උඩරට රාජධානියේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලනයට නොසතුට පළ කළ බොහෝ උඩරට රදළ පිරිස් හා නිලමේවරු රජුට විරුද්ධව රහසින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජු හා උඩරට රදළ පාලකයන් අතර පැන නැගුණු ගැටුම ප්‍රයෝජනයට ගත් කූඨ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී උඩරට නිලමේවරුන් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් කළහ.
එනමුදු උඩරට එකඟතා ගිවිසුම නිලමේවරුන් සමඟ අත්සන් කළ ඉංග්‍රීසි පාලකයෝ ඉතා කෙටි කලකින් ගිවිසුම කඩ කිරීම සිදුකළ බවද ඉතිහාසයේ සඳහන්ය.
1815 මාර්තු මස 02 වැනි දින ඉංග්‍රීසි පාලකයන් සහ නිලමේවරුන් මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමට හේතු වූ ප්‍රධාන කාරණා කීපයක් ගිවිසුමට ඇතුළත් වී තිබිණි. එම කරුණු මෙලෙස සඳහන්ය.
පළමු හා දෙවැනි වගන්තිවලින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනෙන් නෙරපන ලද බවත්, ඔහුගේ නෑයන්ට සිහසුන සඳහා වූ අයිතිය අහෝසි වීයැයි සඳහන් විට බ්‍රිතාන්‍යයන්ගෙන් අවසරයක් නොමැතිව ඔවුනට උඩරටට ඇතුළු වීම තහනම් විය.
උඩරට රාජ්‍යයේ ආණ්ඩු බලය බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත්වන නමුත් ප්‍රභූවරුන්ගේ තානාන්තර හා නම්බු නාම අයිතිවාසිකම් එලෙසම පවතී. රදළවරැන් හා රටවැසියන් අදහන බුද්ධාගම හා දේවාල ඒවායෙහි සිරිත් විරිත්, චාරිත්‍ර, භික්ෂූන් වහන්සේ, වෙහෙර විහාර එලෙසම පවත්වාගෙන යනු ඇත.
ඉංග්‍රීසි පාලකයන් සහ උඩරට රදළ නිලමේවරුන් අතර ඇතිකරගත් කොන්දේසිවලට ප්‍රකාරව රාජ්‍ය පාලනය එංගලන්තයේ රජුට පැවරීය.
මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් කර ඇත්තේ එංගලන්තයේ මහ රජු වෙනුවෙන් ලංකා ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ සිංහල පාලකයන් හා රටවැසියන් වෙනුවෙන් ඇහැලේපොළ මහ නිලමේ, මොල්ලිගොඩ මහාදිකාරම් තැන සහ පහත සඳහන් නිලමේවරුන් විසිනි. එම පිරිස මේ අයුරින් සඳහන්ව ඇත.
පිළිමතලව්වේ දෙවැනි අදිකාරම් සබරගමුව දිසාවේ, පිළිමතලව්වේ හතර කෝරලේ දිසාවේ, මොණරවිල ඌව දිසාවේ, රත්වත්තේ මාතලේ දිසාවේ මොල්ලිගොඩ දිසාවේ, දුල්ලෑවේ දිසාවේ වලපනේ දුල්ලෑවේ දිසාවේ වෙල්ලස්ස සහ බින්තැන්නේ ගලගම තමන්කඩුව දිසාවේ, ගලගොඩ නුවර කලාවිය දිසාවේ යන නිලමේවරුන්.
උඩරට ගිවිසුමට අත්සන් කළ එකම රදළයා මොණරවිල යන නමින් අත්සන් කළ කැප්පෙටිපොළ දිසාවේ වශයෙන් සඳහන් වෙයි. උඩරට ගිවිසුමට රදළයන් 11 දෙනෙක් අත්සන් කර තිබේ. ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුම ස්වාධීන රාජ්‍ය දෙකක් අතර ඇතිකරගත් ගිවිසුමකි.
මෙම ගිවිසුම ලියා ඇත්තේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් වන අතර ගිවිසුමේ පිටුවක් පාසා හරි අඩක් ඉංග්‍රීසියෙන්ද අනෙක් කොටස් සිංහල භාෂාවෙන්ද ලිවීමට ගිවිසගෙන ඇත. මෙම ගිවිසුම අත්සන් කර සකස් වූයේ යටත් විජිතයක් යටත් කරගත් රටක් අතර ඇතිකරගන්නා ලද ගිවිසුමක විලාශයෙන් නොව සම තත්ත්වයේ දෙපාර්ශ්වයක් විසින් ඇතිකරගන්නා ලද ගෞරවපූර්ව රාජ්‍ය තාන්ත්‍රික ලියවිල්ලක් ලෙසින්ය.
