පාකිස්තානයේ සහ පාකිස්තානය මගින් අත්පත් කරගෙන සිටින කාශ්මීරයේ (PoK) ත්‍රස්තවාදී ස්ථාන වෙත ඉන්දියාව විසින් එල්ල කරන ලද “සින්දූර් මෙහෙයුම” ලෙස නම් කරන ලද ප්‍රහාර මාලාවකින් පැය කිහිපයකට පසු, එම ප්‍රහාර මගින් අජ්මාල් කසාබ් සහ ඩේවිඩ් හෙඩ්ලි යන ත්‍රස්තවාදීන් පුහුණු කළ ප්‍රධාන කඳවුර විනාශ වූ බව රජය බදාදා පැවසීය.
පුද්ගලයන් 26 දෙනකුට මරු කැඳවූ පහල්ගම් ප්‍රහාරයෙන් සති දෙකකට පසු, ඉන්දියාව පාකිස්තානයේ සහ ත්‍රස්තවාදීන් වාඩිලාගෙන සිටින කාශ්මීරයේ ස්ථාන නවයකට පහර දුන් අතර, පන්ජාබ් පළාතට සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ඉන්දියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 31 දෙනකු මිය ගොස් 48 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්තානය පවසයි. පාකිස්තාන කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ අවම වශයෙන් පුද්ගලයන් නව දෙනකු මිය ගොස් 38 දෙනකු තුවාල ලබා ඇති බව ඉන්දීය නිලධාරීහු පවසති.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙහෙයුමේ නම අගමැති නරේන්ද්‍ර මෝදි විසින්ම තෝරාගෙන ඇති බවත්, සංචාරකයන් 25 දෙනකු සහ ප්‍රදේශවාසියකු ඝාතනය කළ බයිසරන් තණබිම්වල අප්‍රේල් 22 ප්‍රහාරයෙන් තම ස්වාමිපුරුෂයන් අහිමි වූ කාන්තාවන්ට උපහාරයක් ලෙස එය තෝරාගෙන ඇති බවත්ය.
ඉන්දීය හමුදාව පාකිස්තානයේ සහ පාකිස්තාන වාඩිලාගෙන සිටින කාශ්මීරයේ (PoK) ත්‍රස්ත කඳවුරුවලට පහර දුන් ‘සින්දූර් මෙහෙයුම’ ක්‍රියාත්මක කිරීමෙන් පැය කිහිපයකට පසු බදාදා පැවති කැබිනට් රැස්වීමක් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රධානත්වයෙන් පැවැතිණි. වැඩිවන ආතතිය මධ්‍යයේ ඔහු ක්‍රොඒෂියාව, නෝර්වේ සහ නෙදර්ලන්තය යන රටවලට යාමට නියමිතව තිබූ විදේශ සංචාර ද කල් දැමීය.
පාකිස්තානයේ පන්ජාබ් පළාතේ, බහවල්පූර් සහ මුරිඩ්කේ ඉන්දියානු ප්‍රධාන ඉලක්ක අතර විය. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ මායිම අසල පිහිටා ඇති බහවල්පූර්, මසූඩ් අසාර්ගේ නායකත්වයෙන් යුත් ජයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී කණ්ඩායමේ බලකොටුවක් ලෙස බලධාරීන් විසින් හඳුනාගෙන ඇත. 1999 දී ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් වෙත ඉන්දියානු ගුවන් සේවයේ ගුවන් යානයක් පැහැර ගැනීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවකදී ඉන්දියාව විසින් නිදහස් කරන ලද පුද්ගලයන් තිදෙනා අතර අසාර් ද විය. බහවල්පූර් යනු අසාර් ඉපදුණු නගරය ද වේ.
තවත් ඉලක්කයක් වූ ලාහෝර් අසල නගරයක් වන මුරිඩ්කේ, 2008 මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු ලෂ්කර්-ඊ-තායිබා හි කඳවුර ලෙස හැඳින්වේ. එය 170 කට වැඩි පිරිසක් ඝාතනය කළ 2008 මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමයි. මෙම නගරයේ මාර්කස්-ඊ-තායිබා සංකීර්ණය පිහිටා ඇති අතර එය ඉන්දියානු සහ ජාත්‍යන්තර ආරක්ෂක ආයතන මගින් ලෂ්කර් මූලස්ථානය ලෙස විස්තර කර ඇත.
කාශ්මීරයේ, කොට්ලි සහ මුසෆරාබාද් හි ස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර, එම ස්ථාන දෙකම ඉන්දීය ආරක්ෂක නිලධාරීන් විසින් සටන්කාමී මෙහෙයුම් සමඟ සම්බන්ධ කර ඇත. කොට්ලි ජම්මු සිට පාලන රේඛාවට එපිටින් පිහිටා ඇති අතර එය ඉන්දියාවේ පූන්ච් සහ රාජෝරි දිස්ත්‍රික්කවලට යාබදව පිහිටා ඇති අතර, එම ප්‍රදේශවල දේශසීමා ආක්‍රමණය කිරීමේ උත්සාහයන් නිතර දක්නට ලැබෙන ප්‍රදේශයන්ය.
ඉලක්ක කරගත් ස්ථාන අතරට ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) හා සම්බන්ධ බහවල්පූර් හි මාර්කස් සුභාන් අල්ලාහ්; ලෂ්කර්-ඊ-තායිබා (LeT) හා සම්බන්ධ මුරිඩ්කේ හි මාර්කස් තායිබා සහ තවත් ජයිෂ්-ඊ-මොහොමඩ් බලකොටුවක් වන ටෙහ්රා කලන් හි සර්ජල් ඇතුළත් වේ. ඊට අමතරව, හිස්බුල් මුජාහිදීන් (HM) හා සම්බන්ධ සියල්කොට් හි මෙහ්මූනා ජෝයා සහ එල්ඊටී සමඟ සම්බන්ධ බර්නාලා හි මාර්කස් අහ්ලේ හදීත් ද පහර දෙන ලදී. ඉන්දියානු හමුදාව කොට්ලි හි මාර්කස් අබ්බාස් (JeM) සහ මස්කාර් රහීල් ෂාහිඩ් (HM) වෙත ද, මුසෆරාබාද් හි ෂවායි නල්ලා කඳවුර (LeT) සහ සයිඩ්නා බිලාල් කඳවුර (JeM) වෙත ද ප්‍රහාර එල්ල කළේය.
මෙයට ප්‍රතිචාර වශයෙන්, ඉස්ලාමාබාද් කියා සිටියේ තමන් ඉන්දීය හමුදා මර්මස්ථානවලට පහර දුන් බවත්, යුද ගුවන් යානා 5 කට ආසන්න සංඛ්‍යාවක් වෙඩි තබා බිම දැමූ බවත්, මෙම ඉන්දියාවේ ප්‍රහාරය “යුද ක්‍රියාවක්” ලෙස හඳුන්වන බවත්ය. සිය ජනතාව අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ශරීෆ් පැවසුවේ එරට ආරක්ෂාව සඳහා, යුද හමුදාව සහ ජනතාව, සැමවිටම එක්සත්ව සිටීම අවශ්‍ය බවයි. රටේ ආරක්ෂාව සඳහා, පාකිස්තාන ජනතාවගේ ධෛර්යය අවශ්‍ය බවත් සියලුම අභියෝග ජයගන්නා බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි. ඉන්දියානු ජෙට් යානා 5 ක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමෙන් ඉන්දියානු ප්‍රහාරවලට නිසි ප්‍රතිචාර ලබා දුන් බවද ඔහු අවධාරණය කර තිබේ. බිම හෙළන ලද ගුවන් යානා අතර ප්‍රංශයේ නිෂ්පාදිත නවීන බහුකාර්ය ප්‍රහාරක යානා තුනක් මෙන්ම මිග්-29 සහ SU -30 ප්‍රහාරක යානයක් ද ඇතුළත් බව පාකිස්තාන හමුදාව පවසයි.
ඉන්දියාව පාකිස්තානයේ ඉලක්ක කරගත් ස්ථාන හයෙන් එකක්වත් සටන්කාමී කඳවුරු නොවන බව ඉස්ලාමාබාද් පැවසීය. පාකිස්තාන කාශ්මීරයේ අගනුවර වන මුසෆරාබාද් හි, ඉන්දීය ප්‍රහාරය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියක සෙමනේරියකට දැඩි ලෙස හානි සිදු කර ඇත. නේවාසික නිවාස ද තිබූ දෙමහල් ගොඩනැගිල්ලකට එල්ල වූ මිසයිල පහකින් පුද්ගලයන් තිදෙනකු මිය ගිය බව ප්‍රදේශවාසිහු පැවසූහ.
