇය තම රූපය පිළිබඳවත් නිතරම පිරිසිදුවට, පිළිවෙළට ඇඳ පැළඳ සිටීමත් නිසා සමාජයේ කා අතරත් ඇය සුන්දර තැනැත්තියක් වශයෙන් පිළිගැනීමට ලක්වූවාය.

1993 වසරේදී ඇය විජය පුවත්පත් ආයතනය මඟින් නිකුත් කරන සිරිකත පුවත්පත සමඟ මුලින්ම අත්වැල් බැඳගත්තාය. පළමුව මැහුම් ගෙතුම් පිළිබඳව ලිපි ලියූ ඇය පසුව සූපවේදී ලිපි මාලාවක් පුවත්පත සමඟ ඉදිරිපත් කළාය. තම උකහාගත් දැනුම මේ රටේ සිටිනා කාන්තාවන් සමඟ බෙදාහදා දෙන්නට ඇය “රසමැඳුර” වැඩසටහන ඔස්සේ විවිධ පළාත්වල සංචාරය කළාය. ඒ සෑම මොහොතකම ඇයගේ මුවේ පැවතියේ ඒ සුපුරුදු සිනහවමය.

ඇතැම්හු ඇයට දුරකථනය ඔස්සේ සූපවේදී ගැටලු ඉදිරිපත් කළහ. තවත් සමහරු ලිපි මාර්ගයෙන් ඒ ගැටලු ඉදිරිපත් කළහ. ශාන්තා සෑමවිටකම නිවැරදිව ඒ සියල්ල කියාදුන්නාය. මේ නිසාම ඇය විටෙක සූපවේදිනියකි. තවත් විටෙක ගුරුතුමියකි. ඇතැම් අයට යෙහෙළියකි.

කුමාර් මායාදුන්නේ සමඟ විවාහ වූ ශාන්තා දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවක් වූවාය. ඇය සමඟම මියගිය නිසංගා මායාදුන්නේ වැඩිමහල් දියණියයි. බාල දියණිය තරංගා මායාදුන්නේය. දියණියන් දෙදෙනා කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූහ.

ශාන්තා ඔසරිය අඳින්නට දැක්වූයේ විශාල ඇල්මකි. බොහෝ උත්සව අවස්ථාවන්හිදී ඔසරියෙන් හැඩවෙන ශාන්තා ඔසරියට ගැලපෙන ආභරණ පැළඳ සිටියාය. ශාන්ත මෙන්ම දියණියන් දෙදෙනාද ඉතා ප්‍රියමනාප වූහ.

නිසංගා “චැනල් අයි” සේවයේ වරෙක නිවේදිකාවක් වශයෙන් කටයුතු කළාය. ශාන්තා මෙන්ම ඇයද මාධ්‍ය සමඟ අපූරුවට ගනුදෙනු කළාය. ශාන්තා මායාදුන්නේ මාධ්‍ය සමඟ සහයෝගයෙන් සහ උනන්දුවෙන් වැඩකළ සූපවේදිනියකි. මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ පමණක් නොව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද ඇය තමන් උගත් දේ බෙදාහදා ගත්තාය. මේ නිසාම මාධ්‍ය සගයින්ට ශාන්තා අපූරු හිතවතියක් වූවාය. එපමණක්ම නොව කලා ලොවේ සිටිනා බොහෝ කලාකරුවන්ට කලාකාරියන්ටද ඇය හිතවතියක් වූවාය. “ශාන්තා ඇන්ටි”ගෙන් බොහෝ තරුණ කලාකාරියෝ අලුත් රෙසිපි ඉගෙන ගත්හ. ඒ සෑම මොහොතකම ශාන්තා තමා දත් සියල්ල කියා දුන්නාය.

නිසංගා මියුසියස් විද්‍යාලයේ දක්ෂ ආදි ශිෂ්‍යාවකි. ඇය රැකියාව කරමින් සිටියේ පෑන් ඒෂියා බැංකුවේ සේවා ප්‍රමිති කළමනාකාරවරිය ලෙසිනි. ශාන් ජයසේකර සමඟ විවාහ වී සිටි නිසංගා මියයන විට ළදැරියකගේ මවක වූවාය. මිත්තණිය පදවිය ලැබූ ශාන්තා තම පුංචි මිණිපිරීව තුරුලට ගත්තාය. පුංචි හෙෂායා මවගේත් මිත්තණියගේත් තුරුලේ අසීමිතව සැනසුම වින්දාය.

ශාන්තාගේ බාල දියණිය වූ තරංගා මායාදුන්නේ ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. මීට සති කිහිපයකට උඩදී සති තුනක නිවාඩුවකට තරංගා ලංකාවට පැමිණියාය. ශාන්තා දියණියන් දෙදෙනා අතර හිඳ බොහෝ සතුටු වූවාය. ඇතැම් විට ඇයට මේ දියණියන්ගේ ළමාවිය මතකයට එන්නත් ඇති. පුංචි හෙෂායා නිසංගාගේත්, තරංගාගේත් ළමාවිය වන්නටත් ඇති. ඒ මතකයන් ශාන්තාගේ හිතට කප්පරක් සතුට ගෙන එන්නටත් ඇති. නමුත් ඒ සියල්ල එක මොහොතකින් සුණුවිසුණු වී සියලු බලාපොරොත්තු බිඳී ගියේය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ගොස් උදෑසන ආහාරය ගැනීමට පාස්කු ඉරිදා ශාන්තාගේ පවුලේ අය කතිකා කරගත්හ. පුංචි හෙෂායා සුව නින්දේය. වරක් නිසංගා දියණිය තනිකර යාමට අදිමදි කළාය. නමුත් අවසානයේදී ඇයව තම ඥාතිවරියකගේ ළඟ තබා යන්නට ඔවුන්ට සිතී ඇත. පුංචි හෙෂායා ඇයට හොඳට හුරුය. ඒ නිසාම නිවසට එනතුරු ඇයව සුරක්ෂිතව බලාගන්නා බව සියල්ලන්ටම සහතිකය. 

