2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ලොව දිගුම තනි ගුවන් ගමන ඇරඹේ!

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන සිංගප්පූරු ගුවන් සමාගම විසින්, වසර 5කට පසුව යළිත් ආරම්භ කළේය. එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර ඊට ගත වන කාලය පැය 18 කුත් මිනිත්තු 25ක් ලෙස අනුමාන කෙරේ. ඒ ගමන් මග වැටී ඇත්තේ සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය.

මීට පෙර, Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ කටාර්හි දෝහා දක්වා ගුවන් සේවාවක් ආරම්භ කළ අතර ඊට ගත වූ කාලය පැය 17.5කි. Qantas සමාගමද මේ වසරේ මුලදී ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අතර ගුවන් සේවාව සඳහා ගතවන කාලය පැය 17ක් විය.

සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි ‘නිවෝර්ක්’ ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බව සිංගප්පූරු ගුවන් සමාගම පවසයි. එම සමාගම සඳහන් කළේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා නොනවතින ගුවන් ගමන් කෙරෙහි ගුවන් මගීන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බවය. මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන සියල්ල වෙන්කිරීම් ඉක්මනින් අවසන්ව තිබුණි.

ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ප්‍රධාන ආහාර දෙවරක් පිළිගන්වන අතර ඒ අතරතුර පාන වර්ග ද ලබා දීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව එම පන්තියේ මගියෙකු වෙනුවෙන් නිදා ගැනීමට ඇඳක් ද වෙන්කර ඇත. මෙම ගුවන් ගමන සඳහා Airbus වර්ගයේ නවතම ගුවන් යානයක් යොදා ගැනෙන අතර එහි ව්‍යාපාරික පන්තියේ ආසන 67ක් සහ සෙසු මගී ආසන 94ක් සමගින් ඇති සමස්ත ආසන සංඛ්‍යාව 161කි.