මෙම ගිවිසුම තුළින් මෙරට ජන ජීවිතය වඩාත් යහපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යොමුකරවන බවට ගිවිසගෙන තිබේ. මලබාර් පාලනයෙන් හා පාලකයන්ගේ කර පාලනයෙන් ජනතාව මුදවා ගන්නා බවට එහි සඳහන්ව ඇත. ජනතාවගේ පුද්ගල නිදහස ස්ථාවරත්ව නිත්‍යනුකූලව ආරක්ෂා කිරීම ගැනද ගිවිසුමට ඇතුළත් වී ඇත. කන්ද උඩරට රාජ්‍යයේ ප්‍රාදේශීය පාලනයේ පැවැති මලබාර් රජුගේ කර වධ හිංසාවන්ගෙන් මුදවා ගැනීම ගැනද ගිවිසුමේ සඳහන්ව තිබේ.
ඉංග්‍රීසි පාලකයන් ඔවුන්ගේ පාලන කටයුතු මෙහෙයවීම සිදුකළ යුත්තේ ඒ ඒ පළාත්වල ධූර දැරූ අදිකාරම්වරු, දිසාවේවරු, මොහොට්ටාල, කෝරලේ විදානේවරු වැනි සිංහල පාලන තන්ත්‍රයේ නිලතල දරන ලද පාලකයන් මගින් විය යුතු බවද උඩරට ගිවිසුමට ඇතුළත් වී තිබිණි.
මෙරට බුද්ධාගම සුරක්ෂිත කිරීමත් බෞද්ධයන්ගේ ආගමික කටයුතු නිදහසේ කරගෙන යාමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳවත් ගිවිසුමේ සඳහන්ව ඇත. සෑම අන්දමකම ශාරීරික වධ හිංසා අත් පා කැපීම් වැනි කර වධ හිංසා ලබාදීම සහමුලින්ම මෙම පාලකයන් විසින් නවතාලිය යුතු බවද ගිවිසුමට ඇතුළත් විය.
සාධාරණ අධිකරණ තීන්දු තීරණයක් නොමැතිව කිසිවකුට මරණ දඬුවම ලබාදීමද ගිවිසුම ප්‍රකාරව තහනම් කොට ඇත.
උඩරට ගිවිසුම හේතුවෙන් උඩරට රාජ්‍ය අහෝසි වී ගොස් සිංහල නායකයන් අතරද බෙදීමක් ඇති වී තිබේ. ගිවිසුමට ප්‍රකාරව ඉංග්‍රීසි පාලකයන් කටයුතු නොකිරීම නිසා උඩරට සිංහල නායකයෝ ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව කැරැල්ලක්ද ආරම්භ කර තිබේ.
උඩරට ගිවිසුමෙන් ප්‍රකාශයට පත් කරන ලද පරිදි ඉංග්‍රීසින් කෙටි කලකින් කර පාලනයක් ආරම්භ කිරීම නිසා ගිවිසුමට අත්සන් කළ උඩරට ප්‍රභූන් වන මොණරවිල කැප්පෙටිපොළ මහ සෙනවි සහ ඇහැලේපොළ මහාදිකාරම් තැන විසින් කැරැල්ලට මඟ පාදා ඉංග්‍රීසි පාලනයට එරෙහි ජනතාව පෙළගැස්වීමටද කටයුතු යොදා ඇති බව ඓතිහාසික තොරතුරු මූලාශ්‍රයන්හි සඳහන් වෙයි.
උඩරට ගිවිසුම ඓතිහාසිකව වැදගත් වන්නේද එකී ගිවිසුම හරහා උඩරට සිංහලයන් ඉංග්‍රීසි පාලනයට විරෝධය පළකරමින් කැරැල්ලක් ආරම්භ කිරීම නිසාය.
