2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

අඟහරු ජනාවාස පළමු පියවර හරි!

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 307

ලෝකයේ සීතල යුද්ධයත් සමඟ ඇරැඹුණු අභ්‍යවකාශ තරඟය යොමුවූයේ සඳතරණය දෙසටය. අමෙරිකාවේ නාසා ආයතනය බිහිවූයේ මේ අරමුණ සෙසු ලෝකයාටත් කලින් ජය ගැනීමටය. අසූ ගණන්වලදී නාසා සිය ඉලක්කය හදිසියේම වෙනස් කළේය. ඔවුන්ගේ එල්ලය වූයේ අභ්‍යවකාශ ජනාවාසයක් සඳහා වඩාත් සුදුසු මහ පොළොවට සමාන අඟහරු ග්‍රහයා වෙතටය.

තවත් වසර 20-25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබීමට සුදුසු පරිසරයක් බිහිකිරීම නාසා ආයතනයේ අරමුණයි. ඒ සඳහා තැබූ මුල් පියවර සාර්ථකව නිම කිරීමට එහි විද්‍යාඥයෝ ඉකුත් සතියේ සමත්වූහ. ඉන්සයිට් නමැති රොබෝ යානය සාර්ථකව ගොඩබස්වනු ලැබීමත් සමඟය.

මෙම යානය අඟහරු ග්‍රහයාගේ භූ අභ්‍යන්තරය අධ්‍යනය කිරීම සඳහා අඟහරු වෙත ගොඩබස්වන ලද පළමු රොබෝ යානයයි. යානය ගොඩබස්වා මිනිත්තු කිහිපයක් ඇතුළත අඟහරු ග්‍රහයා මතුපිට ඡායාරූප එවීමට ඉන්සයිට් රොබෝ යානය සමත් විය. පසුගිය මැයි මාසයේදී කැලිෆෝනියාවෙන් අභ්‍යවකාශ ගතකළ මෙම ඉන්සයිට් මෙහෙයුම සඳහා අමෙරිකාව වැයකළ මුදල ඩොලර් බිලියනයකට ආසන්නය. මිනිසුන් රහිත මේ යානය නිර්මාණය සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 993 ක් වියදම්  කර තිබේ. මාස 6ක අභ්‍යවකාශ චාරිකාවකින් පසු රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත ළඟා වූ ඉන්සයිට් රොබෝව රැගත් යානය පෘථිවියේ සිට ගමන්කර ඇති දුර කිලෝමීටර් මිලියන 548කි.

පසුගිය 26දා යාන්තම් මිනිසෙකුගේ ඉණ තරමට උස ඇති මේ ඉන්සයිට් රොබෝ යානය අඟහරු වායුගෝලයට ඇතුළු වූයේ පැයට කිලෝමීටර් 19,795ක වේගයකිනි. මිනිත්තු 07 කට ආසන්න කාලයකදී එය අඟහරු පෘෂ්ඨය මතට ගොඩබැස්වීම සඳහා පැයට සැතපුම් 70 දක්වා වේගය අඩාල කරනු ලැබුවේ දැවැන්ත පැරෂූටයක ආධාරයෙනි. එහි පළමු පියවර ලෙස මේ වනවිට ‘ඉන්සයිට්’ විසින් රතු ග්‍රහයාගේ පළමු ඡායාරූපය ද පෘථිවිය වෙත එවා ඇත. ඉදිරියේදී රතු ග්‍රහයාව මාන 3කින් යුතුව සිතියම් ගත කිරීමට බලාපොරොත්තු වේ. ඉන්සයිට් රොබෝ යානය සාර්ථකව අඟහරු වෙත ගොඩබස්වන ලද 8 වැනි නාසා අභ්‍යවකාශ යානයයි. මෙතෙක් අඟහරු මත ගොඩබැස ඇත්තේ නාසා යානා පමණි. චීනය සහ ඉන්දියාව ද රතු ග්‍රහයාට කිට්ටු කර එය වටා ගමන් ගත්තා පමණි.

අඟහරු වෙත මිනිසුන් යැවීමේ මෙහෙයුම්වලට පෙර ක්‍රියාත්මක මෙම ඉන්සයිට් අභ්‍යවකාශ මෙහෙයුමට සමගාමීව 2020 වසරේදී රෝවර් යානාවක් අඟහරු වෙත ගොඩබැස්වීමට නාසා සැලසුම් කර තිබේ. මිනිස් ජනාවාස අඟහරු ග්‍රහයා මත ඇති කිරීමට පෙර  තාක්ෂණික සහ වෛද්‍යමය බාධක ගණනාවක් ජය ගත යුතුව ඇත. වසර 2030-2040 අතර කාලයේදී රතු ග්‍රහයා මතට මිනිසුන් යැවීමේ එම සිහිනයට පණ පෙවීමට පෙර ගමන්ගත් ඉන්සයිට් යානයේ ප්‍රධානතම අරමුණ, අඟහරැ ග්‍රහයා තුළ සැඟවී තිබෙන අබිරහස් අනාවරණය කර ගැනීමයි. එහිදී වසර බිලියන ගණනකට පෙර එය තැනුණේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ප්‍රධානය. ඒ අනුව පෘථිවිය වැනි වෙනත් පාෂාණමය ග්‍රහලෝක විශ්වය තුළ බිහිවූ ආකාරයද අවබෝධ කර ගැනීමට පිටිවහලක්  ලැබෙනු ඇත.

ඉන්සයිට් යානාව අඟහරු මතට ළඟාවන අතර හඳුනා නොගත් පියාඹන වස්තූන් හෙවත් පියාඹන පීරිසි ගැන වාර්තා කිහිපයක්ම එළියට ආවේය. ප්‍රධානම වාර්තාව අයර්ලන්තයෙනි. එදින අයර්ලන්ත වෙරළට ඉහළ අහසෙහි පියාඹන පීරිසි දුටු බව ගුවන් නියමුවන් කිහිප දෙනෙක්ම වාර්තා කළහ. අයර්ලන්ත ගුවන් බලධාරීන් සඳහන් කළේ, අධික එළිය විහිදුවමින් ඉතා වේගයෙන් චලනය වූ බවට වාර්තා වූ මෙම අද්භූත යානා පිළිබඳ විමර්ශන දැන් අරඹා ඇති බවය.