බීජිං සමඟ සාකච්ඡා සිදුකෙරෙන අතරතුර චීන භාණ්ඩ සඳහා එක්සත් ජනපදය පැනවූ සුවිශාල තීරුබදු අඩු කිරීම පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සලකා බලමින් සිටින බව රොයිටර් පුවත් ඒජන්සිය නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් වාර්තා කර තිබේ.
වෙළෙඳ ආතති උත්සන්න වීම අවම කිරීම සඳහා ධවල මන්දිරය චීන ආනයන සඳහා වන තීරුබදු අඩු කිරීම ගැන සලකා බලමින් සිටින බවට වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පතේ පළ වූ වාර්තාවකින් පසුව රොයිටර් මූලාශ්‍රයේ අදහස් පළ වී තිබුණි. චීනයේ තීරුබදු වර්තමාන සියයට 145 මට්ටමේ සිට සියයට 50ත් 65ත් අතර ප්‍රමාණයකට අඩු කළ හැකි බව ධවල මන්දිර නිලධාරියකු උපුටා දක්වමින් පුවත්පත කියා තිබුණි.
“අපි චීනය සමඟ සාධාරණ ගනුදෙනුවක් කරන්නෙමු,” යැයි ට්‍රම්ප් බදාදා වාර්තාකරුවන්ට පැවසූ නමුත් WSJ වාර්තාව ගැන කතා කළේ නැත. තීරුබදු අඩු කිරීම ගැන ගිවිසුමකට කටයුතු කළ හැකි බවට ඔහු අඟහරුවාදා කළ ශුභවාදී අදහස් දැක්වීමෙන් පසුව ඔහුගේ මේ ප්‍රකාශය ද නිකුත් විය.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ද WSJ කතාව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ නමුත් තීරුබදු අඩු වුවහොත් තමා පුදුම නොවන බව පැවසීය. රටවල් දෙකම වත්මන් අනුපාත තිරසාර නොවන බව දකින බව බෙසන්ට් පැවසූ නමුත්, සාකච්ඡා ආරම්භ වන්නේ කවදා දැයි තමා නොදන්නා බව පැවසීය.