2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

ඉන්දියාවට බදු ගසා ට්‍රම්ප්-පුටින් සමඟ කතාබහකට යයි!

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

ලෝකයේ වඩාත්ම සම්බාධක ලත් රට වුවද, රුසියාව යුක්රේනයේ යුද්ධයට අරමුදල් සැපයීම සඳහා තම අතිවිශාල බලශක්ති ධන නිදානය දිගටම භාවිත කර ඇත. එය වෙනස් කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වේ. ඒ අනුව අගෝස්තු 8 වැනි සිකුරාදා වන විට යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟ නොවන්නේ නම්, නව ද්විතීයික තීරුබදු ඉවත් කිරීම රුසියාව සමඟ වෙළෙඳාම් කරන ඕනෑම රටකට බලපානු ඇති බව ඔහු නිවේදනය කර තිබුණි.

ඒ අනුව රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් දඬුවම් කරන ලද පළමු රට බවට ඉන්දියාව පත් විය. ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අය කළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25% ක් සමඟ සමස්ත සියයට 50% ක බද්දක් අයකිරීමට අමෙරිකාව තීරණය කළේය. රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ඉන්දියාව විසින් ගත් තීරණයට ‘දඬුවමක්’ ලෙස මෙලෙස අතිරේක තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කළ බව ට්‍රම්ප් පරිපාලනය කියා ඇත.

තවදුරටත් ද්විතීයික තීරුබදු මගින් රුසියාව සමඟ වෙළෙඳාම් කරන ඕනෑම රටක භාණ්ඩ එක්සත් ජනපදයට ආනයනය කරන විට 100% බද්දකට මුහුණ දිය හැකිය. තෙල් සහ ගෑස් රුසියාවේ විශාලතම අපනයන වන අතර, මොස්කව් හි විශාලතම ගනුදෙනුකරුවන් අතර චීනය, ඉන්දියාව සහ තුර්කිය ඇතුළත් වේ. ට්‍රම්ප් පරිපාලනය ද්විතීයික තීරුබදු පැනවූ පළමු අවස්ථාව මෙය නොවේ. ඒවා වෙනිසියුලානු තෙල් ගැනුම්කරුවන්ට දඬුවම් කිරීම සඳහා ද ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, රුසියාවට එරෙහිව ඒවා භාවිත කිරීම ගෝලීය ආර්ථිකයට බෙහෙවින් විශාල බලපෑමක් ඇති කරනු ඇත.

සෞදි අරාබිය සහ එක්සත් ජනපදයට පමණක් පිටුපසින් රුසියාව ලෝකයේ තුන්වැනි විශාලතම තෙල් නිෂ්පාදකයාය. නමුත් බ්ලූම්බර්ග් විශ්ලේෂණයකට අනුව, මෙම වසරේ එහි නැව්ගත කිරීම් පහත වැටෙමින් තිබේ. මේ අතර රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව එල්ල කරන චෝදනා පිළිබඳව ඉන්දියාව ද ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අමෙරිකාව එල්ල කරන චෝදනා අසාධාරණ බවය. ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය කරනු ලබන්නේ රටේ අවශ්‍යතාව මත පමණක් වන අතර, ඉන්දියානු පාරිභෝගිකයන් සඳහා දැරිය හැකි මිලක් සහතික කිරීම එහි අරමුණ බව ඔවුන් පෙන්වා දී තිබේ. ඉන්දියාව සිය ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමෙරිකාව සිය අභ්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති විවේචනය සහ ඇඟිලි ගැසීම හෙළා දකින බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රුසියාවෙන් සිදුකරන තෙල් ආනයන පදනම් කරගනිමින් ඉන්දියාවට ඉහළ තීරුබදු පැනවීමට කටයුතු කරමින් සිටින අමෙරිකාවද රුසියාවෙන් සිදුකරන ආනයන සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය අනාවරණයක් සිදුකර තිබුණි.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය පවසන්නේ, 2025 ජනවාරි සහ මැයි අතර කාලයේදී අමෙරිකාව රුසියාවෙන් සිදුකළ ආනයනය සියයට 23කින් එනම් ඩොලර් බිලියන 2.1 දක්වා ඉහළ ගොස් ඇති බවය. එලෙස සිදුකරන ආනයන අතර බොහෝ දුරට යුරේනියම් සහ පොහොර අයත් බවද සඳහන් වේ. එමෙන්ම අමෙරිකාව මෙම ආනයන සිදුකර ඇත්තේ රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක නොතකා බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. අමෙරිකාව රුසියාවෙන් යුරේනියම් ආනයනය වසරින් වසර සියයට 28කින්, එනම් ඩොලර් මිලියන 596ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2021ට වඩා සියයට 150කින් ඉහළ යාමක් බවද එම වාර්තා පෙන්වා දෙයි.

මේ අතර යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට හේතු විය හැකි සමුළු රැස්වීමක් රුසියාව සමඟ ඉක්මනින් පැවැත්වීම සඳහා ඉහළ බලාපොරොත්තුවක් ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා පැවසීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ අමෙරිකානු තානාපති ස්ටීව් විට්කොෆ් අතර මොස්කව්හි පැවති හමුවකින් පසුව ට්‍රම්ප්ගේ මේ අදහස් පළ විය. නමුත් ට්‍රම්ප් පැවසුවේ දෙදෙනා අතර කතාබහේ “ප්‍රගතියක්”‍ නොමැති අතර, “මම මීට පෙර මේ ගැන කලකිරීමට පත්ව සිටිමි”‍ යනුවෙනි.