තරුණයකු සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා විදේශගත වන්නේ දහසකුත් බලාපොරොත්තු හිතේ තබාගෙනය. විශේෂයෙන්ම තම රැකියාවෙන් ලබන වැටුපෙන් එකතු කරන මුදලෙන් තම පවුල රැක බලාගැනීම, තමන්ට ජීවත්වීමට නිවසක්, වාහනයක් මිලදී ගැනීම තමන්ටම කියා ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම වැනි විවිධ බලාපොරොත්තු ඒ අතර තිබිය හැකිය. එහෙත් ජංගම ග්‍රහලෝකාගාරයක් ඉදිකිරීම සඳහා මුදල් සොයා ගැනීමට විදේශගත වීම සාමාන්‍යයෙන් තරුණයකුගෙන් අපේක්ෂා කළ හැක්කක් නොවනු ඇතැයි යමකුට සිතිය හැක.
කෙසේ වෙතත්, එලෙස ජංගම ග්‍රහලෝකාගාරයක් තැනීමට වෙහෙසුණු තරුණයකු බදුරලිය ප්‍රදේශයෙන් අපට හමු විය. ඔහු නමින් තරංග බණ්ඩාර කුසුම්සිරිය. මේ වනවිට ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ, “ජංගම ග්‍රහලෝකාගාරයේ බදුරලියේ තරංග” ලෙසිනි.
පාසල් කාලයේදී තාරකා විද්‍යා විෂයට ඇති වූ කැමැත්ත තරංගට එම විෂය හොඳින් අධ්‍යයනය කිරීමට උනන්දුවක් ඇති කළ අතර ඔහු පසු කාලයේ එම විෂය ගැන පොත්පත් කිහිපයක් ලියා පළ කළේය. “පියවි ඇසින් අහස බලමු”, “අභ්‍යවකාශ කවුළු” සහ “හිරු පවුල” එලෙස ඔහු පළ කර ඇති පොත් කිහිපයකි.
ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ, බදුරලිය කඹුරුවල මහා විද්‍යාලයේ 9 වැනි වසරේ සිටියදී ප්‍රදර්ශනයකට තමන් නිර්මාණය කළ 50 දෙනකුට පමණ නැරඹිය හැකි කුඩා ග්‍රහලෝකාගාරය කෙදිනක හෝ විශාල ප්‍රමාණයේ ජංගම ග්‍රහලෝකාගාරයක් ලෙස ස්ථාපනය කිරීමයි. සිය පාසල් ජීවිතය අවසන් කිරීමත් සමඟ තරංග ඒ සඳහා කැප විය.
“පාසලේදී කුඩා ග්‍රහලෝකාගාරයක් හැදුවට පස්සේ තමයි මේ විෂය ගැන ගවේෂණය කරලා කවදාහරි විශාල ජංගම ග්‍රහලෝකාගාරයක් හදනව කියලා හිතා ගත්තේ. ඊට පස්සේ මම පිළියන්දල තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් මේ පිළිබඳව හැදෑරුවා. එතැනදී දුරේක්ෂයෙන් අහස දැක්කා, අඟහරු දැක්කා. හඳ දැක්කා. හඳ මේ දකිනවට වඩා ගොඩක් වෙනස්. මම ඒ විෂයට ඇබ්බැහි වෙලා එක දිගට ඒ ගැන විවිධ දේ කළා පොත් ලිව්වා, පත්තරවලට ලිව්වා.” තරංග බණ්ඩාර බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
“මේ දේවල් කොච්චර කළත් මගේ හිතේ අරමුණක් ලෙස තිබ්බේ ජංගම ග්‍රහලෝකාගාරය හදන එක. ඒක විශාල මුදලක් යන වැඩක්. ඒ නිසා මම තීරණය කළා විදේශගත වෙන්න. සිංගප්පූරුවේ හෝටල් ක්ෂේත්‍රයට අදාළ රුකියාවක් කළා” ඔහු සිය මතකය අවදි කළේය.
වසර දෙකහමාරකට පසු සිය විදේශ රුකියාව අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි තරංග යළි තවත් වසර කිහිපයකට විදේශගත වූයේ, ජංගම ග්‍රහලෝකාගාරය නිර්මාණය කිරීමට මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.
“පළවෙනි පාර රට හිටපු වෙලාවේ මේ ගැන එතරම් හිතුවේ නැති වුණාට දෙවැනි පාර රට ගියේ මේක හදන්නම තමයි. ඒ අවුරුදු දෙක ගත කළේ ඒකට අවශ්‍ය ඉතිරි මුදල කොහොම හරි හොයා ගන්න” ඔහු කියා සිටියේය.
සිය විදේශ රැකියාව අවසන් කර තමන් එකතු කර ගත් සියලු මුදල් සමඟ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි තරංග බණ්ඩාර ඉන් පසු සිය ශ්‍රමය. කාලය හා ධනය සම්පූර්ණයෙන්ම වැය කළේ, තම සිහිනය වන ජංගම ග්‍රහලෝකාගාරය තැනීමට සඳහාය.
