2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ලෝකයම කතා කරන අමෙරිකාවේ 41 වැනියා ජොර්ජ් එච්.ඩබිලිව්. බුෂ්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

ඇමරිකාවේ 41 වැනි ජනපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් අවසන් ගමන් ගියේ ලෝකයේ ඉහළම ප්‍රභූ පිරිසකගේ පරිවාර ගෞරවය ලබමිනි. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු ඇතුළු ලෝක නායකයන් මෙන්ම වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළුව බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජීමි කාටර් යන හිටපු ජනාධිපතිවරුන් ද හිටපු නායකයන් රැසක් ද අභාවප්‍රාප්ත ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමෙරිකාවට පැමිණ සිටියහ. ඒ අතර වූ කැපීපෙනෙන අමුත්තා වූයේ සලී නමැති බුෂ්ගේ පරම හිතෛෂී මිතුරාය. ඇතැම් විට දේශපාලන ලෝකයේ මතු නොව සැබෑ ජීවිතයේ ද මෙතරම් හිතෛෂීවන්තයෙක් ඔහුට කිසිදා නොසිටින්නට ඇත.   

මේ වෙන කිසිවකු නොව බුෂ්ගේ අවසන් කාලයේ ඔහුගේ ළඟින්ම සිටි හමුදා සුනඛයාය. ඔහුට සමුදිය නොහැකිව බුෂ්ගේ දෙණ අසල වැතිරී නිදා සිටි සලී මාධ්‍යවල දැඩි කතාබහට ලක්විය.

මේ සුරතල් පෙනුමැති ලැබ්රඩෝරයා මනා සේ පුහුණු කළ අයෙකි. ඔහු බුෂ්ගේ පරම සේවකයා බවට පත්වන්නේ හමුදා සුනඛයකු ලෙසය. සලී යන නම ඔහුට යෙදුණේ එදා 2009 වසරේදී හඩ්සන් නදිය මතට ගුවන් යානාවක් ප්‍රවේශමෙන් ගොඩබස්වා ජීවිත 155ක් බේරාගත් ගුවන් නියමු චෙල්සි ‘සලී’ සලෙන්බර්ගර් සිහිපත් වීම පිණිසය. සලී දැන් දෙහැවිරිදිය. ජ්‍යෙෂ්ඨ බුෂ් වෙත ඔහුව සේවයේ යොදවා තිබෙන්නේ පසුගිය වසරක කාලය තුළය. ඒ කාලය තුළ බුෂ් ස්වාමියා වැඩි වශයෙන්ම සිටියේ රෝද පුටුවේය. සලීට අණ ලබාදුන් විට දොරවල් විවෘත කිරීම, හැඩවෙන ජංගම දුරකතනය ළඟට ගෙනැවිත් දීම වැනි වැදගත් රාජකාරි ද මනා සේ ඉටුකිරීමට පුළුවන. සලීට තමන්ගේම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් ද තිබේ. එහි නම, sullyhwbush ය.

අමෙරිකානු හිටපු ජනාධිපති ජොර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පියා වන අභාවප්‍රාප්ත ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්, 1989 වසරේ සිට 1993 වසර දක්වා කාලය තුළ අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි. ඔහුගේ පුත්‍රයා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයාය. ජොර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවැනි ලෝක යුද විරුවා ලෙස සැලකෙයි. දරුවන් පස් දෙනකුගේ පියකු වන ජෝර්ජ් බුෂ්ගේ බිරිඳ වූ බාබරා ද පසුගිය අප්‍රේල් 17 වැනිදා සිය දිවියෙන් සමුගත්තාය. සිය පියාගේ මරණයත් සමඟ ප්‍රකාශයක් නිකුත් කළ ජෝර්ජ් බුෂ් පවසන්නේ, ‘අතිවිශිෂ්ට තැනැත්තකු මෙන්ම පුතකුට හෝ දුවකුට ජීවිතයේ හමුවන විශිෂ්ටතම පියකු බවයි.’

