2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ප්‍රාන්ත 5ක් මෝදි පරාදයි!

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත තුනක පැවති මැතිවරණ වලින් බලය මෙවර හිමිවූණේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂයටය. ඒ අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දරුණු පසුබෑමකට ලක්විය. ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ චත්තිස්ගාර් යන ප්‍රාන්ත මැතිවරණ වලින් ජය ගනිමින් එම ප්‍රාන්ත තුනේම පාලන බලය හිමිකර ගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හැකිවී තිබේ.

ඉන්දීය ජනගහණයෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මෙම ප්‍රාන්තවල වීම විශේෂත්වයකි. රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල සියයට 50කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් කොංග්‍රස් පක්ෂයට හිමිව ඇති අතර චත්තිස්ගාර් ප්‍රාන්තයේදී එම ප්‍රතිශතය සියයට හැත්තෑ පහක් ලෙස සටහන් විය.

ලබන වසර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඉතා දුෂ්කර වසරක් වනු ඇතැයි මේ ප්‍රතිඵල ගැන අදහස් දක්වමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි කියා  තිබේ. මෙය ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය, භාරතීය ජනතා පක්ෂයට පහසු කාර්යයක් නොවනු ඇති බව කියාපාන ප්‍රධාන සාධකයක් බවද රාහුල් ගාන්ධි කියා ඇත. නරේන්ද්‍ර මෝදිගේ පාලනයෙන් ජනතාව අසතුටට පත්ව ඇතැයි පැවසූ රාහුල් ගාන්ධි, අග්‍රාමාත්‍යවරයා දූෂණයට එරෙහිව සටන් කරනු ඇතැයි සිතා ඔහුව තෝරා පත්කරගත් ජනතාව දැන් අග්‍රාමාත්‍යවරයාද දූෂිත අයකු යැයි සිතන තත්ත්වයට පත්ව ඇතැයිද ප්‍රකාශ කර ඇත.

ප්‍රාන්ත පහක පැවති මෙම ප්‍රාන්ත සභා මැතිවරණයේ තෙලංඟානා ප්‍රාන්තයේ ආසන බහුතරයක් දිනා ගැනීමට තෙලංඟානා රාෂ්ට්‍ර සමිති පක්ෂය සමත් වූ අතර මිසො ජාතික පෙරමුණ මිසොරාම් ප්‍රාන්තයේ වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් විය.

මෝදි බලයට පත්වීමෙන් පසුව අත්විඳි දරුණුම පසුබෑම මෙය බව මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම ලබන වසරේදී එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක කොංග්‍රස් පක්ෂයේ මෙම නැගී ඒම බරපතළ  කාරණයකි. මෝදිගේ රජය ග්‍රාමීය ප්‍රදේශ සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත එම පක්ෂයේ පසුබෑමට හේතුවී ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි. මේ අතර කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවෝ එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී ජයග්‍රහණය සැමරෑහ.