“ඡන්ද සොරකම් කිරීම” පිළිබඳ නැගෙන චෝදනා හේතුවෙන් ඉන්දියාවේ දේශපාලන ආරවුලක් ඇතිවී ඇති අතර, 2024 මහ මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) පක්ෂව කටයුතු කළ බව පවසමින්, රටේ මැතිවරණ මණ්ඩලයේ පැවති අක්‍රමිකතා සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ චෝදනා කර ඇත.
විපක්ෂ මන්ත්‍රීවරුන් ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලියේ අවංක බව පිළිබඳ විවාදයක් ඉල්ලා සිටි අවස්ථාවේ අඟහරුවාදා පාර්ලිමේන්තුවද කල් තබන ලදී. මෙයට දිනකට පෙර, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් දුසිම් ගණනක්, ඉන්දීය මැතිවරණ කොමිසමේ (ECI) මූලස්ථානය වෙතට පෙළපාළියක් යාමට උත්සාහ කළ අවස්ථාවේ දිල්ලියේ අගනුවරදී පොලිසිය විසින් කෙටි කලකට රඳවාගනු ලැබිණි. ගාන්ධි මුලින්ම මෙම ප්‍රශ්නය මතු කළේ අගෝස්තු 7 වැනි දින දිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී වන අතර, එතැන් සිට විපක්ෂ නීති සම්පාදකයන් සිය ගණනකගේ ශක්තිමත් සහයෝගය ලබාගැනීමට සමත් වී තිබේ. ඉන්දියාවේ මැතිවරණ ක්‍රමය “බරපතළ විෂමතාවන්ගෙන්” පෙළෙන බවත්, මහජන බලමුළුගැන්වීම් සහ සමහරවිට අධිකරණය හරහා එහි අවංක බව අභියෝග කිරීම දිගටම කරගෙන යන බවත් රාහුල් ගාන්ධි බදාදා පැවසීය.
මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය මේ චෝදනා ආක්‍රමණශීලී ලෙස ප්‍රතික්ෂේප කර ඇත. ඔහුගේ මේ අදහස් ඉදිරිපත් වූයේ බිහාර්හි දැඩි තරගකාරී ප්‍රාන්ත මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. “බිහාර් මැතිවරණය ඉතා සමීප තරගකාරිත්වයක් ඇති බව පෙනෙන නමුත් අපි ඉහළ යමින් සිටින අතර ඔවුන් පිරිහෙමින් පවතී,” යැයි ඔහු පැවසීය.