2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

පාසල් නමින් එළියට එන අන්තර්ජාලයේ සෙල්ලම්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

පියගැට පෙළක් අතර වූ ස්ථානයකි. අවට පසුබිමේ සමර ඇතිරූ බිත්තියකි. එහි පාමුල යොවුන් වියේ පසුවන දැරියන් දෙදෙනකු සහ යොවුන් වියේ පසුවන දෙදෙනෙකි. යුවළ වශයෙන් ඉන්නා ඔවුන් පෙනුමට පාසල් පෙම්වතුන්ය. එක් යුවළක් බිත්ති දෙක එක්වන මුල්ලේය. අනෙක් යුවළ ඊට තරමක් පසෙකය. දුටු පමණින්ම ඔවුන්ගේ හැසිරීම විනය විරෝධීය. අශෝභනය.

විටින් විට ඔවුන් අසලින් දිවයන පාසල් දරුවන් කීප දෙනෙකි. ඔවුන් සැරසීගත් ඇඳුම් ආයිත්තමයන්ගෙන් පාසලක නම හඳුනාගත හැකිය. මෙම පෙම් යුවළ දෙක ජංගම දුරකථනයක වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් පටිගත කරනා කීප දෙනෙක් පියගැට පෙළ ඉහළින් රැඳී සිටිති.

මේ දැක්වූයේ කොළඹට නුදුරු මිශ්‍ර පාසලක දරුවන් කීප දෙනෙකු අශෝභන ලෙස හැසිරෙන දර්ශනයකි. මෙය ඉකුත් දින කීපයේදී අන්තර්ජාල වෙබ් අඩවි කීපයකම සංසරණය වීම නිසා ඒ පිළිබඳ සමාජයේ විශාල කතිකාවක් ඇතිවිය.
මෙකී වීඩියෝ පටය අන්තර්ජාලය භාවිත කරන පිරිස ඉක්මවා සාමාන්‍ය ජනතාව අතරට යොමුවූයේ ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාළිකාවක විනාශය කළ ප්‍රවෘත්ති වැඩසටහනකින් ඒ පිළිබඳව හෙළිකිරීම නිසාය. වීඩියෝ දර්ශනයට අනුව එහි සිටින පාසල් පෙම්වතුන් පැහැදිලිව දකින්නට හා හඳුනාගන්නට හැකිය. ඔවුන්ගේ හැසිරීම පාසල් බිමකට කිසි ලෙසකින් හෝ නොගැළපෙන තත්ත්වයේ විය. එකී ප්‍රේමාලිංගන දර්ශනයට පාසල් නිල ඇඳුම් භාවිත වී තිබීම නිසා එය අදාළ පාසලට විශාල අපකීර්තියක් වන බව පැහැදිලි විය. කෙසේ වුවද ඊට අයත් පාසල සම්බන්ධයෙන් යමක් පැවැසීම උචිත නැත. සිසු සිසුවියන් කීප දෙනෙකුගේ විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් විදුහලක කීර්තිනාමය පලුදු විය යුතු නැත.

නව යොවුන් වියේ දරුවන් ආශ්‍රිත පරිසරයක පාසල් ප්‍රේමය සාමාන්‍ය දෙයකි. ඒ අනුව තරුණ තරුණියන් දෙපාර්ශ්වයේ ආකර්ෂණයට ලක්වීම ගැටලුවක් නොවේ. ඒ ඔස්සේ උද්දීපනය වන යොවුන් හැඟුම් පාලනය කරගත හැකිවී නම් මෙම වීඩියෝ පටය සමාජගත නොවන්නට ඉඩ තිබුණි. 

කෙසේ වුවද මෙවැනි දරුවන් හා පාසල් පරිශ්‍රය තුළ ළමයින් විසින් පටිගත කර ඇති බවට සැකකෙරෙන දර්ශන ඇතුළත් වීඩියෝ පට අන්තර්ජාලයට යොමුකළ පළමු අවස්ථාව මෙය නොවන බවය. එවැනි විවිධාකාර වීඩියෝ පට ෆේස්බුක් තුළද හුවමාරු වෙමින් පවතී. ඒවා බොහොමයක් විනෝදය පිණිස එක්කළ ඒවා බවද නමුත් සමහරුන් දැන හෝ නොදැන කිසියම් රසාස්වාදයක් වින්දනයක් ලබාගැනීම සඳහා අන්තර්ජාලයට මුදාහැර ඇති බව දක්නට තිබේ. නමුත් මෙහි අවාසනාව නම් මෙවන් වීඩියෝ දර්ශන ඇතැම් විට තාක්ෂණිකව සකසා විදුහලකට හෝ සිසු සිසුවියන්ට හෝ හානි කිරීම පිණිස ඒවා යොදාගත හැකි වීමය. කෙසේ වුවද පාසලක් තුළදී විනය විරෝධී හැසිරීම් වල නොයෙදී සිටීම තුළින් මෙවැනි අවස්ථා මඟහරවා ගත හැකිය. යොවුන් ආදරය තුළ පාසල් ප්‍රේමය තහනම් නොවූයෙන් ඒ ආශ්‍රයෙන් නිර්මාණය වූ සාහිත්‍ය කෘතිද තිබේ. “ගොළු හදවත” චිත්‍රපටය එවැනි පාසල් ප්‍රේමය උද්දීපනය කළ කෘතියකි. එහි දැක්වෙන දම්මි-සුගත් ආදර අන්දරය ප්‍රේමනීය ලෙස නිර්මාණය කොට තිබිණි. ඒවායෙන් පෙන්වන විනීත බව සංයමය වර්තමාන පරපුරේ දරුවන් තුළ දැකිය නොහැක. ඔවුන් තුළ ඉවසීම, ලැජ්ජා බිය නොතිබීම මෙවැනි සිදුවීම්වලට පාර කපන බව නොරහසකි.

ඉහත කී දර්ශනවලින් පෙනී යන්නේ අද පරපුරේ ඇතැම් දරුවන්ගේ නොගැලපෙන ක්‍රියා කලාපයන්ය. මෙය අනාගත පරපුර සම්බන්ධයෙන් උද්ගත වන අර්බුදයක් බව හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම අවශ්‍යය. අවවාද, අනුශාසනා ලබාදී නව යොවුන් වියේ පසුවන දරුවන් නිවැරුදි මගට යොමුකරවාගත යුතුය. අදාළ වීඩියෝ පටයේ පෙනුමින්ම එම දරුවන්ගේ විනය පිරිහී ඇති බව ගම්‍ය වුවද සමාජයේ අසන දකින දෑ ආශ්‍රයෙන් ඔවුන් මේ තත්ත්වයට පත්ව සිටින්නට ඇති බවත් මෙය වීඩියෝ ගතකොට අන්තර්ජාලයට මුදාහැරි සිසුවා සිසුවිය හෝ පුද්ගලයා හෝ සොයාගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවත් සමහරු කියති.

වර්තමානයේ විවිධාකාර තාක්ෂණික මෙවලම් නිර්මාණය වී තිබීම නිසා අද කුඩා දරුවන් පවා මෙකී නව තාක්ෂණය පිළිබඳව දැනුවත්ය. ජංගම දුරකථනය ඔවුන්ට මෙන්ම ඕනෑම කෙනකුට සාමාන්‍ය උපකරණයකි. එහි ඇති පහසුකම් අතර කැමරාව පිළිබඳව බොහෝ දෙනාගේ දැනුම අප්‍රමාණය. ඒ ඔස්සේ ඡායාරූප මෙන්ම වීඩියෝ පටිගත කිරීමක් සාමාන්‍යකරණය වී ඇත. නමුත් ඒවා නීතියට අදාළව භාවිත කිරීමේ දැනුම ඔවුන්ට නැත. මේ හේතුවෙන් ළමයි මිශ්‍ර පාසල්, කාන්තා පාසල්, පිරිමි පාසල් භේදයකින් තොරවම ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික මෙවලම් පාසල් භූමියට රැගෙන යාමට පුරුදුව සිටිති. එමගින් පටිගත කළ බවට සැක කළ හැකි බොහෝ රූපරාමු අන්තර්ජාලයේ ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් මීට වසර ගණනාවකට පෙර මෙකී තාක්ෂණයක් අත් විඳින්නට නොවීය. ඒ නිසා එවකට පාසල් පද්ධතිය තුළ මෙවැනි සිදුවීම් තිබුණද ඒවා එළියට ආවේ නැත.

පාසල් දරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන් පාසල තුළ ගත කරන්නේ දිනකට උපරිම පැය හයක් පමණය. මේ කාලයේදී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මගින් ඔවුනට ආරක්ෂාව සැපයිය යුතුය. අවශ්‍ය අවවාද අනුශාසනා මෙන්ම අකටයුතුකම් හෝ අතපසුවීම්වලදී අවවාද උපදෙස් මෙන්ම දඬුවම්ද ලබාදීම ඔවුන්ගේ රාජකාරියයි. ඒ සියල්ල පසුපස තිබිය යුත්තේ දරුවන් යහමගට ගැනීමේ අරමුණයි. ඉන් පරිබාහිරව දරුවන් වැඩි වේලාවක් ගැවසෙන්නේ මවුපියන් යටතේය. මේ නිසා ගෙවල් දොරවල්, යාන වාහන මුදල් පසුපසම හඹා නොයා දරුවන්ගේ හැසිරීම සම්බ්නධයෙන් මාපියන්ද අවධානය යොමුකළ යුතුය. මෙහිදී වැඩිහිටියන් වෙත පැවරෙන්නේද එවැනිම වගකීමකි. නවීන තාක්ෂණය භාවිත කිරීමේදී එහි අවශ්‍යතාවය හා සීමාව දැනගත යුතුය. එය ස්වයං පාලනයකට ලක්කර ගන්නට තමුන් සමත්විය යුතුය.

පෙර සඳහන් කළ වීඩියෝ පටයේ සිටි දරුවන්ටත් ඔවුන්ග් ගුරු දෙගුරුන්ටත් මේ වනවිට සිද්ධිය ගැන අවබෝධයක් ඇති බව සිතිය හැකිය. සිද්ධියට මූලික වී සටියේ යොවුන් දරුවන් සිව් දෙනෙකි. යම් වරදක් සිදුවී ඇති බව සැබෑමුත් පාසලේ කීර්තිනාමයද ආරක්ෂා කර ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය. එහිදී අදාළ දරුවන්ගේ අනාගත ආරක්ෂාව සහ අධ්‍යාපනය ලැබීමේ අයිතියද ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමද අවශ්‍ය වනු ඇත.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර