සම්මානනීය කතුවර බටුවන්ගල රාහුල හිමි
හරස් පාර ලියමින් නවකතාකරණයට පිවිසි බටුවන්ගල රාහුල හිමියන් මේ වනවිට නවකතා අටක් ලියා තිබේ. ගුම් (සදීපා ප්‍රකාශන) උන්වහන්සේ ලියූ නව වැනි නවකතාව වේ. රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන, ස්වර්ණ පුස්තක මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මාන ද රාහුල හිමියන්ට හිමි වී තිබේ.
ඔබ වහන්සේගේ ගුම් නවකතාව ගැන සඳහන් කළොත්...?
මේ නවකතාව දේශපාලනිකව කියවාගත යුතු කතාවක් ලෙසිනුයි මා දකින්නේ. අප මේ ගතකරන සමාජ දේශපාලනික මොහොත තුළ අත්දකින සමාජ දේශපාලන ඛේදවාදකයන් තුළ සමාජ කණ්ඩායම් මත පැවරුණු ප්‍රධාන වගකීම ඉතා සරල තැනක තිබෙන්නේ. ඒ කෙරෙහි ආසක්ත නොවී වියුක්තව දියවී යාමේ අවදානම තුළ යම් පුද්ගල පෞරුෂයක් විසින් බලයකින් සමාජ පෞරැෂ බලය ගොඩනැගීමට හැකියාවක් ඇති බව යම් පමණකට සාකච්ඡා කරන්නට ගත් උත්සාහයක් ලෙස ගුම් හඳුන්වා දිය හැකියි.
මෙහි මී මැස්සන් හරහා මානව ප්‍රේමය ගැන කතාවක් පවසන බව කිව්වොත් ඔබවහන්සේ එකඟ වෙනවාද...?
ඇත්තටම මාගේ නවකතා තුළ සෑහෙන දුරකට සංකේත පාවිච්චි කරනවා. මේ නවකතාවේත් එහෙමයි. මී මැස්සො කියන්නෙත් මේ කතාවට සාපේක්ෂව සංකේතයක්. මී මැස්සාගේ ශ්‍රම භාවිතය හුදෙක් අනුන් සඳහායි. එවිට ඔබ කියන මානව ප්‍රේමය වෙනුවෙන් මේ මී මැස්සන් භාවිත කර තිබෙනවා යන්න පිළිගත හැකියි.
රාහුල හිමියන් ලියූ පොත්වලට රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන වගේ සම්මාන රාශියක් ලැබී තිබෙනවා. සමහර ලේඛකයන් කියන්නේ සම්මාන තමන්ට විශේෂත්වයක් නැති බවයි. මේ සම්මානවලින් ඔබ වහන්සේගේ ලේඛනයට දිරිගැන්වීමක් ලැබුණාද...?
ඇත්තටම සමහර ලේඛකයන් ජනප්‍රියත්වයට හෝ ගෞරවනීයත්වයට පත්වෙලා තියෙන්නේ සම්මාන නිසා නෙවෙයි. ඒ ඔවුන්ට පාඨකයාට දැනෙන්න ලියන්න පුළුවන් නිසාත්, ලියන දේ සමාජ සාධාරණ වූ සුවිශේෂ නිර්මාණයන්වීමත් නිසායි. කිසිම ලේඛකයෙක් සම්මාන ඉල්ලා සිටින්නේ නෑ. ඔවුන් ඇගයීමට පත්කිරීම තුළ සමහරෙකුට යම් උත්තේජනයක් ලැබෙනවා කියන එක මට නම් යම් පමණකට සාධාරණ කතාවක්. මා තුළ වුණත් පළමුව සම්මානයක් ලැබෙනකොට සතුටක් තිබුණා. දැන් නම් සම්මාන වර්ග ගොඩාක්ම ලැබිලා තියෙන නිසා සාමාන්‍යකරණයට ලක්වෙලා.
අද සමහර ලේඛකයන් අපට නොතේරෙන ආකෘති පවා භාවිතා කරමින් නවකතා ලියනවා. ඒවා කියවා ගැනීමටත් අමාරැයි. ඔබවහන්සේ ඒ ගැන කියන්නේ කුමක්ද...?
නවකතාව නවකතාවක්ම විය යුතුයි. ඒ කියන්නේ හැම අතින්ම අලුත් විය යුතුයි. එම නවතාවය තම කෘතියට එක් කිරීමට විවිධ ලේඛකයන් විවිධ ආකෘතීන් අත්හදා බලනවා. ඒවා සමහර විට පාඨකයන්ට කියවීමේ අධ්‍යාපනයක් නැතිව කියවගන්න අමාරුවෙන්න පුළුවන්. මොකක් වුණත් එහි නිර්මාණාත්මක බවක් නොතිබුණොත් නම් එය සාහිත්‍ය නිර්මාණයක් වෙන්නේ නෑ. ඒ වගේම සෑම කෘතියකටම ජීවත්වෙන්නට නියමිත කාලයක් තියෙනවා. එය අනාගතේ යම් දිනයක් වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බවතරණය එදා සමාජයට වහකදුරු වුණත් එහි ජීවත්වීම අදට වලංගුවී තිබෙනවා. ඒ වගේම අද ප්‍රතික්ෂේප වන කෘතියක් හෙට දවසක ජීවත් වේවී.