උඩරට ගිවිසුම එදා ඉංග්‍රීසින් සහ උඩරට රදළ ප්‍රභූන් විසින් අත්සන් කිරීමට යෝජිත කළ මේසය සහ පුටුව අද ද කන්ද උඩරට ඉතා සුවිශේෂී වූ ස්ථානයක ආරක්ෂිතව තිබෙන බව එම භාණ්ඩ පිළිබඳව හෙළිදරව් කළ මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාරතිලක වලිසුන්දර මහතා ප්‍රකාශ කළේය.
ලංකාවේ විසූ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය සිහසුන අත්හැර පළා යෑමෙන් පසු ඉංග්‍රීසි පාලකයන් උඩරට නිලමේවරුන් හා එක්ව අත්සන් කරන ලද ඓතිහාසික ලියවිල්ල අත්සන් කිරීම සිදුකළ මේසය සහ පුටුව ඓතිහාසික භාණ්ඩයක් හෙයින් ඒවා අයිති උඩරටට බවද බස්නායක නිලමේවරයා පැවසීය.
මෙම ඓතිහාසික භාණ්ඩ ඉතා සුරක්ෂිතව දැනට තිබෙන ඓතිහාසික ස්ථානයේම තිබිය යුතු බව පවසන වලිසුන්දර මහතා, ඒවා වෙනත් කිසිදු ආයතනයකට හෝ ස්ථානයකට ලබා නොදිය යුතුය යන ස්ථාවරයේ සිටී.
උඩරට කැරැල්ල මෙහෙයවා ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව නිදහස් සටනක් දියත් කළ උඩරට විරැවන් ඉංග්‍රීසින් විසින් අල්ලාගනු ලැබුව පසු එම පිරිසට විරුද්ධව ඉංග්‍රීසින් විසින්ම නඩු විමසා පිරිසකට එරෙහිව මරණීය දණ්ඩය නියම කර තවත් පිරිසක් රටින් පිටුවහල් කළ බවත්, එම විරැවන් ඉංග්‍රීසින් විසින්ම රාජද්‍රෝහීන් ලෙස නම් කළ බවත්, එලෙස ඉංග්‍රීසින් විසින් රාජද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ නම් කරන ලද විරැවන් එළඹෙන මාර්තු මස 01 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දේශප්‍රේමී නාමය ප්‍රකාශයට පත් කෙරෙන්නේද මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ බව සඳහන් කරන වලිසුන්දර මහතා එකී රාජ්‍ය කාර්ය භාරය එදා ඉංග්‍රීසින් විසින් උඩරට ගිවිසුම අත්සන් කිරීම සඳහා යොදාගත් ඓතිහාසික මඟුල් මඩුව හෙවත් රාජ සභාවේදීම කළ යුතු බව පවසයි.
එදා උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවට එකී කාර්යභාරයට යොදාගත් මේසය සහ පුටුව යළිත් එළඹෙන මාර්තු මස 01 වැනි දින යොදාගන්නා ඓතිහාසික කාර්යයට යොදාගෙන එම මේසයේම සිට එම පුටුවේම අසුන්ගෙන ජනාධිපතිවරයා විසින් එදා උඩරට කැරැල්ල මෙහෙයවා ඉංග්‍රීසි පාලකයන්ගේ දේශද්‍රෝහී හංවඩුවට ලක්වුණු අපේ විරුවන්ට දේශප්‍රේමී නම්බු නාමය ලබාදීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බව, වලිසුන්දර මහතා සඳහන් කරයි.
මුළු රටේමත් කන්ද උඩරට රාජධානියේත් ඉරණම විසඳමින් ඉංග්‍රීසින් සමඟ ගිවිසුමක් මගින් ඇතිකරගත්, එකඟතාවය ඉංග්‍රීසි පාලකයන් විසින් කඩා දැමූ බවත්, එකී ඓතිහාසික කාර්යය සඳහා යොදාගත් පුටුව සහ මේසය තිබෙන ස්ථානය තමන් සඳහන් නොකරන්නේ එයද කිසියම් පාර්ශ්වයක් විසින් නුවරින් පිටට රැගෙන යාදෝයැයි යන සැකය නිසා බවත් වලිසුන්දර මහතා ප්‍රකාශ කළේය.
තොරතුරු මූලාශ්‍ර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මුද්‍රණය කළ ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා විසින් සංස්කරණය කරන ලද පළමු නිදහස් අරගලය ප්‍රත්‍යවලෝකනය ග්‍රන්ථය ඇසුරෙනි.
ජේ.ඒ.එල්. ජයසිංහ