2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

කළු දුමෙන් වැසුණු දිල්ලියේ ජල්ලිය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ මිලියනයකට වැඩි පුද්ගලයන් පිරිසක් මියයන අතර ලොව දූෂිතම වාතය සහිත නගරය නවදිල්ලිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

වායු දූෂණය සහිත ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වාසය කිරීම දෛනිකව දුම්වැටි 15ත් 20ත් අතර ප්‍රමාණයක් පානය කිරීමට සමාන බව සෞඛ්‍ය අංශ පවසයි. නවදිල්ලි නුවර විෂ වායු ආඝ්‍රාහනයෙන් පුද්ගලයින්ගේ පෙනහළු කළු පැහැ ගැන්වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි. ගතවූ වසර 30 තුළ ක්‍රම ක්‍රමයෙන් පෙනහළු කළු පැහැ ගැන්වුණු පුද්ගලයින් සංඛ්‍යාව වැඩිවෙමින් ඇතැයි වෛද්‍යවරු පවසති. වායු දූෂණය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර දැඩි ඝන මීදුමකින් වැසී පවතින බවත් ඊට අමතරව කැස්ස, උගුර ආශ්‍රිත රෝගීන් වාර්තා වීමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අගනුවර වායු ගුණාත්මකභාවය අවදානම් සහගත අන්දමින් පහත වැටෙන බව පැවසූ ඉන්දීය කාලගුණවිද්‍යා බලධාරීන් අනතුරු අඟවා සිටියේ, මේ වනවිට නගරවැසියන් ආශ්වාස කරන වාතයේ අඩංගු දූෂක කාරක ආරක්ෂිත මට්ටමට වඩා 20 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

මේ අතර ඉන්දීය රජය නවදිල්ලි නුවර පවතින අධික වායු දූෂණ තත්ත්වය වෙනස් කිරීමට වහාම පියවර ගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානොම් සඳහන් කළේ, අදාළ ගැටලුව විසඳීමට ඉන්දීය මධ්‍යම රජය හෝ නවදිල්ලි ප්‍රාන්ත රජය කටයුතු නොකිරීම කණගාටුවට කරැණක් බවය. මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා ඉන්දියාව ප්‍රබල සැලසුමක් සකස් කළ යුතු බවද ඔහු කියා තිබේ.