යුක්රේනයට, සාමය සඳහා වූ ට්‍රම්ප්ගේ මුල් සාකච්ඡාව රුසියාවට ජයග්‍රහණයක්ද, යුක්රේනයට සුළු සහනයක්ද, ලබා දෙමින් අවසන් විය.
ජනාධිපති ධුරයට පත්ව මාසයකටත් අඩු කාලයකදී, ට්‍රම්ප් යුක්රේනය සහ රුසියාව පිළිබඳ එක්සත් ජනපද ප්‍රතිපත්තිය උඩු යටිකුරු කළේය. යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව හුදෙකලා කිරීමේ වොෂින්ටනයේ මුල් උත්සාහය ට්‍රම්ප්-පුටින් දීර්ඝ දුරකතන ඇමතුමක් සහ ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද සහ රුසියානු නිලධාරීන් මුල්ව සිදු කළ සාකච්ඡාවක් මගින් දැන් අවසන් කර ඇත. මෙම සාකච්ඡාව පැවැත්වීම පවා රුසියාවට ලැබුණු ප්‍රධාන ජයග්‍රහණයක් විය. 2022 දී මොස්කව් යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කිරීමෙන් පසු ඉහළ පෙළේ එක්සත් ජනපද සහ රුසියානු නිලධාරීන් මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව මෙය වූ අතර, ඔවුහු බයිඩන් පරිපාලනයේ ප්‍රතිපත්තියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සහගත ආපසු හැරවීමක් සනිටුහන් කළහ. මූලික සාකච්ඡා අවසන් වූ බදාදා දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “මැතිවරණයකින් තොරව රට ගෙන යන ඒකාධිපතියකු” ලෙස හෙළා දුටු අතර සාමයක් ඇති කරගැනීමට නම් ඔහු ඒ සඳහා වේගයෙන් පියවර ගැනීම වඩා හොඳ බව පැවසීය. එසේ නොමැති නම් ඔහුට රටක් ඉතිරි නොවනු ඇති බවටද ට්‍රම්ප් අනතුරු ඇඟවීය.
2025 පෙබරවාරි 18 වැනි අඟහරුවාදා රියාද් හිදී සෞදි අරාබියේ මැදිහත්වීමෙන් පැවති යුක්රේනය නොමැති සාකච්ඡා වටයට එක්සත් ජනපද සහ රුසියානු නිලධාරීහු එක්ව සිටියහ. යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා මාර්ග සැලසුම සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපදය සහ රුසියාව ඉදිරියේදී ඉහළ මට්ටමේ සාකච්ඡා කණ්ඩායම් පත් කරන්නට කටයුතු යෙදීමට යන අතර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව කියෙව් නියෝජිතයන් රහිතව සිදු කළ ප්‍රධාන සාකච්ඡාව අවසානයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය. සෞදි අරාබියේ රියාද් හිදී රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවීමෙන් පසු වාර්තාකරුවන්ට අදහස් දක්වමින් රුබියෝ පැවසුවේ ගැටුම අවසන් වීමට නම් “සියලු පාර්ශ්වයන්” විසින් “සහන” ලබා දිය යුතු බවයි. රුබියෝ මෙන්ම එක්සත් ජනපද මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් ඇතුළත් එක්සත් ජනපද දූත පිරිස, යුද්ධය අවසන් කිරීම සඳහා වන කටයුතු මාලාවක පළමු අවස්ථාව මෙය වනු ඇතැයි යෝජනා කළහ.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2022 රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයට යුක්රේනය වගකිව යුතු බවට මේ සාකච්ඡාවට කලින්ම කියා තිබුණි. ඉන් පැය කිහිපයකට පසු කතා කළ සෙලනිස්කි එක්සත් ජනපද ජනාධිපතිවරයා රුසියානු සාවද්‍ය තොරතුරු බුබුලක සිරවී සිටින බව කීවේය. අඟහරුවාදා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නැවතත් ට්‍රම්ප් ඇරැඹූ සාම කතාබහ විවේචනය කළේ, යුක්රේනය නොමැති විට ඇති කරගන්නා කිසිදු ගිවිසුමක් තමන් පිළිගන්නේ නැති බව කියමිනි.
රුසියාව මීට පෙර යුක්රේනය තම භූමියේ විශාල කොටස්වල පාලනය අත්හැර නේටෝවට සම්බන්ධ වීමේ අභිලාෂයද අත්හැරිය යුතු බවට ඉල්ලා සිටියේය. රුසියාවට සෙලෙන්ස්කි ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය බවද පැහැදිලිය. රුසියාව සෙලෙන්ස්කි “ස්වයං-ප්‍රකාශිත යුක්රේන ජනාධිපති” ලෙස හඳුන්වන අතර ඔහුගේ රජය “සෙලෙන්ස්කි කල්ලිය” ලෙස හඳුන්වයි. මේ දෙකටම “නව යුක්රේනය තුළ ඉටු කිරීමට භූමිකාවක්” නොමැති බව ඔවුහු පෙන්වා දෙති. සෙලෙන්ස්කි යුක්රේනයේ 2019 ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. ඔහුගේ ජනවරම පසුගිය මැයි මාසයේදී අවසන් විය යුතුව තිබුණි. නමුත් රුසියාව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළ දා සිට යුක්රේනය යුද නීතිය යටතේ පවතින අතර ඒ යුද නීතිය මැතිවරණ පැවැත්වීම තහනම් කර තිබේ. එබැවින් ඔහු තවමත් ධුරයේ රැඳී සිටී. අඟහරුවාදා කළ ඔහුගේ අදහස් දැක්වීමේදී ට්‍රම්ප් පවා යුක්රේනය තුළ නව මැතිවරණ පැවැත්වීම සඳහා බල කිරීමට සිය අවනතභාවය පෙන්නුම් කළේය. එසේ වුවද පෙබරවාරි මස මුලදී කියෙව් ජාත්‍යන්තර සමාජ විද්‍යා ආයතනයේ නවතම මත විමසුමට අනුව, යුක්රේනියානුවන්ගෙන් 57% ක් තවමත් සෙලෙන්ස්කි විශ්වාස කරන බව වාර්තා වී තිබේ.