ඉකුත් බදාදා වන විට ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන හය වැනි දිනයටත් තවදුරටත් ඇවිල ගියේය. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එදින අලුයම සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් “සටන ආරම්භ වේ” යැයි ඊශ්‍රායලයට පැවසීය. ඊට පැය කිහිපයකට පෙර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ උත්තරීතර නායකයා “පහසු ඉලක්කයක්” ලෙස හැඳින්වූ අතර අමෙරිකාවේ “ඉවසීම තුනී වෙමින් පවතින” බව ද පැවසීය. ඔහු ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීම” ද ඉල්ලා සිටියේය.
ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ යුද්ධයට එක්වීමට සලකා බලන බැවින්, ඉරානයට යටත් වීමට සහ අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් බේරීමට පැය 24 සිට 48 දක්වා කාලයක් ඇති බව එක්සත් ජනපද නිලධාරීහු ප්‍රකාශ කළහ. මැදපෙරදිග වර්ධනය වන අර්බුදයට වොෂින්ටනයට සහ ටෙහෙරානයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගත හැකිද යන්න තීරණය කිරීමේදී ඉදිරි දින දෙක තීරණාත්මක වනු ඇතැයි ධවල මන්දිර නිලධාරීහු පැවසූහ.
ඒ අතර යුද ගැටුම අවසන් කිරීමට මැදපෙරදිගට ආරක්ෂක හමුදාව යෙදවීමට තීරණය කළ බව අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පෙට් හෙග්සෙත් එදින හවස නිවේදනය කර තිබුණි. බ්‍රහස්පතින්දා උදෑසන ඊශ්‍රායලයට ඉරාන මිසයිල නව රැල්ලකින් පහර වැදුණු අතර, දකුණේ ප්‍රධාන රෝහලකට හානි සිදු වූ අතර අනෙකුත් මර්මස්ථාන කිහිපයකටම බලපෑම් වාර්තා විය.
ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධය එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් අවසන් වනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ අතර ප්‍රකාශ කර තිබුණි. සිය ජීවිතය තුරන් කළ ද, ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයෙන් ඉරානය පරාජය කළ නොහැකි බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කර ඇත. ඉරානය යටත් නොවන බව ජාතික දේශනයකදී උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසූ අතර ඕනෑම එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් “ආපසු හැරවිය නොහැකි හානියක්” ඇතිකළ හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. ඉරානය ඊශ්‍රායලය වෙත ගාසාවේ ජන ඝාතක චෝදනා එල්ල කරනවා සේම ඊශ්‍රායලය ද ඉරානය වෙත ජන ඝාතක චෝදනා සහ න්‍යෂ්ටික අවි නිපැයුම ගැන චෝදනා එල්ල කර තිබේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ අද්දර සිටි නිසා තමන් මෙම ප්‍රහාර දියත් කළ බවයි. නමුත් මේ දක්වා එල්ල කරන ලද ප්‍රහාරවලින් වැඩි හානියක් සිදු නොවී ඇති බව සමහර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල නායකයා න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම පමණක් නොව ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ද සිහින දකියි. නමුත් මේ ප්‍රහාරයන්ගෙන් ඔහු මෙතෙක් අත්කරගෙන ඇත්තේ ඉරාන නායකත්වය අතර භීතිය සහ ඉරාන ජනතාව අතර කෝපය ඇවිස්සීම පමණි. තතු දත් අයට අනුව එක්සත් ජනපද උදව් නොමැතිව ඊශ්‍රායලයට තවදුරටත් කල් පවතින හානියක් කිරීමට නොහැකි විය හැකිය.
