2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

අයි. එස්. මාරයෝ සරණාගතයන් 700ක් පැහැර ගනිති

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

අමෙරිකාවේ ආධාර යටතේ ක්‍රියාත්මක සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පාලනයේ පැවති නැගෙනහිර සිරියාවේ ඩෙර්-අල් සොර් ප්‍රදේශයේ පිහිටා තිබූ සරණාගත කඳවුරකට ඉස්ලාමීය අන්තවාදීන් (IS) විසින් ප්‍රහාරයක් එල්ලකොට එහි සිටි පුද්ගලයන් 700ක් පැහැරගෙන ගොස් ඇත. මෙම කඳවුරට ඉකුත් 13 වැනිදා සිට ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ලකොට එහි සිටි පවුල් 130ක් පැහැරගෙන ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් ය.

එලෙස පැහැර ගෙන ගිය පිරිස අතර අමෙරිකානු සහ යුරෝපා ජාතිකයන්ද සිටින බවයි රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් හෙළිකර සිටියේ. ඔවුන් එම සරණාගත කඳවුරේ සේවය සඳහා පැමිණ සිටි සහන සේවා නිලධාරින්ද නැතහොත් සිරියානු සටන්කාමීන් සමඟ එක්ව සටන් කිරීමට පැමිණි සටන්කරුවන්ද යන්න ගැන මෙතෙක් තහවුරු කර ගැනීමට හැකිවී නැත.

පැහැරගෙන ගිය පිරිසෙන් මේ වනවිට විශාල පිරිසක් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර ඇති බවත් මේ වනවිට දෛනිකව ප්‍රාණ ඇපකරුවන් 10 දෙනා බැගින් ඝාතනය කරන බවට ඔවුන් තර්ජනය කර ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ගේ පාලනයේ පැවති විශාල භුමි ප්‍රමාණයක් ඔවුන්ට ගතවූ වසර දෙකක කාලය තුළදී අහිමිවිය. ඒ හේතුවෙන් මෙම සටන මෙහෙයවූ ඉස්ලාමීය සටන්කරුවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු 700 කට ආසන්න ඉහළ පෙළේ අණදෙන නිලධාරින් ඝාතනය කරන ලෙස ඔවුන්ගේ නායක අබුබක්කර් අල්-බගාදි මීට සති දෙකකට ඉහතදී අණකොට ඇති බව ඉරාක ඔත්තු සේවා හෙළිකර තිබුණි. ඉස්ලාමිය සටන්කාමින් විසින් සරණාගත කඳවුරේ සිට පැහැරගත් පුද්ගලයන්ගේ රුව සහිත ජයාරූප ඔවුන්ගේ වෙබ් අඩවිවල පළකර තිබුණි.