2025 අගෝස්තු 23 වන සෙනසුරාදා

ගාසා ගිලගන්න අලු‍තෙන් භටයන් 60,000ක්!

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

ගාසා නගරය අත්පත් කරගැනීම සඳහා යුද මෙහෙයුම් පුළුල් කිරීමට සංචිත හමුදා භටයන් 60,000ක් කැඳවීමට ඊශ්‍රායලය තීරණය කර ඇත. ඒ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්කර ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණිනි. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේදී එම භට පිරිස් සේවයට වාර්තා කිරීමට නියමිතය.

ඒ අනුව ගාසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට එම නගරයෙන් ඉවත් වී ගාසා තීරයේ දකුණු ප්‍රදේශය වෙත යාමට නියෝග කිරීමට නියමිතය. කෙසේ වෙතත් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා මැදිහත් රටවල් දැඩි උත්සාහයක නිරතව සිටියදී ක්‍රියාත්මක වන ඊශ්‍රායලයේ මෙම හදිසි යුද සැලසුම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශ්ව රැසක් හෙළා දැක ඇත. මාස 22ක යුද්ධයෙන් පසු තවත් ප්‍රහාරයක් තුළින් බිහිසුණු මානුෂීය බලපෑමක් ඇතිකළ හැකි බව එම පාර්ශ්ව පෙන්වා දී තිබේ. ගාසා යුද්ධය ඇරැඹී දා සිට 2025 ජූලි 30 වැනි දින වන විට, 63,000කට අධික පිරිසක් (පලස්තීන ජාතිකයන් 61,805ක් සහ ඊශ්‍රායල ජාතිකයන් 1,983ක්) මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

ඒ අතර, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 217ක්, ශාස්ත්‍රඥයන් 120ක් සහ මානුෂීය ආධාර සේවකයන් 224කට වැඩි පිරිසක්, UNRWA හි සේවකයන් 179ක් ඇතුළත් වෙති. මියගිය පලස්තීනුවන්ගෙන් 80% ක් සිවිල් වැසියන් බව ගණන් බලා ඇත. ස්වාධීන මූලාශ්‍ර තුනකින් මරණ තහවුරු කළ OHCHR විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ නේවාසික ගොඩනැගිලි හෝ ඒ හා සමාන නිවාසවල මියගිය පලස්තීනුවන්ගෙන් 70% ක් කාන්තාවන් සහ ළමයින් බවයි. සමස්ත ගාසා තීරයම යටත් කරගන්නා බව ඊශ්‍රායල රජය නිවේදනය කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමඟ පැවැති වක්‍ර සාකච්ඡා ඉකුත් මාසයේදී බිඳවැටීමෙන් පසුවය.