2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

චාර්ල්ස්ට 70යි!

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 208

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා හැත්තෑ වැනි වියට එළඹුණේය. එය සැමරීම සඳහා ක්ලැරන්ස් හවුස් වෙතින් චාල්ස් කුමරුගේ අලුත්ම පවුලේ ඡායාරූප 2ක් නිකුත් කර ඇති අතර, එහි කැපී පෙනෙන තැනක් දිනා ගත්තේ ඔහුගේ මිනිබිරිය සහ මුනුපුරාය.

වේල්ස් හි ආදිපාද චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කෝන්වෝල්හි ආදිපාදවරිය නොහොත් කැමිලා, ලන්ඩනයේ ස්පෙන්සර් හවුස්හි දී මේ උපන්දිනය නිමිත්තෙන් විශේෂ තේ සාදයකට ද සහභාගි වනු ඇත. ටවර් ඔෆ් ලන්ඩන්හි සම්ප්‍රදායික කාලතුවක්කු වෙඩි මුරද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ රාජකීය සම්ප්‍රදාය පරිදිය. ඒ වේලාවේදීම වෙස්මිනිස්ටර් ඇබේ ආසන දෙව් මැදුරේ සීනුව ද නාද වනු ඇත. ඒ සමඟම ඔහුගේ හැත්තෑ අවුරුදු ජීවිතයේ නොදන්නා තොරතුරු රාශියක් ද හෙළිදරව් වෙමින් තිබේ.

චාල්ස් කුමරු ද අන් කවරදාටත් වඩා තමන් ජීවිතයේ කැමති දේවල් ගැන කතා කරන්නට ද පටන් ගෙන තිබේ. Country Life සඟරාවට ඔහු එවැනි බොහෝ තොරතුරු හෙළිදරව් කර තිබුණි. මේවා ඔහු විසින්ම සඟරාවට ලියා ඇති තොරතුරු වීමත් විශේෂත්වයකි. එයට අනුව ඔහු රතු ලේනුන්ට ඉතා ප්‍රිය ය. තමන් ජීවත් වන තැන අවට රතු ලේනුන් දුව ඇවිදිනු නරඹන්නට පරිසරයට ආදරය කරන චාල්ස් කුමරු ඉතා කැමති ය. රැජිනට අයත් බැල්මෝරල් වත්තේ පිහිටා තිබෙන බර්ක්හෝල් නිවස ඒ අන්දමින් රතු ලේනුන් නිතර යන එන තැනකි. චාල්ස් කුමරුගේ ප්‍රියතම කෑමක් වන්නේ pheasant crumble pie වේ. එය පක්ෂි විශේෂයක මස් යොදා පිළියෙළ කරන්නකි.

එසේම මුසාකා moussaka යනු ග්‍රීක රස මසවුලකි. එය සාදන්නේ බැටළු මස්, චීස් සෝස්, තක්කාලි යනාදියෙනි. නමුත් චාල්ස් කුමරු තමන්ගේම සොයාගැනීමක් කර තිබේ. බැටළු මස් වෙනුවට කළුකුම් වර්ගයේ grouse මස් යොදා එය පිළියෙළ කිරිමයි. ඒ නිසා කුමරු එයට කියන්නේ මුසාකා නොව, ‘ගෘසාකා’ කියා ය. එය ඔහුම දමාගත් නමකි. එසේම එම කෑම වර්ගයත් තමන්ගේම සොයා ගැනීමක් බව කුමරු කියයි. බකිංහැම් මාළිගය විසින් චාල්ස් කුමරුගේ 70 වන උපන්දිනය වෙනුවෙන් ඔහු ගැන ලෝකය නොදන්නා අප්‍රකට එහෙත් රසවත් තොරතුරු 70 ක් ද හෙළිදරව් කර තිබේ. ඒවා අතර චාල්ස් කුමරු දිවා ආහාරය ගන්නේ නැති බවත්, ඔහුගේ ජනප්‍රියම කෙටි  ආහාරය වන්නේ කිරි පැණි සමග ඩාජිලින් නමැති උතුරු ඉන්දියාවේ වැවෙන ඉහළ තත්ත්වයේ තේ වර්ගයක් බවත් චාල්ස් කුමරු හොඳ චිත්‍ර ශිල්පියෙක් වන අතර ඔහුගේ ප්‍රියතම මාධ්‍යය දිය සායම්ය, යනාදි කරුණුත් දක්වා තිබේ.