2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

දැරියන් 7කගේ මාරයා එල්ලයි!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 231

හය හැවිරිදි වියේ පසු වූ සයිනබ් අන්සාරි නම් වූ පාකිස්තාන දැරිය පසුගිය ජනවාරි 4 වැනිදා පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා තිබිණ. අපරාධකරු දැරියගේ දේහය කුණුගොඩකට විසිකර දමා තිබුණේය. දේහය සොයා ගැනුණේ ඇගේ අතුරුදන් වීමෙන් සිව් දිනකට පසුවය. මේ අපරාධයට වගකිව යුතුයැයි සැකපිට ඉම්රාන් අලී නමැති විසිහතර හැවිරිදි පුද්ගලයකු ජනවාරි 23දා අත්අඩංගුවට ගන්නා ලදී. ඉම්රාන් නියම අපරාධකරු බව අනතුරුව කෙරුණු ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු විණ. ඉම්රාන් අලීට පසුගිය පෙබරවාරියේ මරණ දඬුවම නියම වූයේය.

ඉම්රාන් අලී තවත් දැරියන් හය දෙනෙකු මරා දමා ඇති බව නඩු විභාගය අතරතුරදී අනාවරණය විණ. නිදැල්ලේ හිඳිමින් මේ අන්දමට අපරාධකරුවන්ට හිතුමතයේ කටයුතු කරන්නට ඉඩ ලැබී තිබෙන්නේ පොලිසියේ දුර්වල ක්‍රියාකලාපය නිසා යැයි චෝදනා එල්ල වී තිබේ. සයිනබ් අන්සාරි දැරිය අතුරුදහන් වුණු අවස්ථාවේදී ඒ බැව් පොලිසියට දැනුම් දුන්නද පොලිසිය ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක් වූ බව ඇගේ ඥාතීහු පවසති.

කිසිවකු දැරියව රැගෙන යන බව සටහන් වුණු වීඩියෝ දර්ශන පෙළක් ඥාතීන් සොයා ගත් අතර එය සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රසිද්ධ කෙරිණ. දැරියගේ දේහය කුණුගොඩකට විසිකර දමා තිබියදී සොයා ගැනුණේ මේ අතරතුරදීය. ඒ අනුව ලාහෝර් නුවර  බන්ධනාගාරයේදී පසුගිය බදාදා උදෑසන ඉම්රාන් අලීව එල්ලා මරා දමන ලදි.

පාකිස්තානයේ කාසුර් නගරයේදී ගැහැනු දරුවන් කිහිපදෙනකුම ඝාතනය කෙරුණු බව සඳහන් වේ. මේ අපරාධ රැල්ලට එරෙහිව පාකිස්තානයේ ස්ථාන කිහිපයකදීම උද්ඝෝෂණ පැවැත්විණ. උද්ඝෝෂකයන් සඳහන් කළේ මෙවැනි අපරාධවලට ඉඩ සැලසෙන්නේ පොලිසියේ අදක්ෂභාවය සහ මන්දෝත්සාහී බව නිසායැයි කියාය.