“පොඩි කාලේ ඉඳලම මම සැලසුම් 100ක් විතර ඇඳල තියෙනවා ග්‍රහලෝකාගාරය හදන්න. මේක හදද්දීත් මට ගොඩක් වැරදුණු තැන් තිබුණා. යකඩ බාර් අඩුවෙන් යොදන්න ගිහිල්ලා මේකේ ශක්තිය අඩුවෙලා නැවුණා. නමුත් අත්හදා බැලීම් කරලා කොහොම හරි මේක ගොඩ නැගුවා” තරංග කියා සිටියේය.
300 දෙනකුට එකවර නැරඹිය හැකි ලෙස තරංග ඉදිකළ මේ විශාල ග්‍රහලෝකාගාරය මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයේ ස්ථානවල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ. තරංග මෙම ග්‍රහලෝකාගාරයේ ප්‍රදර්ශනය කරන තාරකා විද්‍යා වැඩසටහන පාසල් ළමුන් සඳහා සුදුසු බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
“මේක ලේසි වැඩක් නෙවෙයි. මේක එක තැනක හදන්න 10 දෙනෙක් දවස් 5ක් වැඩ කරන්න ඕන. රෙදි එළාගන්න ඕන, රෙදි 3කින් ආවරණය වෙනවා මේ අර්ධ ගෝලය තුළ විෂ්කම්භය අඩි 60ක් තියෙනවා. මේක ගලවන්න දවස් දෙකක් යනවා, තව තැනකට මේ සැකිල්ල විතරක් ගෙනියන්න අඩි 20 ලොරි 6ක් ඕනේ” තරංග බණ්ඩාර මෙම ජංගම ග්‍රහලෝකාගාරයේ තැනින් තැනට ගෙන යාමේදී තමන් මුහුණ දෙන අභියෝගය ගැන අදහස් දක්වමින් කියා සිටියේය.
“මට අවශ්‍ය දුෂ්කර පළාත්වලට ගිහින් මේක පෙන්වන්න, ග්‍රහලෝක කියන්නේ මොකක් ද, තාරකා කියන එක මොකක් ද කියන එක ඒ අයට දැනගන්න. මට ඕන වුණේ මගේ පිස්සුව හොඳ කර ගන්න, මට ඕන වුණා ග්‍රහලෝකාගාරයක් හදන්න. ඒක හොඳ කරගන්න මොනව හරි කරලා මේක කරනවා කියලා මම හිතා ගත්තා ඒ පිස්සුව මම හොඳ කර ගත්තා, දැන් තියෙන්නේ මේකට ගිය අධික වියදම. ඒ නිසා තමයි මම පොඩි මුදලක් මේක බලන්න අය කරන්නේ. මට ලක්ෂ 30ක් විතර මේකට වැය වුණා” තරංග බණ්ඩාර පැවසීය.
බීබීසි සිංහල සේවය තරංග හමුවීමේදී ඔහු මෙම ග්‍රහලෝකාගාරය හොරණ නගරයේ ප්‍රදර්ශනය කරමින් සිටියේය. උදෑසන දර්ශනය හොරණ ප්‍රදේශයේ පාසලක ළමුන් 200ක් පමණ ඒ වනවිට නරඹමින් සිටියහ. දර්ශනය වාරය අවසන් වූ පසු එම අත්දැකීම ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ 9 වසර ගුරුවරියක වන තක්ෂිලා ගුණවර්ධන පැවසුවේ, සිය පාසලේ දරුවන්ට තාරකා විද්‍යාව පිළිබඳව හොඳ ප්‍රයෝගික අධ්‍යයනයක් මෙහිදී ලැබුණු බවය.
“හොඳ වෙනස් වැඩසටහනක්. ළමයි ආසාවෙන් බලා හිටියා. අපි පොතපතෙන් මේවා උගන්වනවට වඩා මෙහෙම වැඩසටහනක් දැක්කම ලොකු දැනුමක් ළමයින්ට ලැබෙනවා” ඇය කියා සිටියාය.
තරංග බණ්ඩාරගේ අරමුණ ඉදිරියේදී මෙම ජංගම ග්‍රහලෝකාගාරය ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවලට ගොස් ප්‍රදර්ශනය කිරීමයි.
“ගොඩක් යාළුවෝ මට හිනාවෙනවා උඹට පිස්සුද බන් ඔය අව්වේ කරවෙන්න ඕක කරලා, නමුත් මට මේක වෙන ජොබ් එකක් කරන එකට වඩා මහාමෙරක් වගේ. මොකද ළමයි ඇවිල්ලා සතුටු වෙනවා, වැඩිහිටියෝ ඇවිල්ල කියනවා ඔබතුමාගේ වැඩේ හොඳයි මේ වැඩේ අගය කරනව කියලා, ඒක මට මහමෙරක් වගේ” තරංග බණ්ඩාර කතාබහ අවසන් කරමින් කියා සිටියේය.
►BBC සිංහල සේවය