මිල්ටන් හිදී ඉපදුණු ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ්ගේ පියා අමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයකු වූවේය. තරුණ බුෂ් සිය 18 හැවිරිදි වියේදී හමුදා සේවයට එක්වී දෙවැනි ලෝක යුද්ධයටද දායක වී තිබේ. එකල ගුවන් නියමුවකු ලෙස කටයුතු කළ බුෂ් ජපන් හමුදාව 1944දී එල්ල කළ ප්‍රහාරයක් හමුවේ මුහුදට ගොඩබා අසීරුවෙන් සිය ජීවිතය බේරාගැනීමට සමත් වූවේය. යුද බිමෙන් නික්මී 1945 වසරේ ජනවාරි 6 වැනිදා නැවත සිය නිවසට පැමිණියේය. ඉන් පසු, සාදයකදී නර්තනයේ යෙදෙන අතරතුර මුණගැසුණු බාබරා පියර්ස් සමඟ විවාහ වූ අතර ඔවුන් අමෙරිකන් ජනපතිවරුන් අතරින් දිගු කාලයක් එකට දිවිගෙවූ යුවළ ද විය. ඔහු යේල් විශ්වවිද්‍යාලයේ Skull and Bones සංගමයේ සාමාජිකයකු මෙන්ම බේස්බෝල් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අතර ටෙක්සාස් හි තෙල් සමාගමක රැකියාවක නියැළුණේය. ටෙක්සාස් හි ඛණිජ තෙල් ගවේෂණය කරන සමාගමක් 1951දී පිහිට වූ ජෝර්ජ් ඉන් වසර දෙකකට පසුව Zapata Petroleum නමින් තවත් සමාගමක් ආරම්භ කළ අතර කෙටි කලකින්ම මිලියනපතියකු බවට පත්වූවේය.

මුල්වරට හැරිස් හි රිපබ්ලිකන් කමිටුව වෙනුවෙන් තරග කළ ජෝර්ජ්ගේ ජයග්‍රහණය රිබබ්ලිකන් නායකයන්ගේ දැඩි අවධානයට ලක්විය.

1964දී ජනපති රි‘චඩ් එම්. නික්සන්ගේ වුවමනාව නිසාම සෙනෙට් මණ්ඩලයට තරග කළ ජෝර්ජ් රැල්ෆ් යාබොරෝ හමුවේ 43%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පරාජයට පත්වූවේය. නමුත් හූස්ටන් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1966දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරීපත් විය. අමෙරිකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංගමයට දායකත්වය ලබාදීමට 1971දී ඔහුට අවස්ථාව හිමිවූ අතර මේ සඳහා බුෂ්ට පවතින සුදුසුකම් එකල විවාදයටද බඳුන් වූවේය. රිචඩ් නික්සන් විසින් බුෂ්ව වෝටර්ගේට් සිද්ධිය ආරම්භක සමයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජාතික කමිටුවේ නියෝජිතයා ලෙස පත් කළ අතර පසුව නික්සන්ට ඉල්ලා අස්වීමට බල කළ පිරිස සමඟ ද ඔහු එක්වූවේය.

ජෙරාඩ් ආර්. ෆෝර්ඩ් ජනපති ධූරය දරන සමයේදී බුෂ්ව අමෙරිකාව වෙනුවෙන් චීනය නියෝජනය කිරීමට පත් කළේය. සෙනෙට් සභාව විසින් ජෝර්ජ් බුෂ් මහතා 1976දී ජනවාරි මස 27 වැනිදා C.I.A. ප්‍රධානියා ලෙස පත් කළේය. රොනල්ඩ් රේගන්ගේ ඉල්ලීම පරිදි 1980දී  උප අගමැති බවට පත්වන බුෂ් අමෙරිකානු ජනතාව අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. 1988දී අමෙරිකන් ජනපති ධූරයට පත්වූ බුෂ් – මයිකල් ඩකාකිස්ව පරාජය කිරීමට සමත් වූවේය. ආසන 426ක් දිනාගත් බුෂ් 54%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේය.

ලෝක පෙරළි කිහිපයකටම ඔහු මුල් විය. 1989 දෙසැම්බරයේදී බුෂ්ගේ උපදේශකත්වයෙන් පැනමා ආක්‍රමණය සිදුවිය. ගල්ෆ් යුද්ධය 1991දී ආරම්භ වූ අතර ඉරාක හමුදා ක්වේටය ආක්‍රමණය කිරීම වැළැක්වීමට 1991 ජනවාරි 16 වැනිදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කළේය. බුෂ් හා ගොර්බචොව් අතර න්‍යෂ්ටික අත්හදාබැලීම් සඳහා වූ  Strategic Arms Reduction සම්මුතියට 1991දී අත්සන් තැබුණි.

1990දී විශේෂ අවශ්‍යතාවලින් යුතු අය වෙනුවෙන් සුවිශේෂී පනතක් ගෙන ආ බුෂ්, එම Americans With Disabilities Act අත්සන් කිරීම මගින් ආබාධිතයන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් නවතාලිය යුතු බව පිළිගත්තේය. දකුණු ආසියාව සුනාමි විපතින් 2005 වසරේදී දැඩි හානියට පත්වීමත් සමඟ බිල් ක්ලිටන් සමඟ එක්වී ආපදාවට පත් තැනැත්තන්ට උදව් උපකාර කිරීමට එක්වූ ඔහු ලංකාවටද පැමිණීයේය.