
මිහිමත දැකිය හැකි ලොකුම වාහන තදබදය පවතින්නේ ලක්සම්බර්ග්වලය. එනිසා එහි නව අගමැති ක්ෂේවියර්, මුළු ලෝකයටම ආදර්ශයක් දෙමින් පරිසර හිතකාමී ලෙස මේ තදබදය හසුරුවා ගැනීමට අලුත් වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබේ. එනම් ලබන ගිම්හාන සමයේ පටන් ලක්සම්බර්ග් රාජ්‍යයේ දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් ගාස්තු සියල්ලම කපා හැරිමට ගත් තීන්දුවයි. ඒ අනුව රට තුළ ප්‍රවාහන පහසුකම් සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලයේ සිය ජනතාව වෙත ලබාදෙන ලෝකයේ ප්‍රථම රාජ්‍යය බවට ලක්සම්බර්ගය පත්වනු ඇත.
පසුගියදා නැවතත් අගමැති ධූරයට පත්වූ ක්ෂේවියර් බෙටෙල්සි මැතිවරණ පොරොන්දුවක් පරිදි පරිසරයට මුල් තැනදී කටයුතු කිරීමේ අරමුණින් ගත් මෙම පියවර සමගම අගනුවර වාහන තදබදය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනු ඇත. මෙම තීරණයත් සමඟ පුද්ගලික වාහනවල යන පිරිසද පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට පොළඹවනු ලබන අතර, එමගින් රට තුළ පොසිල ඉන්ධන දහනය අඩු කෙරෙනු ඇත.

ලක්සම්බර්ගය යුරෝපයේ කුඩාම රාජ්‍යයකි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර 2590 කි. කොටින්ම ලංකාව මෙන් 25 ගුණයක් කුඩාය. වෙනත් ආකාරයකින් කියන්නේ නම්, බොහෝවිට මේ රටේ වැඩිම දුරක් ගමන් කරන විට ගත වන්නේ පැය 2 කි. ඒ සඳහා දැනට සාමාන්‍යයෙන් යූරෝ දෙකක ගාස්තුවක් දැරීමට සිදුවේ.
ලක්සම්බර්ග්හි ජනගහනය ලක්ෂ 6ක් පමණි. ඒ අතරින් ලක්සම්බර්ග් සිටි අගනුවර 110,000 ක පමණ පිරිසක් ජීවත් වෙති. නමුත් තවත් ලක්ෂ 4ක් දිනපතා එම අගනුවරට ඇදී එන්නේ රැකියා සඳහාය. ඒ අනුව මෙම ‘පාවෙන ජනගහනය‘ (Floating population) ද සහිතව අගනුවර ජනගහනය ලක්ෂ 5 ද ඉක්මවයි. එයින් ද ලක්ෂ 2 ක් අසල්වැසි ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ආදී රටවලින් දිනපතා වැඩට එන අය වීමද විශේෂත්වයකි. මේ සියලු දෙනා රැගෙන එන වාහන තදබද වන්නේ ලක්සම්බර්ග් නුවර තුළය. නව අගමැති ක්ෂේවියර් ඉවත් කරන්නට යන්නේ මේ තදබදයයි.