බොරැල්ල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්කොට පලාගිය අය පසුපස යම් දේශපාලන තිබෙන බවට බොහෝ දෙනා විශ්වාස කළෝය. අනතුරින් හෝරා කීපයක් යන්නට මත්තෙන් ඒ බව තහවුරු වී තිබිණ. අගනුවර මධ්‍යයේ පිහිටි පොලිස්ථානයක රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා එසේ රිය අනතුරකට පත්කිරීමත් සැකකරුවන් පලායාමත් බරපතළ සිදුවීමකි.
පොලීසියත් රටේ නීතියත් පිළිබඳ අපකීර්තියක් ඇති කළ අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස රටම බලා සිටියේය. එහෙත් එය විනිවිද භාවයකින් සිදුවනු ඇතැයි ජනතාව එතරම් විශ්වාස කළේ නැත. රිය අනතුරකට ලක්වූ රථ වාහන ස්ථානාධිපතිවරයාට ද නිසියකාරව ක්‍රියාත්මක නොවන නීතිය සාමාන්‍ය මිනිසකුට කෙසේවේදැයි ලොකු ගැටලුවකි. ජනතා අදහස එසේ වුවද අනතුර පිළිබඳ අධිකරණ කටයුතු තවමත් සිදුකෙරෙමින් පවතී.
රිය අනතුරින් දින 15කට පසුව මියගිය ආනන්ද සරත්චන්ද්‍ර මහතාගේ බිරිය පුතුන් දෙදෙනා හා එකම දියණිය පදිංචිව සිටින වේරහැර ගංගාරාම පාරේ කුලී නිවසට අපි ගියෙමු.
“හැමදාම උදේට වැඩට ගියා... හවසට එද්දී චූටි දුවට අයිස් ක්‍රීම් එකක් අරගෙන එනවා. දුව ආසාවට ඇති කරන පුසෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයට හන්දියේ මාළු ලෑල්ලෙන් මාළුත් අරගෙනයි එන්නේ. උදේට හවසට මතක් වෙන මේක මට හීනයක් වගේ. වැඩට යන්න ගියපු මහත්තයා හොරු අරගෙන ගියා වගේ.”
රිය අනතුරකට ලක්ව මියගිය බොරැල්ල පොලීසියේ රථ වාහන අංශ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ ආදරණීය බිරිඳ සිය දියණිය තුරුල් කරගෙන එසේ පැවසුවාය. අනෝමා හතුරුසිංහ (49) නම් ඇය පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ මවකි. සිය සැමියා මියයන්නට පෙරදා සවස නිවසට පැමිණි අයුරැත් පසුදා අලුයම නිවසින් පිටව ගිය අයුරැත් තමන් සන්තකයේ තිබූ අවසාන මතකය පිළිබඳව ඇය මෙසේ කීවාය.
“කවදාවත් නැතුව ගිය මාසේ 23 වැනිදා සවස කලින්ම මහත්තයා ගෙදර ආවා. ඒ කියන්නේ සවස 4.50ට විතර ආපු ගමන් කීවා “අද ටිකක් කලින් නිදා ගන්න ඕන... හෙට උදේම ගෝල්ෆේස් එකට යන්න තියනවා.” කියලා. මහත්තයා පාන්දර 2ට නැගිට්ටා. පුතාත් නැගිටලා දෙන්නාම තේ බීවා. පාන්දර 2.30ට මහත්තයා ගෙදරින් ගියා. එයාගේ බයිසිකලේ බොරැල්ල පොලීසියට ගිහින් එතනදී යුනිෆෝම් ඇඳගෙන තමයි ට්‍රැෆික් බයික් එකේ ගිහින් තියෙන්නේ. පාන්දර කීයට යන්න තිබුණත් කවදාවත් පොලීසියේ බයික් එක මහත්තයා ගෙදර ගෙනාවේ නෑ. පොලීසියට අවශ්‍ය තරම් බයික් නෑ කියලා එයා නිතරම කියනවා. මහත්තයා ගෙදරින් පිටත් වුණාට පස්සේ අපි ආයෙම නිදාගන්නවා.”
අනෝමා හතුරුසිංහ හුස්මක් හෙළුවාය. ඒ අවසරයෙන් ඇයගේ වැඩිමල් පුත් අශාන් සරත්චන්ද්‍ර (26) පැවසුවේ මෙවැන්නකි.
“අපි නිදාගෙන ඉද්දී ගෙදරට කතා කරනවා ඇහුණා. බලද්දී දෙන්නෙක් ඇවිත් හිටියා. ඒ අය බොරැල්ල පොලීසියෙන් කියලා කීවා. එයාලා සිවිල් ඇඳුමින් ඇවිත් තිබුණේ. ඒ අය කීවේ. තාත්තා බයික් එකේ යද්දී බල්ලෙක් පැනලා හැප්පිලා වැටිලා. ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා ඉන්නේ. බයිපාස් ඔපරේෂන් එකක් කළ නිසා ඒකේ රිපෝට් ටික ගෙනියන්නත් ඉල්ලුවා.
ඒත් එක්කම අපි ඉස්පිරිතාලෙ යන්න ලෑස්ති වුණා. එනකොට එයාලා කීවේ නෑ කළබළ වෙන්න එපා අපේ ජීප් එකෙන්ම යන්න පුළුවන් කියලයි. තාත්තා 2010 අවුරුද්දේ බයිපාස් ඔපරේෂන් එකක් කරලා තිබුණේ. අපි බයවුණා. අපි කට්ටිය ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට යද්දී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා එතැනට ඇවිත් හිටියා.”
සිය වැඩිමහල් පුත්‍රයාගේ අදහස් පළකිරීමට ඇහුම්කන් දෙමින් සිටි අනෝමා මහත්මිය යළිත් කතාවට එකතු වූවාය.
“අපි 72 වාට්ටුවට යනකොට අජිත් රෝහණ මහත්තයා එතන හිටියා. රෝහණ මහත්තයා තමයි කීවේ මහත්තයා වාහනයකින් හප්පලා ගිහින් කියලා. එතකොටයි අපි විස්තරය දැනගත්තේ. ඒ වෙලාවේ ඉඳලම පොලීසියත් රෝහලත් දෙකම මහත්තයා වෙනුවෙන් ගොඩාක් දේ කළා. ඒ වෙලාවේ ඉඳලා දවස් 15ක් ගිහින් මහත්තයා නැතිවෙනකල්ම මගේ පුතාල දෙන්නා ඉස්පිරිතාලෙට වෙලා හිටියා. පොලිසියේ නිලධාරින් දෙන්නෙකුත් මහත්තයා වෙනුවෙන්ම හිටියා. ඒත් දවස් ගාණක් ගතවෙද්දී තේරුණා මහත්තයාට ගොඩාක් අමාරැ බව. අජිත් රෝහණ මහත්තයා අපට නිතරම කීවා බය වෙන්න එපා මහත්තයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරනවා කියලා. එදා උදේ වෙද්දිම අනතුර සිදුකරපු වාහනය ගැන පොලීසිය හොයාගෙන තිබුණා. සී.සී.ටී.වී. දර්ශන කීපයකුත් හොයාගත්තාලු. රෝහණ මහත්තයා කීවේ මේ අනතුර වළක්වා ගන්න හැකියාව තිබුණු එකක් කියලයි.”
මේ කතාව අතර යළිත් වරක් එක්වූ අශාන් මෙසේ පැවසීය.
“මගේ තාත්තාගේ ඔළුවටයි කකුල් දෙකටයි ගොඩාක් හානි වෙලා තිබුණා. මොළයට ලේ බැහැලා තිබුණා. කකුලේ මස් තැලිලා ලේ කැටි වෙලා. පෙනහැල්ලෙ ලේ හිරවෙලා. හොඳටම අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. මොළයේ ලේ ඉවත් කළත් කකුලේ බරපතළකම නිසා අවදානමක් තියනවා කියලයි කීවේ. අපි බලාන ඉද්දිම තාත්තාට සවිකරලා තිබුණු මැෂින් වෙනස් වුණා. එහෙම ඉද්දී වාහනය හප්පලා ගියපු කෙනාගේ තාත්තා කියන පොලිස් අධිකාරිවරයා සහ අලුත්ගමගේ ඇමතිවරයා ඇවිත් කනගාටුයි කියලා ගියා. එයාලා දෙන්නම මව්පියන් විදිහට කළේ වරදක්. උදේ 4.35ට වෙච්ච අනතුරින් පස්සේ වාහනය හංගන්න හදලා. වාහනය කෑලි කරන්න උත්සාහ කරලා. එහෙම දෙයක් කරන්න කලින් අජිත් රෝහණ මහත්තයලා තොරතුරු හොයාගෙන තිබුණා.