ඔවුන්ට අනුව මෙතෙක් සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හෝ එහි න්‍යෂ්ටික අභිලාෂයන් බිඳ දමා නැති අතර විශේෂඥයන් පවසන්නේ, මෙම ප්‍රහාර ටෙහෙරානයේ බෝම්බ නිෂ්පාදනය මාස ගණනක් ප්‍රමාද කරනු ඇති නමුත් එය නැවැතීමට හේතුවක් වී නැති බවයි. ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය මිලිටරිමය වශයෙන් විනාශ කිරීමට ඇති ලොකුම බාධකය වන්නේ ශුද්ධ වූ කොම් නගරය අසල ෆෝඩෝව් හි පිහිටි එරට ප්‍රධාන න්‍යෂ්ටික පහසුකමයි. එය කන්දක් යට ඉතා ගැඹුරේ පිහිටා ඇති අතර එය වෙත ඊශ්‍රායලයේ බලවත්ම මිසයිල යුධෝපකරණවලට පවා ළඟා විය නොහැක. එය විනාශ කිරීමට සමත් එකම ප්‍රහාරක ආයුධය වන්නේ එක්සත් ජනපදයේ බලවත්ම බංකර් බිඳ දැමීමේ බෝම්බ පමණි.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීම සඳහා ඇමෙරිකානු හමුදා සම්පත් භාවිත කිරීමට මෙන්ම ගැටුම අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා දීම පිළිබඳ අදහසට ට්‍රම්ප් සමාන කැමැත්තක් දක්වන බව නිරීක්ෂකයෝ පවසති. ඉරානය සහන ලබා දෙන්නේ නම් - රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ඔහු විවෘතව සිටින බව ආරංචි මාර්ග පැවසුවද, ට්‍රම්ප්ගේ ඒ ප්‍රවේශය වුවද වෙනසක් නියෝජනය කරන උකුසු ඉරියව්වක් බව තවත් අය කියති.
එක්සත් ජනපද නාවික හමුදාව සතු ප්‍රහාරක කණ්ඩායම් දෙකක් සහිතව USS නිමිට්ස් සහ USS කාල් වින්සන් ගුවන් යානා වාහක යාත්‍රා, මැදපෙරදිග හදිසි අවස්ථා සඳහා මේ වනවිට සූදානම්ව සිටියි. එක්සත් ජනපද නිලධාරීන්ට අනුව, USS නිමිට්ස් කණ්ඩායම සඳුදා අග්නිදිග ආසියානු මුහුදු සීමාවෙන් පිටත්ව ගොස්, මාස හතක පමණ කාලයක් මැදපෙරදිග රැඳී සිටින USS වින්සන් කණ්ඩායමට එක්වීම සඳහා එම කලාපයට ගියේය. නිමිට්ස් සහ වින්සන් යන දෙකම නිමිට්ස් පන්තියේ වාහක වන අතර, ඒවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් බලගැන්වේ. අඩි 1,100 කට ආසන්න දිගකින් සහ ටොන් 100,000 කට ආසන්න බරකින් යුක්ත වන අතර, ඒවා ලොව විශාලතම යුද නැව් අතර වන අතර, 5,000 කට වැඩි පිරිසකට පහසුකම් සපයයි.
ඒවායින් වින්සන් මත පමණක්, F-35 ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා, F/A-18 ප්‍රහාරක ජෙට් යානා, EA-18 ඉලෙක්ට්‍රොනික යුද ජෙට් යානා, E-2 ගුවන් පූර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන ගුවන් යානා සහ හෙලිකොප්ටර් ඇතුළු ගුවන් යානා 60 කට වැඩි සංඛ්‍යාවක මිශ්‍රණයක් රැගෙන යා හැකිය.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සමාලෝචනය කර ඇති නමුත් ටෙහෙරානය එහි න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉවත් වේදැයි බැලීමට ප්‍රමාද වී සිටී. ඊශ්‍රායලය ඉරානයට එරෙහි සටන ඉදිරියට ගෙන යන විට “ඊශ්‍රායලය පැත්තේ සිටීම” ගැන අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට්‍රම්ප්ට ස්තූති කළේය.
ගැටුම් ආරම්භ වූ ඉකුත් ගිය සිකුරාදා සිට පසුගිය අඟහරුවාදා වන විට ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව 24 ක් ලෙස පැවැති නමුත් 647 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව රජය පැවසීය. ඉරානයේ අවම වශයෙන් පුද්ගලයන් 224 දෙනකු මිය ගොස් තිබේ. යුද්ධයේ දින කිහිපයක් ඇතුළත, ඊශ්‍රායලය ඉරානයේ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයන් දුසිමකට වැඩි පිරිසක් මරා දමා, එහි ඉහළම හමුදා ධූරාවලියෙන් වැඩි කොටසක් ඉවත් කර, එහි න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන කොටස්වලට පහර දී තිබුණි.
