2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

සුඩාන ළමුන් 640,000කට වැඩි පිරිසක් කොලරා අවදානමට!

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 11

බටහිර සුඩානයේ සරණාගත කඳවුරු, කොලරාවෙන් දැඩිව පීඩා විඳියි. ඩාර්ෆූර් හි ටවිලා කඳවුරු හරහා කොලරාව පැතිරෙමින් පවතින අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවට විෂබීජනාශක සහ ඖෂධ ලෙස සේවය කිරීම සඳහා උණු ජලය හැර අන් කිසිවක් ඉතිරි වී නොමැත. උණු ජලයට දෙහි යුෂ මිශ්‍රකර විෂබීජනාශකයක් සේම ඖෂධීය පානයක් සේ භාවිතය හැර වෙනත් බෙහෙතක් ඔවුන් වෙත නැත.

2023 අප්‍රේල් මාසයේ සිට සුඩානයේ හමුදාව සමඟ යුද්ධයක යෙදී සිටින පැරාමිලිටරි බලකායන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව, අසල පිහිටි වටලනු ලැබූ එල්-ෆෂර් නගරයෙන් සහ සම්සාම් අවතැන් කඳවුරෙන් මිලියන භාගයකට ආසන්න ජනතාවක් ටවිලා සහ ඒ අවට කඳවුරු කරා නවාතැන් පතා පැමිණියහ.

ටවිලාවේ පළමු කොලරා රෝගීන් ජූනි මස මුලදී කිලෝමීටර් 25ක් (සැතපුම් 16) පමණ දකුණින් පිහිටි ටබිට් ගම්මානයෙන් අනාවරණ වූ බව Doctors Without Borders කියයි. පසුගිය මාසය තුළ, ටවිලාවේ පමණක් රෝගීන් 1,500කට වැඩි පිරිසකට ප්‍රතිකාර ලබා දී ඇත. එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසන්නේ අප්‍රේල් මාසයේ සිට නගරයේ ළමුන් 300කට පමණ මෙම රෝගය වැළඳී ඇති බවයි. යුනිසෙෆ්ට අනුව, උතුරු ඩාර්ෆූර් ප්‍රාන්තය පුරා, වයස අවුරුදු පහට අඩු ළමුන් 640,000කට වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත. කොලරාව යනු දැඩිව බෝවන බැක්ටීරියා ආසාදනයක් වන අතර, එය දරුණු පාචනය ඇතිකරන අතර, දූෂිත ජලය සහ ආහාර හරහා පැතිරෙයි. එමගින් විජලනය වේගවත් කරන අතර, ප්‍රතිකාර නොකළහොත් පැය කිහිපයක් ඇතුළත එය මරණයට හේතු විය හැක. නමුත් එය වළක්වාගත හැකි අතර, සාමාන්‍යයෙන් මුඛ ප්‍රතිජලකරණ ද්‍රාවණ මගින් පහසුවෙන් ප්‍රතිකාර කළ හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී අභ්‍යන්තර තරල නහරගත කිරීම සහ ප්‍රතිජීවක අවශ්‍ය වේ.