ඒ අතර “පාකිස්තානය මෙයට ප්‍රතිචාර දක්වන්නේ නම්, ඉන්දියාව නැවත ප්‍රතිචාර දක්වනු ඇත” යනුවෙන් ඉන්දියාව නවදිල්ලියේ දුසිමකට අධික විදේශ තානාපතිවරුන් හමුවේ පැවසූ අතර, එය ලෝකයේ වඩාත්ම භයානක සහ වඩාත්ම ජනාකීර්ණ න්‍යෂ්ටික ගැටුම් කලාපයක විශාල මිලිටරි ගැටුමක් පිළිබඳ බිය ඉහළ දැමීය.
2024 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7 ක ණය වැඩසටහනේ ප්‍රගතියක් ලබා ගැනීමට සහ මූල්‍ය කටයුතු ශක්තිමත් කිරීමට රජය උත්සාහ කිරීමත් සමඟ ආර්ථික අර්බුදයකින් යාන්තම් ගොඩ එමින් සිටි අවස්ථාවක පාකිස්තානයේ ඩොලර් බිලියන 350 ක ආර්ථිකයට මේ ප්‍රහාරය එල්ල විය.
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ මේ අසල්වැසියන් අතර සතුරුකම් උත්සන්න වීම ගැන ගෝලීය නායකයන් ද දැඩි අවධානය යොමුකර තිබුණි. ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වූ යුදමය වාතාවරණය දකුණු ආසියාවේ න්‍යෂ්ටික යුද්ධයක් දක්වා පුළුල් විය හැකි බවට අනතුරු අඟවමින් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා අර්බුද විසඳා ගන්නා ලෙස ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා තිබුණි.
ඉන්දියාව ප්‍රහාරය එල්ල කරන විට පාකිස්තානයට ඉහළින් වාණිජ ගුවන් යානා පනස් හතක් පියාසර කරමින් තිබූ අතර එමගින් දහස් ගණනක් ජීවිත අනතුරේ හෙළමින් සිටි බව ප්‍රකාශකයා පැවසූ අතර ඒවාට සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, දකුණු කොරියාව සහ චීනය යන ගුවන් සමාගම් ඇතුළත් විය. විශේෂයෙන් ඉන්දියා-පාකිස්තාන දේශසීමාවට ආසන්නව හෝ ප්‍රධාන ඉන්දීය ගුවන් හමුදා කඳවුරු ආසන්නයේ පිහිටි සමහර ඉන්දියානු ගුවන් තොටුපළවල ගුවන් මෙහෙයුම්වලට බලපෑම් එල්ල වී තිබේ. බදාදා ශ්‍රීනගර් ගුවන් තොටුපළෙන් හෝ ශ්‍රීනගර් ගුවන් තොටුපළට සිවිල් ගුවන් ගමන් ක්‍රියාත්මක නොවූ බව ගුවන් තොටුපළ නිලධාරිහු පවසති.
1947 දී නිදහස ලැබීමෙන් පසු හින්දු බහුතරයක් සහිත ඉන්දියාව සහ ඉස්ලාමීය පාකිස්තානය ඔවුන් අතර සිදුවූ යුද්ධ තුනෙන් දෙකක්ම සටන් කර ඇත්තේ මුස්ලිම් බහුතරයක් සහිත කාශ්මීරය වෙනුවෙනි. දෙපාර්ශ්වයම එහි සම්පූර්ණ අයිතිය ඉල්ලමින් එය අර්ධ වශයෙන් පාලනය කරයි.
පාකිස්තානයේ අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ්, ඉන්දීය ප්‍රහාර “ලැජ්ජා සහගත ආක්‍රමණශීලී ක්‍රියාවක්” ලෙස හෙළා දුටු අතර, පාකිස්තානයේ හමුදා නායකත්වය ප්‍රහාරවලින් සිදු වූ හානිය ක්‍රියාකාරීව තක්සේරු කරමින් සිටින බව තහවුරු කළේය. “පාකිස්තානය තෝරා ගන්නා වේලාවක සහ ස්ථානයක” පුළුල් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව ඔහු අවධාරණය කළේය.
“අපි මෙයට පිළිතුරු නොදී සිටීමට ඉඩ නොදෙමු,” ලුතිනන් ජෙනරාල් ෂරීෆ් ජාතික රූපවාහිනියට පැවසීය. “ඉන්දියානු ප්‍රකෝප කිරීම සියලු රතු රේඛා ඉක්මවා ගොස් ඇත. අපගේ ප්‍රතිචාරය ශක්තිමත් වනු ඇති අතර එය කාලෝචිත වනු ඇත” යනුවෙන් ඔහු කීය. ඒ අනුව සතිය අවසන් වන විට ද පහළව තිබුණේ යුද්ධය උඩු දුවන ලකුණුය.
• සුගත්