2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

එංගලන්ත අගමැතිටත් විශ්වාසභංගයක්!

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතුද යන්න පිළිබඳ ජනමත විචාරණය මීට වසර දෙකකට පෙරාතුව පැවැති අතර එහිදී බ්‍රිතාන්‍යය වෙන්විය යුතු බවට ජනමතය පළ වුණි. යුරෝපා සංගමයෙන් දික්කසාද වීමේ හෙවත් බ්‍රෙක්සිට් වැඩපිළිවෙල ආරම්භ වූයේ ඉන් අනතුරුවය. නමුත් ඒසම්බන්ධව මතුව තිබුණේ දෙපැත්තට අදින තත්ත්වයකි. දැන් එය අගමැතිවරියට එරෙහි විශ්වාස භංග යෝජනාවක් දක්වා දුරදිග ගොස් හමාරය. මේ හේතුවෙන් අගමැතිනි තෙරේසා මේ වැටී ඇත්තේ කබලෙන් ලිපටය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ එකඟතාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය තුළ අවස්ථා කිහිපයකදී මතභේද උද්ගත වූ අතර ඒ අනුව අමාත්‍යවරු කිහිපදෙනෙක් කලින්ද ධූරවලින් ඉවත්ව ගියහ. ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අගමැති නිල නිවාසයේදී ඉකුත්දා මාධ්‍ය හමුවක් ඇමතූ අගමැතිනිය, බ්‍රෙක්සිට් සම්මුතිය සම්බන්ධයෙන් තමන්ට නිවැරදි යයි සිතෙන ස්ථාවරයක් ගැනීමට ආණ්ඩුවේ සිය සගයන්ට අවස්ථාව තිබෙන බව කීවාය.

අගමැතිනි තෙරේසා මේ එම අදහස් පළ කළේ තමන් ඉදිරිපත් කළ බ්රෙක්සිට් සැලසුමට විරෝධය පාමින් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු ඇමතිවරුන් පස් දෙනෙක් බ්‍රහස්පතින්දා (නොවම්බරේ 15) දිනය ඇතුළත ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. බ්රෙක්සිට් ඇමැති ලෙස හඳුන්වන ඩොමිනික් රාබ් ද එදින ඉල්ලා අස්වූ අතර එය අගමැතිනියගේ වැඩ පිළිවෙළට එල්ල වූ මහා බාධකයක්ව තිබේ. ඔහු ඉල්ලා අස්වු දෙවෙනි බ්රෙක්සිට් ඇමැතිවරයාය. දැන් ඇගේඅගමැතිධූරය රැඳී ඇත්තේද අඩමාන තත්ත්වයකය.

මේ අතර අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන මෙන්, මන්ත්‍රීවරයෙක් යෝජනා කර ඇත. එවන් විශ්වාසභංග යෝජනාවකට තමන් මුහුණ දෙන්නේ දැයි මාධ්‍ය විමසූ අවස්ථාවේ අගමැතිවරිය කියා සිටියේ “නායකත්වය යනු නිවැරදි තීරණ ගැනීම විනා, පහසු තීරණ ගැනීම නොවන,” බවය. එබැවින් අවශ්‍ය නම් විශ්වාස භංගයකට හෝ මුහුණදී තමන් එම සම්මුතිය ඉදිරියට ගෙන යන බව ඇය අවධාරණය කළාය.

බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් යළිත් වතාවක් ජනමත විචාරණයක් නොපවත්වන බව කියා සිටි අගමැතිනි තෙරේසා මේ, නියමිත පරිදිම බ්‍රිතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වෙනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වන බවත් වැඩිදුරටත් සඳහන් කළාය. විපක්ෂනායක ජෙරමි කෝබින් ද අගමැතිවරිය එකඟ වූ ගිවිසුම දැඩි විවේචනයට ලක්කළ අතර, මතු වී තිබෙන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය පවුමේ අගයද 1% ටත් වඩා ප්‍රමාණයකින් පහළ වැටුණේය.