2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

මගේ පුතා හිරේ විලංගුවේ වැටුණේ මිනී මරලා නෙවෙයි

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 302

“මගේ පුතා මේ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ මිනීමරලා, මංකොල්ල කාලා අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන නෙවෙයි. ඒ වගේම සමාජ විරෝධීව හැසිරිලත් නෙවෙයි. රට වෙනුවෙන් කතා කරලා. රණවිරුවන් වෙනුවෙන් කතා කරලා. ජනාධිපතිතුමත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මගේ පොඩි පුතා නිදහස් කරන්න කියලා.”

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරයේය. උන්වහන්සේ සිරගත වූ හේතුව මේ වනවිට නොදන්නා කෙනකු මෙරට තුළ නැති තරම්ය. ඥානසාර හිමියන් ගැන ලංකාවේ බොහෝ දෙනෙකු දැන සිටියේ උන්වහන්සේගේ ක්‍රියාකලාපය නිසාය. සැබවින්ම ඥානසාර හිමියන් යනු කවුද? උන්වහන්සේගේ උපන් ගම්පළාත කොහෙද? බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. සැබවින්ම ඥානසාර හිමියන් යනු කවුද කියා ඔබට ඇති කුතුහලය ලිහාදීමේ අරමුණින් යුතුව ඥානසාර හිමියන්ගේ මෑණියන් සොයා දේශයේ අපි උන්වහන්සේ උපන් ගමට ගියෙමු.

කරන්දෙණිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ අවසානයට මඳක් ඔබ්බෙන් ඇති ගලගොඩඅත්ත උන්වහන්සේ උපන් ගම්මානයයි. සහෝදරයන් තිදෙනෙකු සහ එක් සහෝදරියකු ඇතුළු පස්දෙනකුගෙන් සමන්විත වූ පවුලේ බඩපිස්සා ඥානසාර හිමියෝය. එක් සහෝදරයකු සහ පියා මේ වනවිට මියගොස් ඇති අතර අද වනවිට උන්වහන්සේගේ මව, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය දිවි ගෙවති.

උන්වහන්සේගේ මවගේ වයස මේ වනවිට අවුරුදු අසූවකි. එහෙත් උන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව තවමත් ඉතා හොඳින් ඇයට මතක ඇත. වලවේ දුරගේ ගුණවතී නම්වූ ඇය සිය පොඩිපුතු හාමුදුරැවන් ගැන මෙලෙසින් සිය මතකය අවදි කළේය.

“අපේ හාමුදුරුවෝ ගාල්ල මහමෝදර රෝහලේදී තමයි උපත ලැබුවේ. 1975 මාර්තු මාසේ 04 වැනිදා පවුලේ බාලයා විදියට, මමත් මගේ ස්වාමිපුරුෂයත් නුවන්සිරි කුමාර කියලා ඔහුට නම තිබ්බා. කවදාවත්ම පොඩිපුතා පිටිකිරි බිව්වේ නැහැ. අවුරුදු පහක් විතර යනකම්ම පොඩිපුතා මව්කිරි තමයි බිව්වේ. මට මතක විදියට පොඩි පුතාට අවුරුදු 03ක් විතර වන වයසේදී අපේ ගෙදර තිබුණා පොඩි මේසයයි පුටුවයි ඒක ගෙනැල්ලා දෙන්න කියලා කියනවා. එතකොට මම ඒක ගෙනත් දුන්නම ගෙදර ඉස්සරහා තියෙන දෙල්ගහෙන් කොළයක් අහුලගෙන එනවා. ඒ ඇවිල්ලා මට කියනවා හාමුදුරු කෙනෙක් විදියට අන්දවන්න කියලා. එතකොට මම ගෙදර තියෙන රෙද්දක් සිවුර විදියට අන්දවනවා. ඊටපස්සේ අයියලා අක්කලා ඔක්කොටමයි මටයි, මගේ මහත්තයටයි වැඳගන්න කියලා බණ කියන්න පටන් ගන්නවා. එයා එහෙම කියන ගාථා අපි හරියට කිව්වේ නැත්නම් එයාගේ මූණ හරි නැහැ. නැත්නම් අඬනවා.