ෂැංග්‍රිලා හෝටලයේ දෙස් විදෙස් පිරිසක් සිටියහ. ඇතැම්හු උදෑසන ආහාරය ගනිති. ඇතැමුන් සතුටු සාමීචියේය. ඇතැමුන් සෙල්ෆි සහ ඡායාරූප ගත්හ. ශාන්තා ඇතුළු පවුලේ සාමාජික සාමාජිකාවන් ෂැංග්‍රිලා හෝටලයේ දෙවැනි මහලට පිවිසුණහ. ඒ ගමනට ශාන්තා මායාදුන්නේ, ඇගේ සැමියා කුමාර් මායාදුන්නේ, වැඩිමහල් දියණිය නිසංගා මායාදුන්නේ, නිසංගාගේ සැමියා වූ ශාන් ජයසේකර, බාල දියණිය වූ තරංගා මායාදුන්නේ, තරංගාගේ සැමියා වූ දුලංජය සහ තවත් ඥාතිවරියක ද සහභාගි වූහ. ඔවුහු දෙවැනි මහලේ ටේබල් වන් නැමැති අවන්හලෙන් ආහාර ගත්හ. නිසංගා තම ජංගම දුරකථනයෙන් පවුලේ සැමගේ සෙල්ෆි ඡායාරූපයක් ගත්තාය. ඇය එය උදෑසන 8.47ට මුහුණු පොතට (Fb) ඇතුළත් කර තිබිණි. ඡායාරූපයට ඉහළින් ඇය “Easter Breakfast with Family” යනුවෙන්ද සඳහන් කර තිබිණි. එය ඇය ලබාගත් අවසාන ඡායාරූපය බව කිසිවෙකු දැන සිටියේ නැත.

ශාන්තාත් නිසංගාත් කෑමබෙදා ගැනීමට බුෆේ මේසයට ගියහ. එකවරම මහ පිපිරීමක් ඇතිවුණි. ෂැංග්‍රිලා හෝටලයේ සිටි සැවොම සී සී කඩ අත දිව ගියහ. කුමාර් ඇතුළු සැමට කරකියා ගත හැකි දෙයක් නොතිබිණි. ඇතැමුන්ගේ විලාප හඬ, ඇතැමුන්ගේ ලේ වැගුරුණු සිරුරු හමුවේ ඔවුහු ශාන්තාගේත් නිසංගාගේත් මුහුණු දැක බලාගන්නට උත්සාහ ගත්හ. ගොඩනැගිල්ලේ කොටස්වලට යටවුණු ඔවුන්ගේ මියගිය උණුසුම් සිරුර අවසානයේදී ඔවුන්ගේ නෙතට ලක්විය. ගොඩනැගිල්ලේ ඉහළ කොටසට ශාන්තාත් නිසංගාත් යට වී සිටියහ.

ජීවිත දෙකක හදගැස්ම නොසිතූ මොහොතක එසේ අවසන් වීය. පුංචි හෙෂායාට මවගේ උණුසුම අද නැත. මවක් වන් ආදරයෙන් බලාගත් ආදරණීය මිත්තණියගේ ආදරයද අද නැත. පුංචි දියණිය තනිකර අම්මාත්, මිත්තණියත් අද සුව නින්දේය. නිසංගාගේ හිතේ මොනතරම් බලාපොරොත්තු, තිබෙන්නට ඇත්ද? පුංචි දියණියගේ පුංචි මුහුණ අද ඇයට දකින්නට නැත. බොහෝ දෙනෙකුගේ සෝ සුසුම්, කඳුළු මතින් ශාන්තාත්, නිසංගාත් බොරැල්ල කනත්තේ මිහිදන් කෙරුණි.

අද ඒ නිවස පාළුය. ඒ වේදනාව දරාගන්නට බැරිය. නොසිතූ මොහොතක සියල්ලම තනිකර ශාන්තා දියණියත් රැගෙන යන්න ගියාය. තවමත් පුංචි දැරිය මවගේ උණුසුම හොයනවා වන්නට ඇති. ඒ කිරිසුවඳ හොයනවා වන්නට ඇති. කප්පරක් බලාපොරොත්තු පොදි බැඳගත් නිසංගා එක් නිමේෂයකින් දැස් පියා ගත්තාය.

හෙෂායා... පුංචි දුවේ... දවසක ඔයා දැනගනීවි... අම්මාගේත්, ආත්තම්මාගේත් හුස්ම එක මොහොතකම නතර වුණ බව... ඒ හදවත් දෙක බලාපොරොත්තු ගොන්නක් ඔයා වෙනුවෙන් ගොඩනගන්න ඇති. ඒ බලාපොරොත්තු දවසක මල්ඵල දරනකම් ළඟ නැතත් අම්මාත්, ආත්තම්මාත් කොහේ හරි තැනක ඉඳන් ඔයා දිහා බලාගෙන ඉඳීවි....

►දිශානි ජයමාලි කරුණාරත්න

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00