
මෙම සියවස අවසන් වනවිට ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 3.2කින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි. මෙලෙස ගෝලීය උණුසුම ඉහළයාමට මුල්ව ඇත්තේ සෞදිඅරාබිය, ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමයට අයත් රටවල්, දකුණු කොරියාව, අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රියාකාරකම් බවට චෝදනා එල්ල කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ ගෝලීය උණුසුම ඉහළයාම වැළැක්වීමට ලොව දරන ප්‍රයත්න අසාර්ථක වෙමින් පවතින බවය. පෝලන්තයේදී දේශගුණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාව නිකුත් කළේය.
2017 වසරේදී වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය වාර්තාගත ලෙස ටොන් බිලියන 53.5ක් දක්වා ඉහළ යාමෙන් පසුව මේ අනතුරු ඇඟවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇත. මෙලෙස වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ, වසර 4කට පසුව බවද එම වාර්තාවේ සඳහන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම වාර්තාවට අනුව කාබන්ඩයොක්සයිඩ් වායුව, වායුගෝලයට මුසුවීම වැළැක්වීමේ ප්‍රයත්න අසාර්ථක වීමට හේතු වී ඇත්තේ ගෝලීය ආර්ථික වර්ධනයයි. මේ අනුව 2020 වසර වනවිට පැරිස් දේශගුණ එකඟතාවයේ අරමුණු සහ ඉලක්ක ඉටුකර ගැනීමට අපොහොසත් වනු ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව ගෝලීය උණුසුමේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 1.5ක මට්ටමේ පවත්වා ගැනීමට නම් වසර 2030 වන විට ගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය අදට වඩා 55%කින් අවම කර ගත යුතු වේ.