අපේ මේ වත්ත පහළ ළිඳක් තියෙනවා. ඉස්සර තාත්තා නාන්න ගියාම මුළු මිදුලෙම බයිසිකලේ අරන් පදිනවා. එහෙම පැදලා තාත්තා නාගෙන එනකොට අර බයිසිකල් පැදපු පාරවල් ඔක්කොම මකලා දානවා ඉදලක් අරගෙන. මේ ගමේ තියෙන යක්කටුව කනිෂ්ඨ විද්‍යාලයට තමයි පුතා පාසල් ගියේ. එහෙම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මේ ළඟ තියෙන ඇළේ නානවා. යාළුවෝ එක්ක කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. ඇස් රතු වෙනකම් නාලා තමයි එන්නේ. ගෙදරින් කොච්චර කිව්වත් එපා කියලා යාළුවෝ එක්ක ඇළේ පැනලා නානවා. අන්තිමට ගෙදරින් ඇහුවම කියන්නේ නෑ කියලම තමයි. මේ විදියට ගෙදරට බොරු කියලා තාත්තගෙන් හොඳට බැණුම් අහලා තියෙනවා.

එයාට අවුරුදු දහයක් විතර වෙද්දි නිතරම මට කරදර කරනවා අම්මේ මට මහණ වෙන්න ඕන. මහණවෙන්න ඕන කියලා. ඒකෙන් බේරෙන්න බැරි වුණා. ඒ වගේම තමයි පොඩි පුතා පොඩිකාලේ ඉඳලම මගේ ඇඟට කකුලක් දාගෙන තමයි නිදා ගන්නේ. ඒකෙන් බේරෙන්නට බැරි තැන පොඩි පුතා ආච්චිලගේ ගෙදර යැව්වා තනියම නිදි කරන්න පුරුදු වෙන්න. එතකොට පොඩි පුතාගෙන් ආච්චි අහලා තියෙනවා මොකද මේ කවදාවත් නැතුව ආච්චි අම්මලගේ ගෙදර නතර වෙන්න හිතුණේ කියලා. එතකොට පොඩිපුතා ආච්චි අම්මට කියලා තියෙනවා “මම මහණ වෙන්නනේ ඉන්නේ. අම්මා නැතුව රෑට නිදාගන්න පුරුදු වෙන්න ඕන. ඒක නිසා තමයි මම ආවේ” කියලා.

පොඩිපුතා දිගටම, දිගටම කරදර කළා මහණවෙන්න ඕන කියලා. ඒ වදෙන් බේරෙන්න බැරි තැන තමයි එයා මේ ළඟම තියෙන ගලගොඩඅත්ත ජයබිම විවේක සේනාසනයට ගිහින් බාර දුන්නේ. තාත්තා නම් කැමැති වුණේම නැහැ පොඩිපුතා මහණ වෙනවට. කොහොම හරි මෙයා පන්සලෙන් පැනලා ගිහින් තිබුණා කොළඹ පන්සලකට, ඉක්මනට මහණකළේ නැහැ කියලා. බොහොම අමාරුවෙන් හොයා ගත්තේ. ඊට පස්සේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එයා එක්කගෙන ඇවිත් ඉක්මනටම මහණ කළා. එතකොට පොඩි පුතාගේ වයස අවුරුදු 11යි. පුතා මහණ වුණු දවසෙ නම් මම හොඳටම ඇඬුවා. ඒ වගේම තමයි පොඩි පුතා මහණ කරද්දි එයාගේ තාත්තා හිටියෙත් නෑ. රස්සාවට ගිහින්. එයා පොඩිපුතා මහණ කරලා කියලා දැනගත්තම මාස දෙක තුනක්ම මම එක්ක කතා කළේ නැහැ. ඒ තරම්ම පොඩි පුතාට තාත්තා ආදරෙයි. මගේ මහත්තයා මැරෙනකම්ම ඒ ආදරේ වෙනස් වුණේ නෑ කියලා මම හිතනවා.

