2025 මැයි 31 වන සෙනසුරාදා

යුද්ධය නවත්වන්න පුටින්ගෙන් බර කොන්දේසි!

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කොන්දේසි කිහිපයක් පනවා තිබේ. ඒ අතරට බටහිර නායකයන් නේටෝව නැගෙනහිර දෙසට ව්‍යාප්තව යාම නැවැත්වීමට සහ රුසියාවට එරෙහි සම්බාධක කොටසක් ඉවත් කිරීමට ලිඛිතව පොරොන්දු විය යුතු බවට ඉල්ලීමක් ද ඇතුළත්ව ඇති බව වාර්තා වේ. එසේ වුවද රුසියානු ඉල්ලීම් නොතකා යුක්රේනය නේටෝ සාමාජිකත්වය සඳහා වූ සිය අභිලාෂය දැඩිව අවධාරණය කර ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ මාරාන්තිකම යුරෝපීය ගැටුම අවසන් කිරීමට තමාට අවශ්‍ය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් පවසා ඇති අතර මෑත දිනවල ඔහු පුටින්ගේ හැසිරීම් සම්බන්ධව වැඩි වැඩියෙන් කලකිරුණු බවක් පෙන්නුම් කර ඇත. ඉකුත් අඟහරුවාදා රුසියානු නායකයා තම හමුදා යුද පිටියේ ජයග්‍රහණ ලබාගන්නා විට කියෙව් සමඟ සටන් විරාම සාකච්ඡාවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ට්‍රම්ප් ඔහු “ගින්න සමඟ සෙල්ලම් කරමින්”‍ සිටින බවට අනතුරු ඇඟවීය.

පසුගිය සතියේ ට්‍රම්ප් සමඟ පැය දෙකකට වැඩි කාලයක් කතා කිරීමෙන් පසු, සටන් විරාමයක් ඇතුළුව සාම ගිවිසුමක් ස්ථාපිත කරන මූලික සංදේශයක් සඳහා යුක්රේනය සමඟ වැඩ කිරීමට තමා එකඟ වූ බව පුටින් පැවසීය. රුසියාව පවසන්නේ තමන් දැනට ඒ සංදේශයේ අනුවාදය කෙටුම්පත් කරමින් සිටින බවත්, එයට කොපමණ කාලයක් ගතවේදැයි ඇස්තමේන්තු කළ නොහැකි බවත්ය. රුසියාවට අවශ්‍ය වන්නේ යුක්රේනය මධ්‍යස්ථව සිටීම, සමහර බටහිර සම්බාධක ඉවත් කිරීම, බටහිර රටවල කැටි කළ රුසියානු ස්වෛරී වත්කම් පිළිබඳ ගැටලුව විසඳීම සහ යුක්රේනයේ රුසියානු කථිකයන් ආරක්ෂා කිරීමකි. මේ අතර කියෙව් සහ යුරෝපීය ආණ්ඩු මොස්කව් වෙත චෝදනා එල්ල කර ඇත්තේ එහි හමුදා නැගෙනහිර යුක්රේනයේ ඉදිරියට යන අතරතුර පුටින් බර කොන්දේසි පනවමින් කල් මරමින් සිටින බවටය. මේ අතර මොස්කව් යුක්රේන කලාපයක් අසල හමුදා භටයන් 50,000 ක් රැස් කිරීමෙන් පසුව, තීව්‍ර වන යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් බදාදා එක්සත් ජනපදය සහ රුසියාව ප්‍රසිද්ධියේ වාදයකට පැටළුණි. ලෝක නායකයන් මෙසේ සාමය සඳහා වන අපේක්ෂා පිළිබඳව වාද විවාද කරන අතර, රුසියාව ඉදිරියට යමින් සිටින අතර, දෙපාර්ශ්වයම ඩ්‍රෝන යානා රංචු පිටින් දියත් කරමින් සිටිති.