2025 ජුලි 12 වන සෙනසුරාදා

පුටින් පැන්නූ ඇමැති මියගිය හැටි!

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

ජනාධිපතිවරයා සේවයෙන් පහ කර පැය කිහිපයකට පසු ෆෙඩ්රල් අමාත්‍යවරයකු මිය යාම රුසියාව තුළ මහත් ආන්දෝලනයකට හේතු විය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සඳුදා උදෑසන එම ධුරයෙන් පහ කළේය. එදින දහවල් වන විට රෝමන් ස්ටාරොවොයිට් මිය ගොස් සිටියේය. මොස්කව් නගර සීමාවේ උද්‍යානයක හිසට වෙඩි වැදී තිබූ බව කියන තුවාලයක් සහිත ඔහුගේ මළසිරුර සොයා ගන්නා ලදී. සිරුර අසල පිස්තෝලයක් තිබූ බව ද කියති. විමර්ශකයන් කීවේ, හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවට තමන් අනුමාන කරන බවය.

එරට රජයේ අමාත්‍යවරයකු සියදිවි නසා ගැනීමක් වාර්තා වන්නේ මීට වසර 30 කට පමණ පෙරය. ඒ 1991 අගෝස්තු මාසයේදී, කොමියුනිස්ට් දැඩි මතධාරීන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු, කුමන්ත්‍රණයේ නායකයකු වූ සෝවියට් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බොරිස් පූගෝ වෙඩි තබාගෙන සියදිවි නසාගත් අවස්ථාවය.

2024 මැයි මාසයේදී ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත්වීමට පෙර, ස්ටාරොවොයිට් වසර පහකට වැඩි කාලයක් කර්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත. ඔහුගේ නායකත්වය යටතේ, රජයේ මුදල් විශාල ප්‍රමාණයක් සමඟ ආණ්ඩුකාර ස්ටාරොවොයිට් දේශසීමාව දිගේ ආරක්ෂක බලකොටු ඉදිකිරීම ආරම්භ කර තිබිණි. පසුගිය වසරේ යුක්රේන හමුදා කර්ස්ක් කලාපයේ භූමියට කඩා වැදී අල්ලා ගැනීම වැළැක්වීමට ඒවා ප්‍රමාණවත් නොවීය. එතැන් සිට, ස්ටාරොවොයිට්ගේ අනුප්‍රාප්තික ආණ්ඩුකාර ඇලෙක්සි ස්මිර්නොව් සහ හිටපු නියෝජ්‍ය ආණ්ඩුකාර ඇලෙක්සි ඩෙඩොව් අත්අඩංගුවට ගෙන බලකොටු ඉදිකිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා චෝදනා එල්ල කර ඇත. ස්ටාරොවොයිට් බොහෝ මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවකු ලෙස පත්වන්නට ඉඩ තිබෙන්නට ඇති බවත් ඒ භීතිය හේතුවෙන් සිය දිවිනසා ගන්නට ඇති බවත් මේ ගැන පැතිර ඇති දූෂමාණ ආරංචි අතර එකකින් කියැවේ.