2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

චාම් උත්සවයකින් පාප්තුමා සමුගනියි!

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 4

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය, පෙර පාප්තුමන්ලාගේ අවමංගල්‍ය උත්සවවලට වඩා සරල ලෙස පවත්වන්නට යෙදිණි. පසුගිය වසරේදී පාප් වහන්සේ සිය අවමංගල්‍ය චාරිත්‍ර සංශෝධනය කළේ තමා “මේ ලෝකයේ බලවත් මිනිසකු”‍ නොව “ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයකු”‍ බව පෙන්වීමටය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ චාම් අවමංගල්‍ය උත්සවයෙන් පසු, දේහය ඔහු විශේෂයෙන් සංචාරය කිරීමට ප්‍රිය කළ පල්ලියක් වන වතිකානුවෙන් පිටත පිහිටා ඇති ශාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරනු ඇත. ඒ අනුව 1600 ගණන්වලින් පසු එහි දේහය තැන්පත් කරන ලද පළමු පාප් වහන්සේ මෙන්ම, වසර 100කට වැඩි කාලයක් තුළ වතිකානුවෙන් පිටත තැන්පත් කරන ලද පළමු පාප් වහන්සේ ද ඔහු වනු ඇත. පාප්තුමාගේ අවසාන කැමැත්ත අනුව, ඔහු සිය “සොහොන භූමියේ; සරල, විශේෂ සැරසිලි නොමැතිව”‍ තබන ලෙස ඉල්ලා ඇති අතර, එහි සඳහන් විය යුතු එකම වචනය ලතින් භාෂාවෙන් සිය නාමය වන ”‍ෆ්‍රැන්සිස්කස්”‍ පමණක් විය යුතු බව සඳහන් කර තිබුණි.