
යූටියුබ් ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානය දිනාගත් අන්තර්ජාල සේවාවකි. ඒ ඔස්සේ සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවකු මේ වසරේ යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ. ඔහුගේ මුළු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 22 කි.
ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan Toys Review නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත. මෙම යූටියුබ් නාලිකාව මේ වනවිට බිලියන 26ක් නරඹා ඇත. රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ.
ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත.
රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොළේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ. වෝල්මාට් සුපිරි වෙළෙඳසල ‘රයන්ගේ ලෝකය (Ryan’s World)’ නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි. සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමඟ ලබන වසර වනවිට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan’s Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති.