2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

මඳසරු වුණත් දරුවන් හදන්න පුළුවන්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2728

මඳසරුභාවය කියන්නේ අද වනවිට බහුලවම කතාබහට ලක්වන මාතෘකාවක්. බටහිර රෝහල්වලට වගේම ආයුර්වේද රෝහල්වලටත් මඳසරුභාවයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවත් එන්න එන්නම වැඩිවෙලා තියෙනවා.

බටහිර ප්‍රතිකාර වගේ නෙමෙයි, මඳසරැභාවය සඳහා ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී අප වෙත පැමිණෙන යුවළගේම එම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු කෙරෙහි අපි අවධානය යොමුකරනවා. ඒ වගේම ප්‍රතිකාර කටයුතු සිදුකරන්නේත් මේ දෙදෙනාටමයි. මෙවැනි ප්‍රතිකාර කිරීම්වලදී ගොඩක් ගැඹුරට හිතලා බලලා කටයුතු කරන නිසා ඇත්තටම මම හිතනවා බටහිර ක්‍රමයට වඩා ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම ඒ කාලේ ඉඳලම බොහෝ සෙයින්ම දියුණුයි කියලා මෙම රෝගය සඳහා ප්‍රතිකාර කරන්නට.

ඒ අනුව ආයුර්වේදයේ පුරුෂ වන්ද්‍යත්වය කියන එක හඳුන්වලා තියෙනවා. ඒ පුරුෂ වන්ද්‍යත්වයට හේතුවන ධාතු ක්ෂීණතා හා අනෙකුත් පුරුෂයාගේ ඒ බීජවලට හේතුවන ධාතු හොයාගෙන ඒවාට ප්‍රතිකාර කරන ක්‍රම දක්වලා තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට ඇතිවිය හැකි සියලු රෝග තත්ත්වයන් ගැන ආයුර්වේදයේ සඳහන් කරලා ඒවාට ප්‍රතිකාරත් සඳහන් කරලා තියෙනවා.

දරුඵල නොමැතිකමින් විඳවන කාන්තාවෝ
පූර්ව සමාජයේ ඉඳලම දරැඵල නොමැතිකමට ඇත්තටම බැණුම් ඇහීම, පහත් කොට සැලකීම ආදී සියල්ලටම විඳවන්නට සිද්ධ වූයේ කාන්තාවන්ටයි. දරුවා හටගන්නේ කාන්තාවගේ ශරීරයේ නිසා එයාගේ සිරුරෙන් තමයි පිළිබිඹු වන්නේ දරුවෙක් ඉපදෙනවාද නැද්ද කියන එක. ඒ නිසා කාන්තාවන් මෙතනදී මහත් අපහසුතාවයකට ලක්වෙනවා. ඉන්දියාවේ පවා බමුණු මතවලට අනුව කාන්තාවන් එතරම් ගණන් නොගත්තත් ආයුර්වේදයේ කියලා තියෙනවා මේ සඳහා පුරුෂයාගේ තත්ත්වයන් හා ස්ත්‍රීන්ගේ තත්ත්වයන් යන දෙකම හේතුවෙනවා කියලා.

නිරෝගී දරු උපතක් සඳහා
ආයුර්වේදයේ විශේෂයෙන්ම සඳහන් වෙනවා දරුවෙක් සකස් වෙන්න නම් සාධක හතරක් සම්පූර්ණ විය යුතු බව. ඍතු, ක්ෂේත්‍ර, අම්බු සහ බීජ කියන්නේ ඒ හතරයි. මේ හතර නියම කාලයකදී නිරෝගීව එකතුවෙන්න ඕනෙ නිරෝගී දරු උපතක් සිදුවීමට.
මේ අතරින් ඍතුව කියලා කියන්නේ සරුකාලයයි. කාන්තාවකගේ තියෙන සරුකාලය අපිට ගණන් ගන්න පුළුවන්. ඒක තමයි වැඩි වශයෙන් කතා කරන්නේත්. අනෙක් එක අවුරුද්දේ තිබෙන කාලවකවානුත් මේකට හේතු වෙන්න පුළුවන් කියලත් කියනවා.
ක්ෂේත්‍රය කියන්නේ දරුවා සැකසෙන්නට අවශ්‍ය වන ක්ෂේත්‍රයයි. ඒ කියන්නේ ගර්භාෂයයි. ඒ අනුව ගර්භාෂයක් නීරෝගීව තිබිය යුතුයි. අම්බු කියන්නේ මෙලෙස සැකසුණු දරුවාට පෝෂණය ලබාදෙන ආකාරයයි. එසේම බීජ කියන්නේ කාන්තාව හා පිරිමියාගේ යන දෙදෙනාගේම බීජවලටයි. ඒ කියන්නේ කාන්තාවන්ගේ ඩිම්බ හා පිරිමින්ගේ ශුක්‍රාණුයි. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මේ සෑම සාධකයක්ම නීරෝගීව තිබුණොත් පමණයි නීරෝගී දරුවකුගේ උත්පත්තියක් සිදුවන්නේ. එක් සාධකයක් හෝ යම් අඩුපාඩුවක් පැවතියහොත් හටගැනෙන දරුවා නීරෝගී නොවෙන්න පුළුවන්.

40 පැන්නත් හොඳ දරු සම්පත් තියෙනවා

කළලයක් තැන්පත්වීමට නම්
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයත් ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්භ කෝෂ යන කුමන හෝ අවයවයක යම් විකෘතිතාවයක් පැවතීම දරැවකු පිළිසිඳ ගැනීම කෙරෙහි ඍජුවම බලපානවා. ආයුර්වේදයේ සඳහන්වෙලා තියෙනවා ගර්භාෂයේ (පැලෝපීය නාල හා ඩිම්බ කෝෂ ඇතුළුව) යම් දෝෂයක් ඇත්නම් මඳසරැභාවය ඇතිවිය හැකියි කියලා.

අපේ සායන සඳහා ගර්භාෂයේ දෝෂ තිබෙන විශාල පිරිසක් සහභාගි වෙනවා. මෙහිදී අපි හඳුනාගන්නවා සමහර රෝග තත්ත්වයන් ඖෂධීය ප්‍රතිකාර මගින් සුවකරන්න හැකියාවක් නෑ. ඒවා ශල්‍ය සාධ්‍ය අවස්ථා. ඒ වගේම ශල්‍ය සාධ්‍යත්, ඖෂධ සාධ්‍යත් නොවන අවස්ථාත් තියෙනවා. ඒ අයට කොහොමවත් දරුඵල හිමිකර ගැනීමේ අවස්ථාව නෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕනෙ ඉහත අපි සඳහන් කළ අවස්ථා හතර හරියටම මේ අයට සකස් කරලා දෙන්න පුළුවන්ද, ශල්‍ය සාධ්‍ය අවස්ථා මොනවාද, ශල්‍ය සාධ්‍යය, ඔෂධයයි නොවන සුවකරගත නොහැකි අවස්ථා මොනවාද කියලා.

කර්මජ හේතු
ශල්‍ය සාධ්‍ය හෝ ඖෂධ සාධ්‍ය මගින් දරුඵල ලබාගත නොහැකි අවස්ථා ආයුර්වේදයේදී හඳුනාගෙන ඇත්තේ කර්මජ හේතු ලෙසයි. ඉන්ද්‍රියයන්ගේ යම් යම් විකෘතිතා ඒ සඳහා හේතුවන බවත් සඳහන්වෙලා තියෙනවා.

සරුකාලය හඳුනාගන්න
ඍතු එහෙමත් නැත්නම් සරැකාලයද දරුවකු හට ගැනීම සඳහා බලපාන වැදගත් සාධකයක්. මෙහි යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් එය සංසේචනය කෙරෙහි ඍජුවම බලපානවා. බටහිර වෛද්‍ය ක්‍රමයේ නම් ඩිම්බ මෝරන්න එක බෙහෙතකුයි පිටවෙන්න තව බෙහෙතකුයි ආදී වශයෙන් ඖෂධ ලබාදෙනවා. ආයුර්වේදයේත් ඩිම්බ මේරීම සඳහා ඉතාම හොඳ ඖෂධ තියෙනවා. මෙහිදී අපි හැමකෙනාටම ලබාදෙන්නේ එකම බෙහෙත නෙමෙයි. ඒකයි බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අතර තියෙන වෙනස.