හරියටම විස්තර දැනගෙන අජිත් රෝහණ මහත්තයා අර කියපු පොලිස් අධිකාරීවරයාට කෝල් කරලා කෙළින්ම අහලා තියනවා පුතා කොහෙද? කියලා. එතකොට කියලා තියෙන්නේ රෑ ගියේ තාම ආවේ නෑ කියලයි. ඊට පස්සේ තමයි එයා පුතා එක්කගෙන පොලිසියට ගිහින් බාර කරලා තිබුණේ. තාත්තා කෙනෙක් විදිහට ඒ දෙන්නා කළේ හොඳ දෙයක් නෙමේ. සී.සී.ටී.වී. දර්ශන තිබුණු නිසායි මිනිස්සු හඳුනාගත්තේ.”
සිය මවගේත් අයියාගේත් කතාවට එක දිගටම ඇහුම්කන් දී සිටි ටෙරාන් සරත්චන්ද්‍ර (21) පවුලේ දෙවැනි දරුවාය. ඔහු කතාවට එකතු වූයේ මේ අදහස් පළකරමිනි.
“තාත්තා යටකරගෙන ගියපු පිරිස නයිට්ක්ලබ් එකක ඉඳලා එන බවට සී.සී.ටී.වී. දර්ශන තියනවා. මේ අය පුස්තකාල වටරවුම් පැත්තෙන් ඇවිත් තියනවා. කලර් ලයිට් ගාණක් තියන පාරේ කිලෝමීටර් 7ක දුරක් විනාඩි 2කින් ගිහින් තියනවා. එතකොට ගියපු වේගය හිතාගන්නත් පුළුවන්. මාර්ග නීති සේරම උල්ලංඝනය කරලා ගියා කියලාත් පැහැදිලියි. අනතුර කරපු රියදුරා විතරක් නෙවේ ඔහු සමඟ හිටිය අයත් පස්සෙන් ආපු ප්‍රාඩෝ රථයේ ආවේත් සේරම නීතිගරුක අය නොවේ. සේරම වගකීම් යුතුකම් පැහැරහැරපු අය. ඒක නිසා තමයි රියදුරුට අමතරව අනෙක් අයත් රිමාන්ඩ් කරලා තිබුණේ. තාත්තා ඉස්පිරිතාලෙට ගියපු ගමන් ලේ පයින්ට් 7ක් දුන්නාලු. තාත්තා හැප්පුණු තැන ඉඳලා අඩි 24ක් ඈතට විසිවෙලා ගිහින් වැටිලා තිබුණේ. ඒ තියෙද්දී තව යටකරගෙනත් යනවා. මේ අනතුර සිදුකරපු අය මද්‍යසාර විතරක් නෙවේ වෙන මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඉන්න ඇති. නැත්නම් එහෙම හැසිරෙන එකක් නෑ.”
අම්මා සහ අයියලා දෙන්නාගේ කතාවට ඇහුම්කන් දීගෙන සිටි සරත්චන්ද්‍ර මහතාගේ එකම දියණිය සචී අප ඉදිරියට ආවේ සිය පියාගේ රාමුකරන ලද ඡායාරූපයක් අතැතිවය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය ඇය පියාගේ මතකය මෙසේ අවදි කළාය.
“23 වෙනිදා රෑ තාත්තා කලින් නිදාගත්තා. පහුවදා උදේම යන්න ඕන කීවා. කෝල් ආවාත් කතා කරන්න එපා කීවා. ඒත් කෝල් එකක් ආපූ නිසා මම ෆෝන් එක අරගෙන ගියාම තාත්තා මට සැර කළා. ඒත් කතා කරලා තිබුණේ පොලිසියේම අනතුරකට පත්වුණු කෙනෙක්. එයාට තාත්තා කතා කළා. බොරුල්ල පොලීසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිවරු පස් දෙනෙකු කාලය ඉවර වෙන්න පෙර ඉවත්වෙලා තියනවාලු සමහරු හදිසි අනතුරු නිසා. මීට කලිනුත් හිටපු නිලධාරියෙක් මේ නිල බයික් එකම හැප්පිලා තියෙනවාලු. තාත්තා පොලිසියේ අයට ක්ලාස් කරන නිසා අජිත් රෝහණ මහත්තයා තාත්තා ගැන දන්නවා. අඳුනනවා. තාත්තා කිය කියා හිටියේ උසස් පෙළ කරන්න මාව හොඳ ඉස්කෝලෙකට දානවා කියලා. තාත්තාට පෙන්ෂන් යන්න තව අවුරුදු 8යි තිබුණෙ. දැන්නම් අපිට මුව ලෝකෙම නැතිවුණා වගේ තමයි.”
ආදරණීය දරු තිදෙනා සිය පියා පිළිබඳ දක්වන අදහස්වලට බාධා නොකළ අනෝමා මහත්මිය යළිත් වරක් කතාවට එකතු වූවාය. සැමියා නැති සොවින් දරුවන් පිළිබඳ අහස උසට බලාපොරොත්තු දල්වා සිටින ඇය මෙසේ ද කීවාය.