ඊශ්‍රායල-ඉරාන ගැටුම හේතුවෙන් අඟහරුවාදා වන විට තෙල් මිල මාස පහකට ආසන්න කාලයකදී වාර්තාගත ඉහළම මට්ටමට ඉහළ ගියේය. ඇතිවිය හැකි සැපයුම් බාධා මැද අනාගත මිල ඉහළ යාම ගැන බලශක්ති වෙළෙඳපොළ දැඩි අවධානයෙන් සිටී.
ඉරාන හමුදාවට අනුව බදාදා අලුයම, ඊශ්‍රායලය ඉරාන මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත ගුවන් යානා 50 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අගනුවරට ප්‍රහාර එල්ල කරන බව පැවසීමෙන් පසු ඉරාන ගුවන් ආරක්ෂක අංශ ටෙහෙරානයට ඉහළින් මිසයිල ප්‍රක්ෂේපණ පලවා හැරීමට කටයුතු කරමින් සිටී. ඉරානයේ නව යුද හමුදාපති මේජර් ජෙනරාල් අලි ශද්මානි මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබුණි. සජීවී ප්‍රවෘත්ති විකාශය අතරතුර ඊශ්‍රායලය ඉරානයේ රූපවාහිනී මධ්‍යස්ථානයට ද බෝම්බ දැමූ බව වාර්තා විය. ඉරානයේ සයිබර් ආරක්ෂක විධානය පැවසුවේ ඊශ්‍රායලය ඉරාන ඩිජිටල් යටිතල පහසුකම්වලට එරෙහිව “පුළුල් සයිබර් යුද්ධයක්” දියත් කර ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලය ඉරානයෙන් පැමිණෙන මිසයිල රැල්ලක් හඳුනාගෙන ඇති බවත්, ඊශ්‍රායල ජාතිකයන්ටද පැමිණෙන ඉරාන මිසයිල පිළිබඳව අනතුරු අඟවා ඇති අතර, ටෙල් අවිව්හි පිපිරීම් හඬ ඇසුණු බවත් වාර්තා කියයි. ගැටුම ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 2,725 දෙනකු තම නිවාසවලින් ඉවත් කර ඇත. ඊශ්‍රායල විදෙස් බුද්ධි ආයතනය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයේ ගින්නක් ද වාර්තා විය. ඉරානය ඊශ්‍රායලය දෙසට ෆටා මිසයිල දියත් කළ බව අර්ධ නිල මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. පසුගිය වසරේ ඉරාන මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරවලදී ෆටා-1 නම් නව මිසයිලයක් භාවිත කළ බවයි. ටෙහෙරානය එය “හයිපර්සොනික්” මිසයිලයක් ලෙස විස්තර කරයි.
ඊශ්‍රායලය සතුව ඉරාන මිසයිලවලින් ආරක්ෂා වීමට අවශ්‍ය තරම් ‘ඇරෝ’ මිසයිල නොමැති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය බදාදා වාර්තා කළේ නම් නොකළ එක්සත් ජනපද නිලධාරියකු උපුටා දක්වමිනි. ඒ ඉරානයෙන් ෆටා-1 දිගු දුර බැලස්ටික් මිසයිලවලට මුහුණ දීමට ඊශ්‍රායලයට ඇති හැකියාව පිළිබඳව කනස්සල්ල මතු කරමිනි. එක්සත් ජනපදය මාස ගණනාවක් තිස්සේ මේ ධාරිතා හිඟය පිළිබඳව දැනුවත්ව සිටින බවත්, භූමියේ, මුහුදේ සහ ගුවනේ පද්ධති සමඟ ඊශ්‍රායලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට උත්සාහ කරන බවත් එම නිලධාරියා පැවසීය. ඒ අනුව අමෙරිකාව ඉදිරි දින කිහිපය තුළ සටනට අතපෙවීමේ අවස්ථාව බොහෝ දුරට උදා වී තිබේ.
• සුගත් පී. කුලතුංගආරච්චි