මෙහි පෙරවදනේ තියෙනවා පේළි පමණක් නොව පේළි අතරත් කියවන්න කියා. ඉන් අදහස් කළේ කුමක්ද...?
ඇත්ටම ඉන් අදහස් කළේ යටිපෙළ කියවාගන්න කියන එකයි. නැතිනම් සංකේත ව්‍යංගාර්ථවත් යෙදුම් සහිතව යටින් දිවෙන කතාවත් එක්ක කෘතිය කියවාගන්න කියන එකයි.
සමහර ලේඛකයන් විදෙස් නවකතා ආකෘති ගෙඩිපිටින් අනුකරණය කරන බව පේනවා. ඔබවහන්සේට එය නිරීක්ෂණය වුණාද...?
ඒකනම් මම හරියටම දන්නෙ නෑ. හැබැයි මා ගැන දන්න කතාවක් විතරක් කියන්නම්. මගේ රන්කරඬුව කෘතිය ගැන කවුදෝ කියලා තිබුණා මොකද්දෝ මා දැකලාවත් නොතිබිච්ච විදෙස් පොතක බාල අනුකරණයක් කියලා. නමුත් ඒ පොත මා දැකලා තිබුණේවත් නෑ. මේක පරිස්සමින් තේරැම් ගත යුතු කරැණක්. නිර්මාණකරැවන්ගේ නිර්මාණ සමහර විට සමානත්වයක් ගත් පමණින් එය පෙර කෘතියේ අනුකරණයක්ය කියන එක එච්චර සාධාරණයි කියලා මම හිතන්නේ නෑ. ආකෘතීන් වෙනම සිත්වල වෙන වෙනම පහළවෙලා එකට හමුවන තැනකදී සමානත්වයක් පෙන්නන්නත් පුළුවන්.
අද තරුණ ලේඛක ලේඛිකාවන් රාශියක් නවකතාකරණයට එළඹිලා. ඔබවහන්සේ අලුත් ලේඛකයන්ගේ කෘති කියවනවාද? ඔවුන්ගේ නිර්මාණවල විශේෂත්වයක් දකිනවාද...?
සැබැවින්ම මට ඉඩ ලැබෙන හැමවිටකම කියවනවා... ඒ අතර අපගේ සිත් පැහැරගන්නා කෘතීන් හමුවෙනවා... ඒ වගේම නව පරපුර ඉලක්ක කරගත් අලුත් චින්තනයක් තුළ පිහිටා ලියන පොතපතත් හමුවෙනවා...
අපේ නවකතාව තවදුරටත් දියුණු මට්ටමකට පත්කිරීමට නම් කළ යුත්තේ කුමක්ද...?
අංක එක විශ්වීය වටිනාකමකින් යුත් කෘති රචනා කිරීම වැඩිවිය යුතුයි. ඒවා ජාත්‍යන්තර භාෂාවලට පරිවර්තනය විය යුතුයි. ඒවා ජාත්‍යන්තරයට යා යුතුයි. මා දන්නා තරමින් අපේ රටේ ප්‍රකාශන ලෙස විදෙස් රටවල්වලට යන සාහිත්‍ය කෘති සම්මාන උත්සව සඳහා සලකා බැලෙන්නේ නෑ. ඒවා එම රටවල ප්‍රකාශන විය යුතුයි කියලයි මා දැනගෙන තියෙන්නේ. ඒ නිසා විදෙස් රටවල ප්‍රකාශකයින් ලංකාවේ පොත් ප්‍රකාශනය කරන්න පෙළඹවීමේ විශේෂ වැඩපිළිවෙළවල් අවශ්‍යයි. අනිත් පැත්තෙන් තරැණ පෙළට කියවීමේ අධ්‍යාපනය ලබාදිය යුතුයි. අතීතයේ රස්තියාදුකාර තරැණ සමාජයෙත් පොත් සංසරණය වන තරුණ රස්තියාදුකාර පන්තියක් තිබුණා. අද එය තාරුණ්‍යයේ විනාශය ළංකරන සාධක සංසරණය වන තත්ත්වයකට පත්කොට තිබෙනවා. ඒ නිසා ලියන දේ කොතරම් වැදගත් වුණත් කියවන්න කෙනෙක් නැතිනම් එයින් ඵලක් නැති වෙනවා.
කුසුම්සිරි