ගෙදර ඉන්න දවස්වලත් එයා එයාට හම්බවුණු හැමදේම බෙදලා දීලා තියෙනවා. පොත්, සබන්, පවුඩර් ඔක්කොම එයා බෙදා දීලා තියෙනවා. තමන්ට හම්බවෙන මොන දේ වුණත් අනුන්ට දෙන්න බෙදාගන්න පුරුද්දක් එයා ළඟ තිබුණා. ඒ වගේම තමයි එයාට පොඩිකාලේ ඉඳන්ම අසාධාරණය පේන්න බැහැ. ඒ වගේ තැන්වල එයාට හරියට කේන්ති යනවා. ඒ වෙලාවට එයා එක්ක අපිවත් කතා කරන්න යන්නේ නැහැ. නිතරම එයාට වඩා එයා අනුන් ගැන තමයි හිතුවේ. පොඩි කාලේ ඉඳන්ම මහණ වුණාට පස්සෙත් එහෙමයි. ඒක නිසා තමයි අද මගේ පොඩි පුතාට මේ වගේ හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වුණේ.

ඔය සමහර දවස්වලට ටී.වී. එකේ කතා කරාම මම දුරකතනයෙන් කතාකරලා කියනවා ඔය විදියට ආවේගශීලී වෙන්න එපා කියලා. මට බයයි කියලා. එතකොට හාමුදුරැවෝ කියනවා අම්මා මොකටද බයවෙන්නේ කියලා. උන්වහන්සේ සිරගත වෙලා ඉද්දි කිහිප වතාවක්ම බලන්න ගියා. රුවුල කොණ්ඩේ වවාගෙන ඉද්දි මගේ පපුව හෝස් ගාලා පත්තු වෙනවා.

මගේ පුතා මේ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ මිනීමරලා, මංකොල්ලකාලා, අනුන්ගේ දෙයක් කඩාවඩාගෙන නෙවෙයි. වෙනයම් සමාජ විරෝධී වැඩ කරලත් නෙවෙයි. රට වෙනුවෙන් කතා කරලා, රණවිරුවන් ගැන කතා කරලා. ජනාධිපතිතුමනි මගේ පොඩි පුතා හරිම අහිංසකයි. මට දැන් අවුරුදු 80ක් වෙනවා. පොඩි පුතාට වුණු දේ හිතලම මම දැන් ලෙඩවෙලා ඉන්නේ. මගේ පොඩිපුතා නිදහස් කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. අවසන් වතාවට මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මගේ පොඩි පුතාට ඒ ජනාධිපති සමාව ලබාදෙන්න කියලා.”

ඥානසාර හිමියන් සමඟ කුඩා කළ සිටම එකට හැදී වැඩුණු කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල කුමාර මහතා උන්වහන්සේගේ ගිහි ජීවිතය ගැන මෙලෙසින් අදහස් පළ කළේය.

“අපි දෙන්නා ඉස්කෝලේ පහේ පන්තිය වෙනකම් ගියේ යක්කටුව කනිෂ්ඨ විදුහලට. ඒ වගේම තමයි අපි දෙන්නම තමයි මහණවෙන්න ජයබිම ආරණ්‍යය සේනාසනයට ගියෙත්. නමුත් මට මහණවෙන්න අවස්ථාවක් හම්බවුණේ නැහැ. එදා ඉස්කෝලේ උදෑසනට පන්සිල් දුන්නේ නුවන්සිරි. හරියට හාමුදුරු කෙනෙක් වගේමයි පන්සිල් දුන්නේ. ෆුට් බයිසිකල් පදින්නත් එයා හරියට කැමැතියි. ඉස්සර පන්සලේ ඉන්න කාලේ හාමුදුරුවන්ගේ පණිවිඩ කියන්න අපි යන්නේ ෆුට් සයිකලෙන්. එහෙම යන සමහර දවස්වලට එයා මම දාලා බයිසිකලෙන් ආපු දවස් තියෙනවා. ඉස්සර ඉඳලම එයාට අසාධාරණය පේන්න බැහැ. අදටත් ඒ දේ නිසා තමයි උන්වහන්සේට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා උන්වහන්සේට ඉක්මනින් නිදහස ලබාදෙන ලෙස.

►සටහන - හසිත් අංජන
    සේයාරූ - සුමුදු හේවාපතිරණ