2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

බ්‍රසීලයේ වීදි කැළඹූ ජනාධිපති සටන

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

අතිදක්ෂිණාංශික ජනාධිපතිවරයෙක් බිහිවිම වළක්වන්නට සිතූ බ්‍රසීල ජනතාව දහස් ගණනක් මහපාරට බැස සිටිති. කාන්තාවන්ට සමරිසි පිරිසට මෙන්ම ආදිවාසී ජනතාවටද එරෙහි ඒකාධිපතියකු ලෙස හැඳින්වෙන බොල්සෝනාරෝට විරෝධය පාමිනි. මුල් වටයේ ඡන්දවලින් ඔහු ඉදිරියට විත් තිබේ. තීරණාත්මක ඉදිරි ඡන්දයෙන්ද ඔහුට සියයට 58ක ජයක් හිමිවන බවට මත පලව තිබේ. මේ විරෝධතාවයන් එහෙයිනි.

බොල්සෝනාරෝ බලයට ආවොත් හමුදා පාලනයක් බඳු ඒකාධිපති පාලනයක් ඇතිවේ යැයි බිය සැක පලව ඇත. ඔහු නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය මෙන්ම විවෘත ආර්ථිකය පිළිබඳ සිහින දකින්නෙකි. රටේ ප්‍රධාන ආදායම් උපයන්නා වන පෙට්‍රෝබ්‍රාස් තෙල් සමාගම හැර සෙසු ආයතන පෞද්ගලීකකරණය කිරීමට ඔහු බලාපොරොත්තු වේ. හිටපු හමුදා කපිතාන්වරයකු වන ඔහු හමුදා පාලනයකට බැඳුනු සිතැත්තෙකි. “ඒකාධිපතියා ඕනෑ නැහැ!” “අපිට ඕනෑ ඔහු නෙවෙයි” වැනි සටන් පුවරු රැගත් දහස් ගණන් නුවරු පාරට බැස සිටියේ ඔහුට එරෙහිවටය. මේ අය වැඩි පිරිසක් වාම සමාජවාදී සහ ලිබරල්වාදී පක්ෂ හිතවතුන්ය.