“මහත්තයා ඉදිද්දී මට බයක් නෑ. ඒත් දැන් මටයි දරුවන්ටයි කාගේ ආරක්ෂාවක් ද ලොකු පුතා පුද්ගලික ආයතනයක වැඩ කරනවා. දුව තාම ඉගෙන ගන්නවා. එයාගේ අනාගතය ගැන බලන්න ඕන. පොඩි පුතාට රස්සාවක් ඕන.” ඇය කීවාය.
ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා 52 වැනි වියේ පසුවූ අයෙකි. 1986 වසරේ කැඩේට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට බැඳී සේවය කරන අතරතුර තිබූ ආශාව නිසා යළි පොලිස් සේවයට එක්වී තිබිණි. මහව, කුලියාපිය, පොල්පිතිගම, හිඟුරක්ගොඩ ඇතුළු පොලිස්ථාන රුසක අපරාධ අංශය, සුළු පැමිණිලි අංශය හා රථ වාහන අංශයේ රාජකාරී කළ ඔහු බොරැල්ල පොලීසියේ රථවාහන අංශ්‍යට අනුයුක්ත වීමට පෙර කොළඹ හදිසි ඒකකයේ සේවය කළ බවද අනෝමා මහත්මිය පැවසුවාය.
පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උපන් සරත්චන්ද්‍ර මහතාට අක්කා සහ මල්ලී කෙනෙක් සිටිති. කොළඹ රාජකාරී කළද සරත්චන්ද්‍ර මහතා සිය මෑණියන් බැලීම සඳහා මාසයකට වතාවක් ගමට ගිය බව අනෝමා මහත්මිය කියන්නීය.
“මහත්තයාගේ තාත්තා 88 භීෂණ සමයේදී වෙඩි තියලා මරලා තිබුණා. තාත්තා මැරෙද්දී වයස 52යි. දැන් මගේ මහත්තයත් අවුරුදු 52න් මැරුණා. ඒක මට හරිම පුදුම දෙයක්. මහත්තයාගේ අනතුරත් එක්ක අපි කලබලවෙලා හිටියේ. ඉස්පිරිතාලෙට යද්දී මහත්තයාගේ පඩි සල්ලි සේරම මම බැංකුවෙන් අරගෙන ගියා. තව එදා ඉස්පිරිතාලෙට ආපු ඥාති හිතවතුන් වියදමට ගන්න දීපූ සල්ලිත් එක්ක ලක්ෂයක් විතර එන්විලොප් එකකදාලා හෑන්ඩ් බෑග්එකේ දාගෙන හිටියා. අයි.සී.යූ.එක ළඟ ඉඳලා එළියට ඇවිත් බලද්දී මගේ ළඟ සල්ලි ටික නෑ. බෑග් එකත් ඇරලා තිබුණා. ආයෙම ගිහින් බැලුවාම සල්ලි තිබුණු කවරය කුණු පෙට්ටියට දාලා තිබුණා. හැබැයි ඒකේ සල්ලි සතපහක්වත් තිබුණේ නෑ. මට කරකියා ගන්න දෙයක් තිබුණේ නෑ. කවුරු හරි මගේ සල්ලි ටික හොරාගෙන තිබුණා.” යැයි සැමියාගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටි අනෝමා මහත්මිය කීවාය.
යම් කෙනෙක් රෝහලක දැඩිසත්කාර ඒකකය ඉදිරිපිට කැමැත්තකින් යන්නේ නැත. ළඟම ඥාතියකු, හිතවතකුගේ අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් විනා එහි ගැවසීමට අවශ්‍ය නැත. එවැනි ස්ථානයක ගැවසෙන අසරණ මිනිසුන් තම අසාධ්‍ය හිතවතාගේ ජීවිතය අයැදින විටෙක ඔවුන්ගේ පොකැට්ටුව මුදල් පසුම්බියක් සොරාගන්නට මානබලන තිරිසන් මිනිස්සු එහි ගැවසෙති. හදිසි අනතුරින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සරත් චන්ද්‍ර මහතාගේ බිරියගේ මුදල් සොරා ගත්තේද එවැන්නෙක් වන්න ඇත. ඒ බව සනාථ කරගන්නට තිබූ එකම සාක්ෂිය අසල වූ සී.සී.ටී.වී. කැමරාවයි. එය අක්‍රීයව පැවතීම අවාසනාවකි.
I කතාව - සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - සුමුදු හේවාපතිරණ