ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් ගැන සමාජයේ දැනට වැඩි අවධානයක් යොමු විය යුතු බව හදිසි අනතුරක් හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ වෛද්‍යවරියක පවසයි. ඇය වෛද්‍ය සමිතා සමන්මලීය. මීට වසර 11කට පමණ පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී සිදුවූ අනතුරක් නිසා ආබාධිතයෙකු බවට පත් වනවිට ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි.
කොළඹ ජාතික රෝහලේ මාස පහක් පමණ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයන්ගේ සහ නෑදෑ හිත මිතුරන්ගේ සහයෝගය ඇතිව චීනය සහ සිංගප්පූරුව වැනි රටවලට ගොස් ප්‍රතිකාර ලබාගත් ඇය අධ්‍යාපන කටයුතු නිමා කිරීමට සමත් වූවාය. නමුත් ඇයට බලාපොරොත්තු නොවූ ආකාරයට තම ජීවිතය “රෝද පුටුවකට” සීමා කිරීමට සිදුවිය.
“මම දැන් එම සිදුවීම ගැන කතා කරන්න අකමැතියි. මම දැන් මේ ජීවිතයට හුරුවෙලා ඉන්නේ,” එසේ ඇය පැවසුවේ තමාට මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත අනතුර ගැන විමසූ විටය. බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඇය පැවසුවේ, “කෙනෙක්ට යම් කරදරයක් සිදු වූ විට එය ගැන පසුතැවෙමින් කල් ගත කිරීමෙන් කිසිදු සාර්ථකත්වයක් ලබා ගන්න බැහැ,” යනුවෙනි.
“බොහෝ අය කරදරයක් වූ විට එය තමාගේ ඉරණම විදියටයි දකින්නේ. සමහරු ජීවිතය පිළිබඳ ආසාව අත්හැර දමනවා. නමුත් මම කියවලා තියෙනවා ඉරණම සමඟ සටන් වැද ජීවිතය ජයගත් අය ගැන. ඒක නිසා මම තීරණය කළා මම මගේ ඉරණමට අභියෝග කළ යුතුයි කියලා.”
වෛද්‍ය සමන්මලී වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක සේවය කරන්නීය.
“ආබාධ සහිත පුද්ගලයන් සඳහා අප සමාජයේ තිබෙන්නේ නිශේධනීය (negative) ආකල්පයක්. බොහෝ දෙනෙක් ඒ අය දිහා බලන්නේ පුණ්‍යාධාර සහ අනුකම්පාව අවශ්‍ය අය විදියට. මෙම තත්ත්වය වෙනස් විය යුතුයි. ඔවුන්ටත් සමාජයේ සාමාන්‍ය පුද්ගලයන් වගේ ජීවත්වීමට නිදහස තිබිය යුතුයි,” වෛද්‍ය සමන්මලී පවසන්නීය. ඇය 2017 වසරේදී ඔස්ට්‍රේලියා රජය ලබාදුන් ශිෂ්‍යත්වයක් මගින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ “ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද” පිළිබඳව වැඩිදුර හදාරා තිබේ.
“මගේ අරමුණ මෙම ක්ෂේත්‍රය ගැන තව තවත් ඉගෙන ගන්න. එම නිසා තමයි මම ඔස්ට්‍රේලියාවට ගියේ.” වෛද්‍ය සමන්මලී පවසන්නේ තමා ඔස්ට්‍රේලියාවේ සිටින කාලයේ ආබාධ සහිත පුද්ගලයන්ට එම සමාජයේ සලකන ආකාරය දුටුවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනගාටුවක් ඇති වූ බවය.
“විශේෂයෙන්ම අපේ සමහර නිලධාරීන් ආබාධ සහිත අය දිහා බලන්නේ ප්‍රශ්නයක් ආකාරයට. ඔවුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. සමහරු හිතන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි නේ. ඒ අය එක විසඳා ගනී,” යන ආකාරයෙන් බව වෛද්‍ය සමන්මලී කීය.
“ආබාධ සහිත අයකුට හෝ රෝද පුටුවක් භාවිත කරන අයකුට අපේ බොහෝ ආයතනවල ප්‍රවේශ (accessibility) පහසුකම් නැහැ. මේක හරි කනගාටුදායක දෙයක්.”
මෙම කරුණ ගැන වෙහෙසන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකු වන අජිත් සී. පෙරේරා 2009 වසරේදී අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. ඒ අනුව විශේෂයෙන්ම අලුත් රජයේ ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් සැපයීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. නමුත් මෙම කාරණය ඒ ආකාරයට සිදු නොවන බව වෛද්‍ය සමන්මලී පැවසීය.
“විශේෂයෙන් ම නව ගොඩනැගිලි හදන විට ඒවා හදන අය එම අධිකරණ තීරණය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. සැලසුම් අනුමත කර ගැනීම විවිධ ක්‍රම භාවිත කරලා කර ගන්නවා.
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැගිලි සාදා ඇත්ද යන්න සොයා බැලීමට නිසි නීතිමය බලය සහිත ආයතනයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමත් ගැටලුවක් බව ඇයගේ මතයයි. එසේ ම 2016 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (United Nations Convention on the Rights of Persons with Disabilities) ඇතුළත් විය. මෙය වඩාත් සාර්ථකවීමට මෙම සම්මුතියේ අඩංගු කරුණු අපේ නීති පද්ධතියට අනුගත කිරීම සිදුවිය යුතු බව වෛද්‍ය සමිතා සමන්මලී පවසන්නීය.
“මගේ ඒකායන බලාපොරොත්තුව හැකිතරම් ස්වාධීනව ජීවත්වීමයි. එසේම උදව් අවශ්‍ය අනෙකුත් අයට හැකි තරම් උදව් කිරීම මගේ බලාපොරොත්තුවයි. ආබාධ සහිත පුද්ගලයන්ටත් සාමාන්‍ය පුද්ගලයෙක්ට වගේම ගරුත්වයක් තිබෙනවා. එයට ගෞරව කිරීමට අපේ සමාජය හුරු වීම වැදගත්,” ඇය අවසානයේ පැවසුවාය.
බී.බී.සී. සිංහල සේවය ඇසුරිනි