බටහිර ප්‍රතිකාරවලින් ප්‍රතිඵල නොලැබුණ අයත් එනවා

අපේ ප්‍රතිකාරවලදී වා, පිත්, සෙම් කියන ත්‍රිදෝෂ අනුව තමයි මෙම තත්ත්වයන් හඳුනාගන්නේ. වාත ප්‍රකෘතිතයෙන්ද, පිත්ත ප්‍රකෘතිතයෙන්ද එහෙමත් නැත්නම් කප ප්‍රකෘතියෙන්ද කියලා හොයලා බලනවා. සමහරු එන්නේ ඇඟ උෂ්ණය ඇඟ නිවෙන්න බෙහෙත් ගන්න කියලා. එහෙම නෙමෙයි සමහරුන්ට හොඳටම සෙමයි හතියයි තියෙනවා. නමුත් ඇඟ උෂ්ණයි කියලා විතරක් බෙහෙත් දීලා හරියන්නේ නෑ. එයාට මොන ප්‍රකෘතියද කියලා සොයා බලලා, එයාගේ අර තත්ත්ව හතර ගැන සොයා බලලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරන්න අපි ලෑස්තිවෙලා ඉන්නවා. දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ආයුර්වේදයේ සඳහන්ව ඇති නිධානවලට අනුකූලවයි අපි කටයුතු කරන්නේ. ඉතින් මේ කාරණයේදී අපි විශාල වෙහෙසක් දරලා අපි වෙත පැමිණෙන රෝගීන්ගේත් බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නට කටයුතු කරනවා.
ඇත්තටම අප වෙතට එන සමහර යුවළවල්වලට ඍතු කාලය පිළිබඳව අවබෝධයක් නෑ. ඒ ගැන අපි ඒ අයව දැනුම්වත් කරනවා.

ඖෂධීය ප්‍රතිකාර
වන්ද්‍යත්වයට ප්‍රතිකාර කිරීමේදී අප වෙත එන රෝගීන්ට චූර්ණ, ගුලි, කල්ක ආදිය ලබාදෙනවා. ඒ වගේම වික්‍රමාරච්චි ආයුර්වේදයේදී විශේෂයෙන්ම මේ සඳහා සුදුසු කසායන් අපි රෝගීන්ට ලබාදෙනවා. එම කසාය වර්ග නිසා විශේෂ ප්‍රතිඵලත් අපිට ලැබිලා තියෙනවා. මෙම ඖෂධ හරහා ඩිම්බ මේරීම නිසියාකාරව සිදුකර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපේ ඖෂධවලින් හරියට ඍතු කාලය සොයාගෙන එය නිවැරදි ආකාරයට සකස් කරදීම සිදුකරනවා.

මාසය පුරාවටම ඔසප් පවතිනවාද?
අපේ සමහර කාන්තාවන්ට මාසය පුරාවටම ඔසප්වීම පවතිනවා. මෙය ක්ෂේත්‍ර දෝෂයක් නිසා හටගත්තක් විය හැකියි. ඉතින් ඒ රෝගී අවස්ථාවන් පිළිබඳවද සොයාබලා ප්‍රතිකාර සිදුකළ යුතුයි.

ගර්භාෂ විකෘතිතා
ප්‍රතිකාර සඳහා අප වෙත එන ඇතැම් කාන්තාවන්ගේ සමහර වෙලාවට ගර්භාෂයේ පිහිටා තිබෙන්නේ එක් පැත්තක් පමණයි. එහෙමත් නැත්නම් ගර්භාෂය දෙකට බෙදිලා තියෙනවා. සමහර අයගේ ඩිම්බකෝෂ නෑ. මේ සෑම දෝෂයක්ම ආයුර්වේදයේදී ගැනෙන්නේ ක්ෂේත්‍ර දෝෂ යටතටයි. ඒ දේවල්වලින් සමහර දේවල් ශල්‍ය සාධ්‍යයි. සමහර දේවල් අපිට කොහෙත්ම ප්‍රතිකාර කරලා සුවකරන්න බෑ. ඖෂධ සාධ්‍ය අවස්ථාවට කරන්න පුළුවන් ප්‍රතිකාර අපි කරනවා.

කළලයට පෝෂණය
දරුවකු හටගැනීමට අදාළ පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. ඒ සඳහා අපි ප්‍රතිකාර කටයුතු කරනවා. දරුවකු හටගැනීමෙන් පසු එම දරුවා වැඩෙන්නටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. අපේ ආයුර්වේද ප්‍රතිකාරවලදී ගුලි, කල්ක, කසාය යන මේ ඖෂධ මාර්ගයෙන් ගර්භාෂයේ පෝෂණය එනම් අම්බු හරියාකාරව ලැබෙන පරිදි සකස්කර දෙන්නට අපි කටයුතු කරනවා.

බීජ දෝෂ
සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට ගියාම කියන්නේ ඩිම්බ මෝරන්නේ නෑ කියලා. අපි ළඟට එන සමහර අය දෙතුන් සැරයක් නළ බබාලා හදන්නට උත්සාහ කරලා එය අසාර්ථක වෙලත් තියෙනවා. තවත් සමහර අයට කියලා තියෙනවා කොහොමවත් බබාලා හරියන්නේ නෑ කියලා. නමුත් අපෙන් ප්‍රතිකාර කරලා දරු පිළිසිඳ ගැනීම් සිදුවුණ අය ඉන්නවා. මෙම ප්‍රතිකාර අසීරු වෙන්න පුළුවන්. සමහරු අවුරුද්දක් විතර කසාය බීලා ඩිම්බවල තිබෙන දෝෂ සහගත තත්ත්වයන් ඉවත් කරගෙන දරුවන් ලබාගැනීමට වාසනාවන්ත වෙනවා.

ඇත්තටම බටහිර ක්‍රමයට අනුව නළ බබාලත් හදලා ඒකත් අසාර්ථක වෙලා පසුව හෝ මෙම ප්‍රතිකාර හරහා දරැවකු ලබාගන්නවා කියන්නේ සතුටට කරුණක්. අපි සල්ලි හම්බකරන්නට පෙළඹුණ කණ්ඩායමක් නෙමෙයි. වික්‍රමාරච්චි වෛද්‍ය ක්‍රමයේ හැටියට ඇත්තටම අපිට උගන්වලා තියෙන්නේ එළියේ ඉන්න ලෙඩාට නෙමෙයි ඇතුළේ ඉන්න ලෙඩාට ප්‍රතිකාර කරන්න. එයා එක්ක කතාකරලා හරියටම එයාගේ ප්‍රශ්නය හඳුනාගෙන ප්‍රතිකාර කරන්න කියලා. ඉතින් මෙහිදී අපිට තියෙන සතුට තමයි අර දරු පිළිසිඳ ගැනීමේ කටයුත්ත හරියටම සිද්ධවීම. ඒ නිසා මුල ඉඳලම අපි දෙදෙනාවම පරීක්ෂා කරලා දෙදෙනාගේම බීජ දෝෂ ඒ කියන්නේ ශුක්‍රාණුවල මොනවා හරි අඩුපාඩුකමක් තියෙනවාද ඩිම්බවල මොනවා හරි අඩුපාඩු තියෙනවාද කියලා හොයලා බලනවා. විශේෂයෙන්ම පුරුෂයින්ගේ ශුක්‍රාණුවල චලන හැකියාව, ශුක්‍රාණු ප්‍රමාණය, ශුක්‍රාණු සාන්ද්‍රණය, ශුක්‍රාණු නොපිහිටීමට අමතරව වාෂණ කෝෂවල රෝග අවස්ථාවන් කෙරෙහිද අවධානය යොමුකරලා ඒ සඳහාත් ප්‍රතිකාර කටයුතු කරනවා.

PCOD රෝගය නිසා දරැවන් අහිමිද?
කාන්තාවන්ට දරුවන් නොලැබීම සඳහා බලපාන වර්තමානයේ සුලභවම සාකච්ඡා කරන රෝගයක් තමයි PCOD පොලිසිස්ටික් සිවේරියස් ඩිසීස් කියන්නේ. මෙම රෝගී අවස්ථාවේදී ඩිම්බකෝෂවල වතුර බිබිලි වැනි ස්වභාවයක් දක්නට ලැබෙනවා. අපි ස්කෑන් පරීක්ෂණ මගින් මේවා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අප සතුව තිබෙනවා.

ඇත්තටම හරි වෛද්‍යවරයෙක් නම් දක්ෂ වෙන්න ඕනෙ. ඒ වගේම අපේ ගුරුවරුන්ගෙන් නිවැරදි ආකාරයට ප්‍රායෝගික දැනුම ලබාගත් කෙනෙක් වෙන්න ඕනෙ. ඊට අමතරව ලෙඩ්ඩු දැකලා දැකලා පළපුරුද්ද ඇතිකරගෙන තියෙන්නත් ඕනෙ. එම වෛද්‍යවරයාගේ සිත, කය, වචනය පිරිසුදුව තියෙන්න ඕනෙ.
දරුඵල නොමැති වීම කියන මේ මාතෘකාවේදී යම් මුදලක් හරි හම්බ කරගන්නවාට වඩා අපි ඉහළම මානසික වින්දනයක් ලබන්නේ අප විසින් ප්‍රතිකාර කරලා හදාගත් දරුවන් ගෙනැල්ලා අපිට පෙන්වන විටයි. අනෙක් එක දරුවෙක් ලබන්න බැහැම කිව්ව අයටත් අපේ ප්‍රතිකාර හමුවේ දරුඵල උදාවෙලා තියෙනවා. ඔය පදනම මත හිඳගෙන තමයි අපි ආයුර්වේදයේ දරුඵල නැති අයට දරුඵල ලබාදෙන්නට කටයුතු කරන්නේ.

ඔබ තවමත් ප්‍රමාද නෑ
ආයුර්වේදයේ එක් එක් ඉගැන්වීම්වලට අනුව කාන්තාවන් සඳහා විවාහ වන වයස දක්වලා තියෙන්නේ බොහොම අඩු වයසක් ලෙසටයි. ඇතැම් ඒවායෙහි වයස අවුරුදු 12, තවත් ඒවායෙහි වයස අවුරුදු 16ද දක්වා තිබෙන අතර ගර්භණීභාවය සඳහා සුදුසු වයස ලෙස දක්වා ඇත්තේ වයස අවුරුදු 16න් පසුවයි. නමුත් වර්තමානයේදී නම් අපි ළඟට ගොඩක්ම එන්නේ අවුරුදු 40ත් පැනපු අයයි. ඉතින් අපි හැමවිටම උත්සාහ කරනවා මේ අයට අපගේ ආයුර්වේද ප්‍රතිකාර හරහා නිරෝගී දරු උපතක් ලබාදෙන්නට.

විවාපත් යුවළකගේ ඊළඟ අපේක්ෂාව වන්නේ දරැ සම්පතක් ලබාගැනීමයි. එහෙත් විවාහ වන ඇතැමකුගේ මේ සිහිනය බොඳව යන්නේ මුළු ජීවිතයම දුක් කන්දරාවක් බවට පත්කරමිනි.

දරුවන් නොමැතිවීම යන කාරණයේදී විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට ඇඟිල්ල දිගුකෙරෙන අතර සමාජයේ වැඩිදෙනා අතර පැවතුණු මතයක් වූයේද දරුවන් නොමැත්තේ කාන්තාවකගේ පවතින දුර්වලතාවයන් නිසා බවය. මේ හේතුව නිසාම ඇතැම් පුද්ගලයින්ගේ පවුල් ජීවිත පවා බිඳවැටීම් සිදුවුවද වර්තමානයේදී එම තත්ත්වය යම්තාක් දුරකට හෝ මගහැරී ඇත්තේ ස්ත්‍රී, පුරැෂ යන ඕනෑම පාර්ශ්වයකගේ දුර්වලතාවයක් නිසා මෙය සිදුවිය හැකි බවට වෛද්‍ය මත ප්‍රචලිත වීමත් සමඟය. අද අපේ වෙදකමෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට යොදාගත්තේ මෙම ගැටලුවට මුහුණ දෙන විශාල පිරිසකට යම් දැනුම්වත් බවක් ලබාදීමේ අරමුණෙනි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කෞමාරභෘත්‍යය සහ ස්ත්‍රී රෝග අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය එච්.වී. වක්කුඹුර මහත්මියයි.

 හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00