
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සක්විත්තා ලෙස හැඳින්වෙන සුපිරි නළු අමිතාබ් බච්චන් ප්‍රකෝටිපතියෙකි. ඔහුගේ ජල්සා නමින් හැඳින්වෙන නිවෙස පමණක් ඩොලර් ලක්ෂ 97ක් වෙයි. පෞද්ගලික එයාර් බස් ගුවන් යානයක්ද සතු ඔහු තමන්ගේ රටේ නැති බැරි උදවිය අමතක කළ සල්ලිකාරයෙක් නම් නොවේ. මේ නිසාම සිය උපන් ප්‍රදේශය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් 1398 දෙනෙකු විසින් රජයේ බැංකු වෙතින් ලබාගෙන තිබූ වගා ණය සිය පෞද්ගලික ධනයෙන් පියවා දැමීමට අමිතාබ් බච්චන් කටයුතු කර තිබේ. එය යුතුකම් ඉටු කිරීමක් ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි.
අදාළ ණය මුදල් ගෙවීම සඳහා ඔහු විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 05 ක මුදලක් වැය කර ඇත. එම ගොවීන් සියලු දෙනා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර එය අමිතාබ් භච්චන්ගේ උපන් ප්‍රදේශයයි. බෑන්ක් ඔෆ් ඉන්දියා නමැති ඉන්දීය රජයට අයත් බැංකුවෙන් ගත් ගොවීන්ගේ ණය තමන් පියවූ බව. බච්චන් සඳහන් කර තිබේ. සියලු ගොවීන් තමන් වෙසෙන මුම්බායි නගරය වෙත රැගෙන ඒම දුෂ්කර හෙයින් දුම්රියක් වෙන්කරවා ගොවීන් 70 දෙනෙකු ගෙන්වාගෙන ඔවුන් අතට සියලු බැංකු ලේඛන ලබාදීමට කටයුතු කරන බව ඔහු පවසයි. එම ගොවීන් ලබන සඳුදා (26) මුම්බායිහිදී බච්චන් හමුවීමට නියමිතය.
ඉන්දියාවේ ගොවීන් දහස් සංඛ්‍යාත පිරිසක් වගා ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර ණය ගෙවාගත නොහැකිව 1995 වසරේ සිට ගොවීන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් සියදිවි හානි කරගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබයි. 76 හැවිරිදි අමිතාබ් බච්චන් මීට පෙරද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ වගා ණය සිය පෞද්ගලික ධනයෙන් ගෙවා දැමීමට පියවර ගෙන තිබුණි. අමිතාබ් භච්චන් ඉන්දීය චිත්‍රපට 190කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. ඊට අමතරව ඔහු හොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයකටද දායක වී තිබේ.