ඔවුන්ගේ දේශසීමාවේ දිගුකාලීන මතභේදය නැවත අරඹමින් කාම්බෝජ හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කර ඇති අතර, ඒ හේතුවෙන් අග්නිදිග ආසියානු අසල්වැසියන් අතර ආතතීන් දැඩිව උත්සන්න වෙමින් පවතී. තම භූමියට පහරදීමෙන් පසු “තීරණාත්මකව ප්‍රතිචාර දක්වන” බව කාම්බෝජය පැවසීය.
ඒ අනුව තායි සහ කාම්බෝජ හමුදා අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් අවම වශයෙන් තායි සිවිල් වැසියන් දෙදෙනකු මිය ගොස් ඇති බව වාර්තා විය. ඒ අතර පස් හැවිරිදි දරුවෙක්ද සිටියි. තායි හමුදාව කාම්බෝජ හමුදා ඉලක්ක වෙත පහරදීම සඳහා F-16 ප්‍රහාරක ජෙට් යානා යෙදවීමෙන් “ම්ලේච්ඡ” බලය භාවිත කළ බවට කාම්බෝජය චෝදනා කරයි.
බිම් බෝම්බ පිපිරීමකින් තායි සොල්දාදුවන් පස් දෙනකු තුවාල ලැබීමෙන් පසු තායිලන්තය නොම් පෙන්හි සිටි තම තානාපතිවරයා ආපසු කැඳවන ලද අතර කාම්බෝජ තානාපතිවරයා නෙරපා හැරියේය. ඊසානදිග දේශසීමා පළාත් හතර පුරා සියලුම මුරපොළවල් වසා දැමීමට හමුදාව කළ යෝජනාව තායි රජය අනුමත කළ බව වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි පැවසීය.
ඊට පෙර සතියේ බිම් බෝම්බයකින් තායි සොල්දාදුවන් තිදෙනකු තුවාල ලැබූ සිදුවීමකින් පසුව නවතම පිපිරීම සිදුවිය. එහිදී දේශසීමාවේ තායි පැත්තේ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවට තායිලන්තය කාම්බෝජයට චෝදනා කර තිබුණි. කාම්බෝජය මෙම “චෝදනා” පදනම් විරහිත බව කියමින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. තායිලන්තය සහ කාම්බෝජය අතර මෑත දශක කිහිපය තුළ දක්නට ඇත්තේ සහයෝගීතාවය සහ එදිරිවාදිකම් යන දෙකෙහිම සංකීර්ණ සම්බන්ධතාවයකි. ඔවුහු සැතපුම් 500 (කිලෝමීටර් 800) භූමි සීමාවක් බෙදාගනිති. එය කාම්බෝජය පාලනය කළ ප්‍රංශය විසින් බොහෝ දුරට සිතියම්ගත කරන ලදී. එහි වරින් වර හමුදා ගැටුම් මතුවන අතර දේශපාලන ආතතීන් ද ඉහළය.