2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

හිරෝෂිමා බෝම්බයට වසර 80යි!

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා ඉකුත් බදාදාට වසර 80කි. එය සිහි කිරීම සඳහා ජපානයේ නිහඬ යාඥාවක් පැවති බව වාර්තා වේ. එම අවස්ථාවට ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ද එක්ව සිටි අතර, ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්වූ එකම රට ජපානය බවත්, කල් පවතින ලෝක සාමය සිය අපේක්ෂාව බවත් ජපන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා තිබුණි.

1945 අගෝස්තු 6 සහ 9 දිනයන්හිදී, එක්සත් ජනපදය විසින්, පිළිවෙළින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බොම්බ හෙළන ලදී. ලෝකයේ සන්නද්ධ යුද ගැටුමකදී න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය විය. බෝම්බ දෙකෙන්ම මිනිසුන් 129,000ක් සහ 226,000ක් අතර පිරිසක් මරණයට පත් වූ අතර, ඉන් බහුතරය සිවිල් වැසියෝ වූහ. 1945 මැයි 8 වැනිදා ජර්මනිය යටත් වීමෙන් අනතුරුව මිත්‍ර පාර්ශ්වයේ මුළු අවධානය පැසිෆික් යුද පෙරමුණ වෙත යොමුවිය. 1945 ජූලි මාසය වන විට මෑන්හැට්න් ව්‍යාපෘතිය මගින් “ෆැට් මෑන්”‍ සහ “ලිට්ල් බෝයි”‍ නමැති පරමාණු බෝම්බ දෙකක් නිෂ්පාදනය කර තිබුණි. පරමාණු බෝම්බ හෙළීම සඳහා පුහුණුව ලත් එක්සත් ජනපද යුද්ධ හමුදා ගුවන් බලකායේ 509 වැනි සං‍යුක්ත කණ්ඩායම, එම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම සකසන ලද බොයිං B-29 සුපර්ෆෝට්‍රස් ගුවන් යානයක් සමඟ මරියානා දූපත් හි ටිනියන් දූපතට දියත් කෙරුණි.

නාගසාකි නගරයට බෝම්බය හෙලූ දිනයේම සෝවියට් සංගමය විසින් මැන්චූරියාව ආක්‍රමණය කරන ලද අතර, ඉන් දින හයකට පසුව, අගෝස්තු 15 වැනිදා ජපානය මිත්‍ර පාර්ශ්වයට යටත් විය. සැප්තැම්බර් 2 වැනිදා, ජපන් රජය විසින් නිල වශයෙන් යටත්වීමේ පත්‍රිකාව අත්සන් කිරීමත් සමඟ දෙවැනි ලෝක යුද්ධය අවසන් විය.